එරික් ඉලයප්ආරච්චිගේ ‘තිවංක කතාව’

Share post:

අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා වී තිබේ. රාජ්‍යයෙන් තොර රටක ස්වභාවය අපි දැන් හොඳින් දනිමු . අද වනවිට මේ අරාජිකත්වය මානව ජීවිතයේ සකලවිධ අංග විනිවිදිමින් නිදහස් රංගනයක යෙදේ. සමස්තය නන්නත්තාර වීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වේ. එරික් ඉලයප්ආරච්චිගේ අලුත්ම නවකතාව වන තිවංක කතාවට තේමාව වන්නේ රාජ්‍යයේ මෙකී අරාජිකත්වය හෙවත් සමස්ත අනාථභාවයයි.

තිවංක කතාවේ වක තුන එකිනෙකට වෙනස් ප්‍රධාන චරිත තුනක් ඔස්සේ ගලා යයි. පළමු වකයේදී ගාමිණි හෝල් හන්දියේ පරණ පොත් කඩ වෙළෙන්දෙක්ද දෙවන වකයේදී පොළොන්නරු යුගයේ පණ්කඩයෙක් (නපුංසකයෙක්)ද තෙවන වකයේදී ගෝල්ෆේස් අරගලයේ නීතිඥයෙක්ද මෙකී ප්‍රධාන චරිතයෝ වෙති. මෙම ප්‍රබන්ධය ගොඩනැඟීමේදී කතුවරයා සෙනරත් පරනවිතානගේ ග්‍රීකයෝ හා මෞර්යයෝ, ලංකාව හා මලයාසියාව මෙන්ම සිහගිරි පුවත යන කෘති ද ඔහුගේ පසුකාලීන විවාදාත්මක සෙල්ලිපි කියවීම්ද යොදා ගනී. වර්තමානය සහ පොළොන්නරු යුගයේ අවසාන කාලයේ දක්නට ලැබෙන අරාජික සමාන්තරයන්ද දුර්දාන්ත සමයකදී ජාතිය මිථ්‍යාවක් වී සැවොම එක්ව කැරලි ගැසීමද පිටතට සෘෂි මුහුණක් පෙන්වන රාජ්‍යයේ යක්ෂාත්මයද ඒ යක්ෂාත්ම ධර්මයෙන් පෝෂණය වූ මිනිසුන්ගේ බිහිසුණු බවද නිර්මාණ කලාව ව්‍යාජත්වයක ගිලී යමින් ව්‍යාජ ශිල්පීන් පමණක් අවකලාවක නිමග්න වීමද පරමානන්දය නිමා කරන දුක හා සමුගැන්මද කතුවරයා මෙම ප්‍රබන්ධයේදී පාඨකයාට අභිමුඛ කරයි. එමෙන්ම ජාතික අන්තවාදය හෝ ස්වර්ගවාදය වෙනුවට විශ්වාන්තරවාදයේ මහිමයත් සාමූහික ඉතිහාසයේ විස්මයත් ශුන්‍යත්වය පූර්ණත්වයට සමාන වන ආකාරයත් මෙම ප්‍රබන්ධ කතිකාව තුළ අපට මුණ ගැසේ. එරික් මෙම නවකතාවේ දී භාවිත කර ඇති ඇතැම් යෙදුම් හා දෙබස් තුළින් අතීතය ද වර්තමානය ද කියා වෙනසක් නොමැතිව රාජ්‍ය බල ව්‍යාපෘතියේ අරාජික හෙළුව උත්ප්‍රාසාත්මක ලෙස අනාවරණය කරයි. ඒ අනුව , ” කාර්වල එල්ලූ දෙහි ගෙඩි තමන්ට වළක්වන්නට පුළුවන් උපද්‍රවයක් නැති බව හඟවමින් නාකි අණ්ඩ කෝෂ සේ වැනෙයි.” “මට පිම්පියා කිව්වට… මේකිට ගණිකාව කිව්වට අපේ නායකයො රටේ ඔක්කොම ගණිකාවන්ට ඇන්දුවා. දැන් ඔක්කොම පිම්පි.” විශේෂයෙන් වත්මන් අරාජිකත්වය ගැන කියන්නට මීට වඩා සුදුසු යෙදුම් හා වචන තවත් තිබේද ?

එරික්ගේ බොහෝ නවකතාවල මෙන්ම මෙහිද ස්වකීය තේමාත්මකය පාඨකයා වෙතට ගෙන යාමට භාවිත කරන ආඛ්‍යාන රටාව නිසැකවම අපගේ අවධානය පැහැර ගනී. එය සිදුවීම්මය හෝ ස්ථානීය තියුණු නිරීක්ෂණයට ස්වකීය පුළුල් බහුවිධ කියවීමෙන් උකහා ගත් අවබෝධය සමෝධානය කරමින් ලෝක දැක්මක් නිමවන ආකාරයේ ආඛ්‍යාන රටාවකි. මෙම ආඛ්‍යාන රටාව සිදුවීම්මය/ස්ථානීය සීමාමායිම් බිඳ දමමින් පාඨකයාට සමස්තය හෙවත් විසල් චිත්‍රය දැකීමට අවකාශය විවර කරයි. තිවංක කතාව තුළින් ද කතාපුවත අබිබවා යන ඥානවිභාගමය සෞන්දර්යයක් වෙතට පාඨකයා කැඳවාගෙන යාමට එරික්ට හැකි වන්නේ මෙම සමෝධානිත අභ්‍යාසයේ මහිමය නිසාය. සාහිත්‍ය යනු සාහිත්‍යයට වැඩි යමක් බවත් ප්‍රබන්ධය යනු ප්‍රබන්ධයට වැඩි යමක් බවත් එරික් ඉලයප්ආරච්චි තිවංක කතාව හරහා අපට යළිත් පසක් කර දෙයි.

උදිත අලහකෝන්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...