එරික් ඉලයප්ආරච්චිගේ ‘තිවංක කතාව’

Share post:

අරාජිකත්වය යනු කුමක්දැයි පොත්පත්වලින් සංකල්පීයව දැනගෙන සිටියද මීට වසර දෙක තුනකට පෙර සිට මේ දූපතේ ජීවත්වන මිනිසුන්ට එය භෞතිකව අත්විඳීමට ‘වාසනාව’ උදා වී තිබේ. රාජ්‍යයෙන් තොර රටක ස්වභාවය අපි දැන් හොඳින් දනිමු . අද වනවිට මේ අරාජිකත්වය මානව ජීවිතයේ සකලවිධ අංග විනිවිදිමින් නිදහස් රංගනයක යෙදේ. සමස්තය නන්නත්තාර වීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වේ. එරික් ඉලයප්ආරච්චිගේ අලුත්ම නවකතාව වන තිවංක කතාවට තේමාව වන්නේ රාජ්‍යයේ මෙකී අරාජිකත්වය හෙවත් සමස්ත අනාථභාවයයි.

තිවංක කතාවේ වක තුන එකිනෙකට වෙනස් ප්‍රධාන චරිත තුනක් ඔස්සේ ගලා යයි. පළමු වකයේදී ගාමිණි හෝල් හන්දියේ පරණ පොත් කඩ වෙළෙන්දෙක්ද දෙවන වකයේදී පොළොන්නරු යුගයේ පණ්කඩයෙක් (නපුංසකයෙක්)ද තෙවන වකයේදී ගෝල්ෆේස් අරගලයේ නීතිඥයෙක්ද මෙකී ප්‍රධාන චරිතයෝ වෙති. මෙම ප්‍රබන්ධය ගොඩනැඟීමේදී කතුවරයා සෙනරත් පරනවිතානගේ ග්‍රීකයෝ හා මෞර්යයෝ, ලංකාව හා මලයාසියාව මෙන්ම සිහගිරි පුවත යන කෘති ද ඔහුගේ පසුකාලීන විවාදාත්මක සෙල්ලිපි කියවීම්ද යොදා ගනී. වර්තමානය සහ පොළොන්නරු යුගයේ අවසාන කාලයේ දක්නට ලැබෙන අරාජික සමාන්තරයන්ද දුර්දාන්ත සමයකදී ජාතිය මිථ්‍යාවක් වී සැවොම එක්ව කැරලි ගැසීමද පිටතට සෘෂි මුහුණක් පෙන්වන රාජ්‍යයේ යක්ෂාත්මයද ඒ යක්ෂාත්ම ධර්මයෙන් පෝෂණය වූ මිනිසුන්ගේ බිහිසුණු බවද නිර්මාණ කලාව ව්‍යාජත්වයක ගිලී යමින් ව්‍යාජ ශිල්පීන් පමණක් අවකලාවක නිමග්න වීමද පරමානන්දය නිමා කරන දුක හා සමුගැන්මද කතුවරයා මෙම ප්‍රබන්ධයේදී පාඨකයාට අභිමුඛ කරයි. එමෙන්ම ජාතික අන්තවාදය හෝ ස්වර්ගවාදය වෙනුවට විශ්වාන්තරවාදයේ මහිමයත් සාමූහික ඉතිහාසයේ විස්මයත් ශුන්‍යත්වය පූර්ණත්වයට සමාන වන ආකාරයත් මෙම ප්‍රබන්ධ කතිකාව තුළ අපට මුණ ගැසේ. එරික් මෙම නවකතාවේ දී භාවිත කර ඇති ඇතැම් යෙදුම් හා දෙබස් තුළින් අතීතය ද වර්තමානය ද කියා වෙනසක් නොමැතිව රාජ්‍ය බල ව්‍යාපෘතියේ අරාජික හෙළුව උත්ප්‍රාසාත්මක ලෙස අනාවරණය කරයි. ඒ අනුව , ” කාර්වල එල්ලූ දෙහි ගෙඩි තමන්ට වළක්වන්නට පුළුවන් උපද්‍රවයක් නැති බව හඟවමින් නාකි අණ්ඩ කෝෂ සේ වැනෙයි.” “මට පිම්පියා කිව්වට… මේකිට ගණිකාව කිව්වට අපේ නායකයො රටේ ඔක්කොම ගණිකාවන්ට ඇන්දුවා. දැන් ඔක්කොම පිම්පි.” විශේෂයෙන් වත්මන් අරාජිකත්වය ගැන කියන්නට මීට වඩා සුදුසු යෙදුම් හා වචන තවත් තිබේද ?

එරික්ගේ බොහෝ නවකතාවල මෙන්ම මෙහිද ස්වකීය තේමාත්මකය පාඨකයා වෙතට ගෙන යාමට භාවිත කරන ආඛ්‍යාන රටාව නිසැකවම අපගේ අවධානය පැහැර ගනී. එය සිදුවීම්මය හෝ ස්ථානීය තියුණු නිරීක්ෂණයට ස්වකීය පුළුල් බහුවිධ කියවීමෙන් උකහා ගත් අවබෝධය සමෝධානය කරමින් ලෝක දැක්මක් නිමවන ආකාරයේ ආඛ්‍යාන රටාවකි. මෙම ආඛ්‍යාන රටාව සිදුවීම්මය/ස්ථානීය සීමාමායිම් බිඳ දමමින් පාඨකයාට සමස්තය හෙවත් විසල් චිත්‍රය දැකීමට අවකාශය විවර කරයි. තිවංක කතාව තුළින් ද කතාපුවත අබිබවා යන ඥානවිභාගමය සෞන්දර්යයක් වෙතට පාඨකයා කැඳවාගෙන යාමට එරික්ට හැකි වන්නේ මෙම සමෝධානිත අභ්‍යාසයේ මහිමය නිසාය. සාහිත්‍ය යනු සාහිත්‍යයට වැඩි යමක් බවත් ප්‍රබන්ධය යනු ප්‍රබන්ධයට වැඩි යමක් බවත් එරික් ඉලයප්ආරච්චි තිවංක කතාව හරහා අපට යළිත් පසක් කර දෙයි.

උදිත අලහකෝන්

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...