පැට් කමින්ස්, මුළු ලොවක් පුදුම කළ උඹනම්, යකෙක්

Share post:

උඹනම් යකෙක් මනුස්සයෝ. හරියට ලෝදිය හැලියකට පැන්න මිනිහෙක් වගේ කවදාවත් ජීවිතේ ඉතුරු වෙන්නේ නෑ කියලා දැන දැනත් පුදුමාකාර ධෛර්යකින්, පට්ට මොලේකින් අන්තිම මොහොත වෙනකම් මානසික මට්ටම ඉහළින්ම තියා⁣ගෙන ක්‍රිකට් ලොව රජවරුන් ලෙස සැලකෙන ඉන්දියානුවන්ගේ දහසක් කෙණෙහිලිකම්, නින්දා, අපහාස, පීඩන මැද්ද ඉන්දීය නිජ බිමේම ඉඳගෙන අවසානයේ තම රට වැසියන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුන් පොරොන්දුව යථාර්ථයක් බව⁣ට පත් කරමින් බිලියන 1.4ක ඉන්දියානුවන් නිහඬ කරමින් 6වැනි වරටත් ⁣ක්‍රික⁣ට් විශිෂ්ටයින් ලෙස කිරුළු පළඳින්නට පැට් කමින්ස් උඹට එහෙනම් පුළුවන් වුණා. ඇත්තටම උඹ පොරක් බන්. ෆයිනල් එකට කලින් ඊයේ කතා කරපු ප්‍රේස් එකේදි පැට් තමන්ගේ ඉහළ මානසික මට්ටම ලෝකේට පෙන්නුවා. එම ධනාත්මක හැසිරීම තුළ ඔස්ට්‍රේලියානුවන් තුළ තිබූ විශ්වාසය මනා ලෙස පිළිඹිබු වුණා. පැට් එහිදී කිව්වේ මෙහෙම කතාවක්.

“නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණ⁣ය ලක්ෂයකට අධික පිරිසකගෙන් පිරී යාවි. සියලු ප්‍රේක්ෂකයින් පැහැදිලිවම ඒකපාර්ශ්වික වනු ඇති. නමුත් නිල් පැහැති කමිස හැඳි ලක්ෂයකට වඩා විශාල සෙනඟක් නිශ්ෂබ්දව සිටින බව ඇසීම තරම් තෘප්තිමත් දෙයක් තවත් නැත. විශාල සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු දෙයක් හෝ අපහසු දෙයක් නොවේ. අපේ කණ්ඩායම තුළ සිටින්නේ කුමක් හෝ ලෝක කුසලානයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයින්”
ඇත්තටම ඒ නිහඬ බව පැට් කමින්ස් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානුවන්ට මුළු ලෝකයක් ඉදිරියේ කරලා පෙන්නන්න අද පුළුවන් වුණා. තවමත් ක්‍රිකට් ලොව සිටින මොලකරුවන් තමන් බව පෙන්වූ කැන්ගරුවන් අවසන් මහා තරගයට පෙර දින කිහිපයේ ඉතා කල්පනාකාරීව හැසිරුණා. Semi Final එකේදී නවසීලන්තයට එරෙහි තරගයේදී ඉන්දියාවට වාසිවන අයුරින් පිච් එක මාරු කළ කතාව, කාසියේ වාසිය උරගා බැලීමේදී අනවශ්‍ය ලෙස කාසිය ඈතට විසිවෙන ලෙස උඩ දැමීම ආදි කරුණු කාරණා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් ඉතා කල්පනාකාරීව සිටි බව විදෙස් මාධ්‍ය පවා වාර්තා කර තිබුණා. අවසන් තරගයට පැය කිහිපයක් තිබියදී පිච් එකේ පින්තූරයක් පැට් කමින්ස් විසින් ලබා ගන්න අයුරු මුළු ලෝකයේම අවධානයට යොමු වුණා.

අද පැවති අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නොත් එය ඔවුන්ට වාසි බව හැමෝම කතා කළා. නමුත් කාසියේ වාසිය දිනූ පැට් කමින්ස් මුළු ලොවක් පුදුම කරවමින් එඩිතරව කියා සිටියේ තමන් මුලින් පන්දු යවන බවයි. නමුත් ඉන්දීය නායකයාගේ වැඩි බලාපොරොත්තුව තිබුණේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බව පෙනී ගියා. අවසානයේ මුළු ඉන්දියාවේම බලාපොරොත්තු ඉහළ නංවමින් රෝහිත් ෂර්මා ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබා ගත්තා. නමුත් ඔස්ට්‍රේලියා ප්‍රබල පන්දු යැවීම ඉදිරියේ කඩා වැටුණු ඉන්දීය ඉනිම විටෙක කඩුලු 3කට ලකුණු 81ක් ලෙස සටහන් වුණා. අවසානයේ සියලු සෙල්ලම් දමා ඉන්දියාවට පන්දුවාර 50 අවසානයේදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 240ක් පමණි. ඉවසීමෙන් ක්‍රීඩා කළ විරාට් කෝලි ලකුණු 54ක් සහ ලෝකේෂ් රාහුල් ලකුණු 64ක් ලබා ගත්තා. වෙනදාට පිටිය සිසාරා 6යේ හතරේ පහරවලින් ප්‍රතිවාදියාට මදි නොකියන්නට සලකන ඉන්දියානුවන් අද ඔස්ට්‍රේලියාව ඉදිරියේ දැඩි අසරණ තත්ත්වයකට පත් වුණා. ⁣ඉන්දියාවේ සියලු පිතිකරුවන් මේ ලෝක කුසලානය තුළ දැවී ගිය පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. Starc කඩුලු 3යි, Hazlewood කඩුලු 2යි. සිය කතාව ක්‍රියාවෙන්ම ඔප්පු කළ නායක පැට් කමින්ස් ඉන්දීය ⁣ප්‍රේක්ෂකයින් මීයට පිම්බාක් මෙන් නිහඬ කරවමින් සිය පන්දු ඕවර 10 තුළ එක් හතරේ පහරක්වත් එල්ල කිරීමට ඉඩනොදුන් අතර ලකුණු 34 කට කඩුලු 02ක් ද දවා ගනිමින් ඔස්ට්‍රේලියා ලෝක කුසලාන බලාපොරොත්තු ඉහළ නැංවුවා.

ඉන්දීය නිජබිමේ ලෝක කුසලානයක පහස ලබන්නට පිටිය පිවිසි කැන්ගරුවන්ගේ කඩුලු 3ක් ලකුණු 47ක් තුළ බිඳ වැටුණේ ඉන්දීය නිහඬ බව මහා ඝෝෂාවකට පෙරළමින්. නමුත් යළිත් ක්‍රියාත්මක වූ Travis Head සහ Marnus Labuschagne ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන සිහින කරා කල්පනාකාරීව රැගෙන ගියා. Head සිය පිත්තෙන් රැස් කළ ශතකය ලෝක කුසලාන අවසන් මහා තරගයක පිතිකරුවෙක් ලබාගත් 7වැනි ශතකය වීමද විශේෂත්වයක්. මීට පෙර එම දක්ෂතාව දක්වනු ලැබූ පිතිකරුවන් වන්නේ..

Clive Lloyd (WI) – 102 (85) vs Australia in 1975 (Lord’s)

Viv Richards (WI) – 138* (157) vs England in 1979 (Lord’s)

Aravinda de Silva (SL) – 107* (124) vs Australia in 1996 (Lahore)

Ricky Ponting (AUS) – 140* (121) vs India in 2003 (Johannesburg)

Adam Gilchrist (AUS) – 149 (104) vs Sri Lanka in 2007 (Bridgetown)

Mahela Jayawardene (SL) – 103 (88) vs India in 2011 (Wankhede)

අවසානයේ ප්‍රබල ඉන්දීය සැලසුම් සියල්ල පුස්සක් බවට පත් කරවමින් පැට් කමින්ස් ප්‍රමුඛ ඔස්ට්‍රේලියාව 6වැනි වරත් ලෝක කුසලානයක අයිතිකරුවන් බවට පත් වූයේ ලෝකයේ වැඩි දෙනෙකුගේ ආශිර්වාදය තමන් වෙත ලබා ගනිමින් වීම විශේෂත්වයක්. එදා මැක්ස්වෙල්ට ඇෆ්ගනිස්ථානය ඉදිරියේ ආශ්චර්යමත් ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ නම් අද ඉන්දියාව මේ ලෝක කුසලානය අනිවාර්යෙන්ම ජය ගන්නා බවනම් මාහට නොරහසක්. සෙමි ෆයිනල් තරගයේදීත් ඉන්දීය ප්‍රේක්ෂකයින් කත් ඇද්දේ දකුණු අප්‍රිකාවටයි. නමුත් සියලු අභියෝග ජයගත් කැන්ගරුවන් ජිල්මාට් මැද මොලේ පාවිච්චි කර ක්‍රිකට් සෙල්ලම් කරන්නේ මෙසේ යැයි මුළු ලොවටම පෙනවමින් අවසානයේ ජය කණුව වෙත ගමන් කිරීමට සමත් වුණා.

මෙවර ලෝක කුසලානය තුළ අපරාජිත ගමනක් ගිය ඉන්දියාව ලෝක කුසලානය වෙනුවෙන් විශාල සැලසුම් ගණනාවක් සැකසූ කණ්ඩායමක්. ඔවුන් මොනවද නොකළේ? IPL වලින් පවා ඔවුන් සිදු කළේ ලෝක කුසලාන ජයග්‍රහණයට ක්‍රීඩකයින් සෙවීම සහ වෙනත් රටවල විශිෂ්ටයින්ගේ දක්ෂතා ⁣අල්ලා ගැනීමට නොවේද? මුදල්, බලය ඉදිරියේ ක්‍රිකට් ලොව රජවරුන් බවට පත්ව සිටින ඉන්දියානුවන්ට පැට් කමින්ස් ප්‍රමුඛ ඔස්ට්‍රේලියාව සැලසුම්සහගතව දුන්
පිළිතුර ක්‍රිකට් ලොව රන් අකුරින් ලියවෙනවා නොඅනුමානයි.

ඉන්දියානුවන් අති දක්ෂ කණ්ඩායමක්. නමුත් ලෝක කුසලානය අතරතුර ඔවුන්ට ලැබුණු සමහර තීරණ ඔවුන්⁣ගේ තරගවල ඉරණම විසඳන තීරණ බවට පත්වුණා. එම තීරණ ඉදිරියේ අනිකුත් රටවල්ද ගොලුවන් සේ කටයුතු කිරීම ඉන්දියාවට තවත් පහසු වුණා.එම නිසා ඉන්දීය ක්‍රීඩකයින් කොතරම් දක්ෂ වුවත් ලෝකයේ ක්‍රීඩා ලොලීන් අතර විටෙක ඔවුන් පිලිකුල්සහගත තත්ත්වයකට පත් වුණා. අවසානයේ පැට් කමින්ස්ගේ විශිෂ්ට නායකත්වය, ඉන්දියානුවන් සියල්ල නිහඬ කරවමින් ලෝක කුසලාන ජය තමන් වෙත හරහා ගැනීමට සමත් වුණා. පැට් කමින්ස්, මුළු ලොවක් පුදුම කළ උඹනම්, යකෙක්..

චතුරංග රාජපක්ෂ

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...