යාල ජාතික වනෝද්‍යානය තුළ, පටනංගල ආශ්‍රිත ව සංචාරකයන් සඳහා අවන්හල් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කිරීම බරපතළ තත්ත්වයක් බව පරිසරවේදීහු අවධාරණය කරති.
අද (13) රජයේ දිනපතා සිංහල පුවත්පත වන දිනමිණ පුවත්පතේ මීට අදාළ ප්‍රසම්පාදන දැන්වීම පළකර තිබිණි. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා නමින් පළකර තිබූ අදාළ දැන්වීමට අනුව ‘යාල වනෝද්‍යානයේ පටනංගල අමුත්තන්ගේ මධ්‍යස්ථානයේ දේශීය හා විදේශීය අමුත්තන් සඳහා ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු අවන්හල් සේවා සැපයීම’ මෙම ව්‍යාපෘතියයි. ඒ සඳහා තරු 5 හෝ ඊට සමාන පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන්ගෙන් තාක්ෂණික සහ මූල්‍ය යෝජනා කැඳවන බවත්, ඊට අදාළ පූර්ව ලංසු රැස්වීම ලබන 26දා යාල වනෝද්‍යාන අමුත්තන්ගේ මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බවත් එම දැන්වීමේ වැඩිදුරටත් දැක්වේ.
‘අපි නියාමනය කරනවා’
මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පැවසුවේ තම දෙපාර්තමේන්තුවේ පූර්ණ නියාමනයට යටත් ව පෞද්ගලික අංශයට මෙම කටයුතු ගිවිසුම් මගින් බාර දෙන බවයි. ඊට වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවරී තිබේදැයි විමසීමේදී ඔහු සඳහන් කළේ සංචාරක ප්‍රවර්ධනය සඳහා දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ එසේ කටයුතු කළ හැකි බවත්, ගිවිසුම උල්ලංඝනය කරන්නේ නම් ඕනෑම අවස්ථාවක ඊට අදාළ පියවර ගැනීමට තමන්ට බලය ඇති බවත් ය.
කෙසේ වෙතත් ප්‍රයෝගික තත්ත්වයේදී පෞද්ගලික අංශය යම් නිශ්චිත ආයෝජනයක් කළ පසු එම ගිවිසුම් කඩිමුඩියේ අවලංගු කළ හැකි දැයි අප කළ විමසීමට පිළිතුරු දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පූර්ණ වගකීම තමන් සතු බවයි.
පනත උල්ලංඝනය කිරීම
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එවැනි බලයක් නැත. වනෝද්‍යාන කළමනාකරණ සැලැස්මට පිටින් එවැනි ඉදිකිරීමක් සිදුකිරීම හෝ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පනත උල්ලංඝනය කිරීමකි. දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ එවැනි කටයුතු සිදු කළ හැකි බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරන ලද ප්‍රකාශය නොමග යවන ප්‍රකාශයක් බවත්, එසේ කටයුතු කිරීම මගින් අධ්‍යක්ෂ ජනරාල්වරයා බලය අතික්‍රමණය කිරීමක් සිදුකරන බවත් මේ සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු කිහිපදෙනෙක් ම අවධාරණය කළහ.
දැවැන්ත මෙහෙයුමක් !
මෙම නීතිවිරෝධී ක්‍රියාවලිය සම්බන්ධයෙන් thetime.lk සමග අදහස් දක්වමින් පරිසරවේදියෙකු, දේශකයෙකු මෙන්ම පරිසර විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන සජීව චාමිකර සඳහන් කළේ ලෝක බැංකුවේ ESCAMP ව්‍යාපෘතියේ අරමුණු මෙසේ සිංහරාජය, කන්නෙලිය සහ යාල මූලික කරගනිමින් ආරම්භ කර ඇති බවයි. එම ව්‍යාපෘතියේ අරමුණ ලෙස චාමිකර පෙන්වාදෙන්නේ මෙරට රක්ෂිත වනාන්තර වාණිජ වෙළෙඳපොළට යොමුකිරීමයි. ඒ හරහා අවශ්‍ය පරිදි මුදල් සෙවීම සඳහා ඇති නීතිමය බාධා ඉවත් කර ගැනීමට පසුගිය කාලය පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වූ බව ද ඔහු අවධාරණය කර සිටී.
මීට පෙර කිසිදු අවස්ථාවක මෙසේ වනජීවී රක්ෂිත තුළ පෞද්ගලික අංශය ව්‍යාපාර නොකළ බවත්, මේ සිදුකිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතිය මගින් බරපතළ නරක පූර්වාදර්ශයක් ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පනත කුමකටද ?
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ මූලික අර්ථ නිරූපණයට අනුව පනතේ අරමුණ ලෙස සඳහන් වන්නේ රක්ෂිතවල ජෛව සම්පත් වාණිජ ලෙස අවභාවිත කිරීම වැලැක්වීමයි. එම මූලික අර්ථ නිරූපණයට පිටින් ගොස් පනතේ කිසිස්දු වගන්තියක් අර්ථ නිරූපණය කළ නොහැකි බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කර සිටී.
වගකියන්නේ කවුද ?
නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් වන බරපතළ කරුණ මෙන්ම මෙවැනි ව්‍යාපෘතියක් හරහා අදාළ රක්ෂිත ප්‍රදේශයට සිදු වන දැඩි බලපෑමට වගකියන්නේ කවුදැයි සජීව චාමිකර අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරයි. එවැනි ගොඩනැගිල්ලක් ඉදිකිරීම, ඊට අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර ගෙන ඒම, ඉන්පසු ඉවත දමන ආහාර ප්‍රශ්න සහ නිතර අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒම, සේවකයන් විශාල සංඛ්‍යාවක් රක්ෂිතය තුළ රැඳීම ඇතුළු ද්විතීයිකව මතු වන ගැටළුවලට කිසිදු විසඳුමක් නොමැති බව පැහැදිලි යැයි ද ඔහු සඳහන් කරයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සියල්ල නියාමනය කිරීම ප්‍රයෝගිකව කළ නොහැකි අතර, ප්‍රයෝගිකව එසේ සිදු නොවන බව ද අපි අත්දැකීමෙන් දනිමු. සියල්ලට වඩා බරපතළ කරුණ වන්නේ පනත අතික්‍රමණය කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීමයි.