පාස්කු ප්‍රහාරය පිළිබඳ මන්ත්‍රී වැඩමුළුවට නිලන්ත ජයවර්ධන නෑ : සලෙයි පාර්ශ්වයෙන් ගැලවීමේ ප්‍රසන්ටේෂන් එකක් : FR වැරදිකරු වුණොත් උසස්වීම් ප්‍රශ්නයක් – මාධ්‍ය ප්‍රකාශක

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහභාගි වී නැත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී තමන්ට ඒ පිළිබඳව ආරාධනයක් නොලැබුණු බව නිලන්ත ජයවර්ධන සඳහන් කර තිබිණි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට පත්කෙරුණු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නම සඳහන් වූ නිලන්ත ජයවර්ධන, මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පෙරේදා (19) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ප්‍රශ්න කළහ.
බවයි.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තුවේ පෙරේදා (19) පැවති බලශක්ති සහ ප්‍රවාහන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට සහභාගි වී ඇත. ඔහු එම රැස්වීමට සහභාගි වී ඇත්තේ පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙනුවෙනි. එම රැස්වීමට නොවැළක්විය හැකි හේතුවක් මත තමන්ට සහභාගි වීමට නොහැකි වන බව පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී 19දා පැවැත්විණි.

සලෙයිලාගේ කතාව

මෙම වැඩමුළුවේදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි පාර්ශ්වය අවධාරණය කරන ආකාරයේ වීඩියෝ ඉදිරිපත් කිරීමක් පොලිසිය පාර්ශ්වයෙන් සිදුකරන ලදි. ඒ ප්‍රසන්න අල්විස් විසිනි. මෙහිදී රොහාන් ගුණරත්න ඇතුළු ආණ්ඩුවට පක්ෂපාතී පාර්ශ්ව විසින් සඳහන් කරන මෙහි කුමන්ත්‍රණයක් නැත යන කරුණ තහවුරු කිරීම සඳහා අයිඑස්අයිඑස් සංවිධානය සහ එහි සම්බන්ධතා ඇතුළත් තොරතුරු රැසක් හෙළිදරව් කර තිබේ.

පොලිස්පති කතාබහ

මේ අතර සැප්තැම්බර් 26 දිනෙන් වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ සේවා දිගුව අවසන් වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුට සේවා දිගුවක් ලබාදෙන ලද්දේ පසුගිය ජුනි 26 දින ය. ඒ, මාස 03ක් සඳහා ය. මෙය ඔහුට ලැබුණු තුන්වැනි සේවා දිගුවයි.

ඔහුගේ සේවා දිගුව අවසන් වීමට නියමිත නිසා නැවතත් නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වන කතාබහ ද ආරම්භ වී තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පදනම් කරගනිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ සේවය අත්හිටුවන ලෙසට කරන ලද ඉල්ලීම් හමුවේ පොලිසිය සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් එවැනි සේවය අත්හිටුවීමක් සිදුනොකරන බවත්, මූලික අයිතිවාසිකම් (FR) නඩුවලට අදාළව වන්දි ගෙවීමට නියම වූ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ම මේ වනවිටත් සේවයේ නියුතු ව සිටින බවත් ය.

ප්‍රහාරය එල්ල වන විට රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂවරයා වූ ජයවර්ධන සහ තවත් කිහිපදෙනෙක් ත්‍රස්තවාදී ප්‍රහාර වැලැක්වීමට කටයුතු නොකිරීමෙන් මූලික මානව හිමිකම් කඩකර ඇතැයි පාර්ශ්ව කිහිපයක් විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක තීන්දුව පසුගිය ජනවාරි 12දා ලබාදෙන ලදි.

ඒ අනුව, ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නිලන්ත ජයවර්ධනට අදාළ ව ලබාදුන් නියෝගයේ සඳහන් වේ.

ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳ විමර්ශනය සිදුකළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ද ඔහුට එරෙහිව සුදුසු නීතිමය ප‍්‍රතිපාදන යටතේ අපරාධ නඩු පවරන ලෙස නීතිපතිවරයාට නිර්දේශ කර තිබූ බැවින්, මේ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු අවසන් වන තුරු ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් මෙන්ම ප්‍රධාන වශයෙන් කතෝලික සභාව නියෝජනය කරන පාර්ශ්ව කිහිපයක් ආණ්ඩුවට බලකර තිබිණි.

අපරාධ වරදක් නෙමෙයි !

මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියෝග කර ඇති පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කර තිබුණේ එවැනි අවශ්‍යතාවක් නොමැති බවයි. එවැනි නඩුවලට වන්දි ගෙවීමට නියෝග ලැබුණු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු මේ වනවිටත් සිටින බවත්, ඔවුන්ගේ වැඩ තහනම් කර නොමැති අතර, මූලික අයිතිවාසිකම් නඩුවකදී වරදකරු වීම අපරාධ වරදක් ලෙස නොසලකන බවත් ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත්, මූලික අයිතිවාසිකම් නඩුවක වරදකරු වීම පොලිස් නිලධාරියෙකුගේ උසස්වීම්වලට බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related articles

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...