ධනංජය ඔබ නිෂ්පාදනය කළ “ලාස්ට් බස් එකේ කතාව” තමයි අද වෙනකොට අපේ ජීවිත කතාව බවට පත් වෙලා තියෙන්නෙ. ජීවිතය අවසානයේ ඉන් පලායන්න හිතෙන අප්‍රසන්නතාවක් දැනෙනවා. අපි ජීවිතය අත්කරගෙන නැහැ කියන එක ඒකෙ හැඟවුම වෙන්න පුළුවන්. ඔබට මේ කාරණය දැනෙන්නෙ කොහොමද?
මටත් ඔය ප්‍රශ්නය ඒ විදියටම දැනෙනවා.අපි සහ නාට්‍ය කියන්නෙ එකම සමාජ සන්දර්භයක නිෂ්පාදන. ඉතින් අපි සියලු දෙනාට එකිනෙකාගෙන් සහ සිදුවීම් වලින් ගැලවෙන්න බැහැ.ලාස්ට් බස් එකේ කතාවට තේමාව වන්නේ අපි මුහුණ දී සිටින පාරිභෝජනවාදය. ඒක එදා සිට අද දක්වා තව තවත් නරක පැත්තට තමයි ගියේ. ඔබ කියන කතාව හරි අදටත් ඒ නරුම පාරිභෝජනවාදය තව තවත් ජරාජීර්ණ වෙලා තියෙනවා. එතකොට තමයි ඔබ කියන අප්‍රසන්නතාව මතු වෙන්නේ.
එහෙම වෙන්නේ ඇයි කියන එක ගැන ඔබට අදහසක් තියනවද?
ඔව්. ඒක බරපතළ දේශපාලන ප්‍රශ්නයක්. අපේ ප්‍රාග්ධනය සහ ගෝලීය අර්බුදයක් එක්ක අපි සම්බන්ධ වන ආකාරය දේශපාලනිකයි. පාරිභෝජනවාදය එක්ක අපි ගනුදෙනු කරන ආකාරය දේශපාලනිකයි. ගෝලීය වශයෙන් සමස්ත ධනවාදී ක්‍රමයම මේකට සම්බන්ධයි.ඒත් එක්කම මේ තත්ත්වය ඇතුලේ අපිට වෙච්ච දේ මොකක්ද. ජරාජීර්ණ ධනවාදී රාමුව තුළ ගැටෙන කොට අපිටම ආවේණික විශ්වයක් හැදෙනවා. එක් එක් ඓතිහාසික මොහොතවල් වල එක එක රටවල මේක විවිධ විදියට වැඩ කරනවා වෙන්න පුළුවන්. මං කියන්නෙ ප්‍රාග්ධනය වැඩ කරන ආකාරය. පාරිභෝජනවාදයත් එක්ක අපිට ආවේණිකව මුහුණ දෙන්න වෙච්ච තත්ත්වය තමයි මම ඒ නාට්‍යයෙන් පෙන්වන්න උත්සාහ කළේ.
මේ කතාවට මම තව දෙයක් සම්බන්ධ කරන්නම්. සාමාජීය අරගල උදෙසා වසර ගණනාවක් සක්‍රීය වෙච්ච ජ්‍යෙෂ්ඨ පුරවැසියො අද වන විට ඇතුළතින් බිඳවැටිලා. සමාජය සුපසන් කරන්න අපි ගත් උත්සාහයන්ගෙන් පලක් වෙලා නැහැ කියලා ඔවුන් හිතන්න අරන්. සමාජයකට මෙහෙම වෙන්නේ ඇයි?
ඒක තේරුම් ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් එක පැත්තකින්.මම එක වතාවකදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අදාල කරගෙන ඔය ප්‍රශ්නය ගැන ලිව්වා. ඇත්තටම මට විෂය වුණේ සුනිල් මාධව ගේ මරණය. සමහර කෙනෙක් අහනවා සුනිල් මාධව මොනවද කළේ කියලා. ඒ කියන්නේ එයාට මේ යන සමාජ ප්‍රවාහය නවත්තගන්න බැරිවුනේ මොකද වගේ ප්‍රශ්නයක් ඒක. කවර හෝ සමාජ ක්‍රියාධරයෙක් ගැන එහෙම අහන එකේ කිසිම තේරුමක් නෑ. ඒ අය කරපු දේවල් සමාජය තුළ වැඩ කළේ කොහොමද කියන එක අර්ථවත් ගණන් බැලීමකිනුයි නිශ්චය කරන්න ඕනෙ.
ඒගොල්ලො කරපු දේ විප්ලවයක් දක්වා ගිහින් සර්වසම්පූර්ණ රාජ්‍යයක් බිහි නොවුණු නිසා ඔවුන් කරපු දේ නිරර්ථක යැයි කියන්න බැහැ.
ඒ අය වැරදිකාරයෝ හෝ වැඩක් නොකළ අය කියලා තීරණය කරන්න බැහැ. එහෙම සිතනවා නම් ඒක පටු සිතීමක්. මම හිතන්නේ ඒ ඒ වකවානුවල, ඒ ඒ මොහොතවල් වල, ඒ ඒ සන්දර්භ වල තිබුණු යම්කිසි ජීව ගුණයක් අපිට පවත්වාගෙන යන්න ඒ අය කරපු වැඩ හේතු වුණා කියලයි.
සුනිල්වම යළි උදාහරණයකට ගත්තොත් ඔහු ඒ කාලේ නාට්‍යවලට උදව් කළා. නාට්‍ය සංවිධානය කළා. අපේ නාට්‍ය රාජ්‍යයේ දඬු අඬුවට හසුවන විට ඒවා ගැන විරෝධය පළ කරලා ලිව්වා. ඔවුන්ගේ වාමාශික දෘෂ්ටිය තුළ කරපු ක්‍රියාකාරකම් තමයි ඒවා. ඒ වගේ දේවල් ඒ මොහොතේ අපිට ශක්තියක් ජීවයක් ගෙන දුන්නා. ඒවා අවතක්සේරු කළ නොහැකියි, මහා විප්ලවයක් නොවුණා කියන තැනට දාලා.
මේක අපේ දෘෂ්ටියනෙ. ඒකම නෙමෙයි. ඒ ඇතැමුන් හිතනවා ඔවුන් කළ දේවල් වල සම්ප්‍රයුක්තය සමාජ සාධනීය තැනකට ගමන් කළේ නැහැ කියලා. ඒක ඇතැම් විට ඔවුන් තුළ අද බලපවත්වන පුද්ගලික හැඟීමක් වෙන්නත් පුළුවන්?
සමාජය ගිය ප්‍රවාහය අපි කාටවත් නවත්වන්න නොහැකි වූ බව අපි පිළිගන්නවා. මම කියන්නේ ඒ අය කරපු අතීත කාර්යභාරය, විශාල ප්‍රතිඵලයක් අත් නොවීමයි කියන කාරණයට සම්බන්ධ කර බලන එකේ කිසි තේරුමක් නෑ. ඒක හරිම අර්ථ විරහිත බවයි මගේ හැඟීම.
දැන් අපි රුසියානු විප්ලවය ගනිමු. ඒක විවිධ විදිහට අර්ථකථනය කරලා තියෙනවා. ඒකෙන් සිදු වූ සාධනීය දේවල් රැසක් තියෙනවා. සමාජයන්හි ඒ ඒ අවස්ථාවල සිදු වුනේ මොකක්ද කියන එක විග්‍රහ කර ගැනීම සහ ඉතාමත් සංකීර්ණ කාරණයක්. සමහර විට ඒ සඳහා අපිට දැනුම නැහැ. ඒ කියන්නේ ඒක විශ්ලේෂණය කර ගන්න අමාරුයි.ඒ නිසා බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලැබුනේ නෑ කියලා ඇතැමුන් ක්‍රියාවලිය සරල කරගන්නවා. ඒක වැරදි තේරුම් ගැනීමක් කියලයි මම කියන්නෙ. මොකද අතීතයේ හා වර්තමානයේ කරන සෑම දෙයක්ම මහා පරමාදර්ශී යථාර්ථයකට සම්බන්ධ කරලා කතා කරන එකේ තේරුමක් නැහැ.
ඔබ නිර්මාණය කළ “චන්ද්‍රාවතී සමග රාත්‍රියක්” කියන නාට්‍යය ගතහොත් එය මානව සබඳතා විෂය කේන්ද්‍ර කරගත්තා. වර්තමානය වන විට අපට ශේෂ වී තිබෙන්නේ මානව සබඳතා විෂයෙහි භින්න සමාජයක්. මේ කාරණය ධනංජය විග්‍රහ කරන්නේ කොහොමද?
නාට්‍යයට අදාළව කිව්වොත් ගණිකාව සමග රාත්‍රිය ගත කරන පුරුෂයා පිළිබඳව උදෑසන වන විට ඇය තුළ ආදරයක් ඇති වෙනවා. ඒත් පුරුෂයාට ඕනේ ඉක්මනින්ම පිටවී යන්න. කොහොම වුණත් ඉතින් සබඳතාවල හැටි මෙහෙම තමයි. සමහර ඒවා ගනුදෙනු වගේ. මිනිස්සු ගැහැනු ආදරය කරනවා කියලා එකක් ඇත්තටම තියෙනවාද කියන ප්‍රශ්නය මා තුළ පැන නැගෙනවා. සමහර විට ආදරය කරන්නේ තමාටම ඇති ආදරය නිසා. අනාරක්ෂිත තැනැත්තා හෝ තැනැත්තිය ආරක්ෂාව පතා ආදරය කරනවා. මේකත් හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. අපිට එහෙම ගැඹුරු සබඳතා නැහැ. අනෙකාට ගරු කිරීම පිළිබඳ ගැටලුවක් තියෙන සමාජයක් මේක. මේ නාට්ටියේ ගණිකාව පුරුෂයා ඕනෙ කියලා හිතන්නේ ඇත්තටම ආදරයක් ඇති වෙච්ච නිසා කියල හිතමු. කොහොමද ඒක වෙන්නේ. ඇගේ අනාරක්ෂිත බව නිසා ඒක වෙනවා වෙන්න බැරිද. සමාජයේ මානව සබඳතා බිඳිලා කියන එක හරි. ඒකට සමාජ ආර්ථික හා ආරක්ෂාව පිළිබඳ හේතු ගණනාවක් තියෙනවා. හැබැයි බටහිරදී නම් මට අතිශයින්ම සාධනීය අත්දැකීමක් තියෙන්නේ අනෙකාට ගරු කිරීම සම්බන්ධයෙන්. ලංකාවේ ඒක හුඟක් අඩුයි.නැත්නම් ඇත්තෙම නෑ.
ගෝල්ෆේස් අරගලය කියලා එකක් ආවා. “දුවන උන් දෙන්නෙක්” කියන ඔබ නිෂ්පාදනය කළ නාට්‍යයේ සිටින දෙන්නා අරගලය මැදිනුත් දුවනවා. අරගලය සහ ලාංකීය ජනයා එමගින් බලාපොරොත්තු වූ සමාජ වෙනස පිළිබඳ ඔබේ ආකල්පය මොකක්ද?
අනාගත සමාජ විපර්යාසයකට ඒක තුඩුදෙයි. ඒකට ඉතා ඉක්මනින් අද හෙටම, මේ දුවන උන් දෙන්නගේ ජිවිත වෙනස් කරන්න හැකියාව නැහැ. අරගලයට මිනිස්සු ආවා නේ. ඒ වගේ දේකට කවදාවත් ඔය විදිහට මිනිස්සු එකතු කරන්න බැරි වෙයි කියලා අපි හිතපු කාලයක් තිබුණා. බැලින්නම් ඒ අදහස වැරදියි. මේ මොහොතේ අපි හිතනවා ආයෙනම් අරගලයකට මිනිස්සු එකතු කරන්න බැරි වෙයි කියලා. එහෙම හිතන එකත් නිවැරදි නැහැ. මේක අනාගත සමාජ වෙනසක් කරන ව්‍යාපාරයක එක්තරා පෙරහුරුවක් කියලා අපිට හිතන්න බැරි ඇයි. මම හිතන හැටියට මෙතනදි මේ රටේ සාමාන්‍ය ජනයා අරගලය ගැන ට්‍රේනින් එකක් කළා. මේක අරගල වැඩමුළුවක් කියලා හඳුන්වන්න මම කැමැතියි.සාර්ථකත්වයයි, අසාර්ථකත්වයි දෙකම එන්නේ නායකයෙක් සහ ලයින් එකක් නැතිකම නිසයි.
සමාජ වෙනසක් හදිසියේ සිදු වෙන්නේ නැහැ. හැබැයි මේකෙන් පොඩි පොඩි මාර්ග නොපෑදුනා කියන්න බැහැ. ප්‍රවණතා ඇති වුණා. මේක විග්‍රහ කර ගැනීම හරි අමාරුයි. ඒ තරම් මේ එකතුව සංකීර්ණයි.
ධනංජය ඔබ “වැලන්ටයින් එනකම්” කියල නාට්‍යයකුත් කරනවා. ඒ නාට්‍යයේ පාත්‍රයෝ වැලන්ටයින් එනකන් ඉන්නවා. අපි අද සමාජයක් හැටියට වැලන්ටයින් එනකං ඉන්නෙ නෑ. එච්චර ඉවසීමකුත් නැහැ. ඒ නිසා සැනසීමකුත් නැහැ. මේ ගැන ඔබේ නිර්වචනය කවරාකාරද?
එන්න එන්නම මිනිස්සු අනෙකාගේ හැඟීම බරපතළ ලෙස ගන්නෙ නැහැ. ඔබ ආදරය කියල එකක් ගැන මට කිව්වට මම වසර ගණනාවකට කලින් ඒක සීරියස් ගත්තු විදියට දැන් ඇඟට ගන්නෙ නැහැ. මිනිස්සු අනෙකාගේ හැඟීම බැරෑරුම්ව නොගන්න එක ලෝකෙ පුරාම අඩු වැඩි වශයෙන් තියෙනවා. අපි කෙනෙකුට හිරිහැරයක් වන විදිහට ජීවත් වන්නේත් අනෙකාගේ හැඟීම නොසලකන නිසයි. බස්රියේදී කාන්තාවක පුරුෂයෙන් නිසා මුහුණ පාන හිරිහැරයත් ඒකම මිසක් අනෙකක් නෙවෙයි. ඉන්දියාව ඔය තත්ත්වය උත්සන්න උනාම වෙන්න ඕනේ පොදු ප්‍රවාහනය කාන්තාවන්ටයි පිරිමින්ටයි වෙන්කරලා දුන්නේ. අනෙකාගේ ජීවිතය බැරෑරුම්ව සලකන සමාජයක් අපිට අවශ්‍යයි. ජීවිතවල වටිනාකම ශීඝ්‍රයෙන් නැතිවෙලා යනවා. ඒක සමාජයකට නරක අත්දැකීමක්. මම කියන්නේ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් හා රුචි අරුචිකම් වලට ඉඩක් ඕනේ. ඒවාට ඉඩ නොදෙන සමාජයක ජීවිත වටිනාකම් වලට ඉඩක් නැහැ. අපි අද ලංකාවේ අත්විඳින්නේ එහෙම තත්ත්වයක් නේද.
ලංකාවට පුළුවන් සියලු දෙනාගේම අයිතීන් නීතිය මගින් ආරක්ෂා කරලා දෙන තැනින් මේක පටන් ගන්න. එතකොට කුඩා දරුවන්ගේ ද වැඩිහිටියන්ගේ ද අන්‍ය ජාතිකයන්ගේ ද අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. ඇත්තටම මේ රටේ හිරේ යන්නේ කර කියාගන්නම දෙයක් නැති අය. හිරේ ඉන්න අයයි එළිය ඉන්න අයයි අතර බරපතළ වෙනසකුත් නෑ. බොහෝවිට එළියෙ ඉන්නේ හිරේ ඉන්න ඕනේ අය. එළියෙ ඉන්න සමහරු හිරේ නොගිය එකයි ඇත්තටම මෙතන වෙලා තියෙන අසාධාරණය. ඉතින් නීතියක් විනයක් නැති සමාජයක් කොහොමද පවතින්නෙ.
ඔබේ පැරණි නාට්‍ය නිෂ්පාදන පහක් නව නිෂ්පාදන ලෙස වේදිකාගත කරන්න හිතුවෙ ඇයි?
වසර දොළහකට පමණ පසුව තමයි මේවා ප්‍රතිනිෂ්පාදනය වෙන්නේ. ඒ වසර 12ක පමණ කාල පරාසය තුළ නාට්‍ය විෂය හදාරන අයට සහ පොදුවේ ප්‍රේක්ෂකයන්ට මෙම නාට්‍ය යළි රසවිඳින්න අවස්ථාව ලබා දීම වැදගත් කියල මම හිතුවා. නාට්‍ය කලාවට සම්බන්ධ මගේ හිතවතුන් එමෙන්ම නාට්‍ය සංවිධායකවරයෙකු වන ජූඩ් ශ්‍රීමාල් ඒ සඳහා මට උත්තේජනය සැපයුවා. හැබැයි ඔය කාලය තුළ ලංකාවෙත්, දැනට මම පදිංචි ඕස්ට්‍රේලියාවෙදිත් නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළා. මගේ නාට්‍ය අභ්‍යාසය දිගටම පැවැතුණු එකක්.
ඊළඟට මෙම නාට්‍ය පැවැති විදිහටම නිෂ්පාදනය කෙරෙන්නෙත් නැහැ. පිටපත් වල සිට රංගවින්‍යාසය දක්වා දේවල් සඳහා මම විදෙස්ගත අධ්‍යයනයන්ගෙන් උකහාගත් දැනුම භාවිත කරනවා. මූලික නාට්‍ය සංදර්භය තව වර්ධනය කිරීමට එම වෙනස්කම් තුඩු දෙයි කියලා මම විශ්වාස කරනවා.