නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීම සහ සිහින රඟහල

Share post:

මේ කලායේ ‘පැරණි’ නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීමේ යම් ප්‍රවණතාවයක් තිබෙන බැවින් ද මේ විෂය සම්බන්ධයෙන් පසුගිය දවස්වල මට එකඟ වෙන්න බැරි කරුණු රැසක් අහන්න ලැබීම නිසා ද සිහින රඟහල නාට්‍යය ද නැවත නිෂ්පාදනය කිරීම ඇසුරීන් ඒ පිළිබඳව යම් සටහනක් ලිවීම කාලෝචිතයි කියලා හිතුනා.

සිහින රඟහල යනු 1995 සිට 2008 දක්වා මා විසින් ලියූ සහ නිෂ්පාදනය කෙරූ කෙටි නාට්‍ය පහකින් සමන්විත ව 2008 දී ප්‍රථම වතාවට එල්ෆින්ස්ටන් රඟහලින් මංගල දර්ශනය පවත්වා රඟ දක්වන්නට පටන් ගත් නාට්‍ය දර්ශනයෙ එන කෙටි නාට්‍ය එකතුවයි. කරලිගත වන පිලිවෙලට එම කෙටි නාට්‍යය නම්, වැලටයින් එනකන්(2001), චන්ද්‍රවතී සමග රාත්‍රියක්(1995), ඔබ සාපේක්ෂයි(1997), දුවන උන් දෙන්නෙක්(2008), ලාස්ට් බස් එකේ කතාව(1999).
සිහින් රඟහල නාට්‍යය නැවත නිෂ්පාදනය කිරීමට පුහුණුවීම් ආරම්භ කරන කොටම, ඒ ගැන ආරංචිය පැතිර යත්ම, මේවා නැවත නිෂ්පාදනය කරන්නේ ඇයි මේවා දැන් ප්‍රේක්ෂකයින්ට දැනෙන්නෙ නැහැ, ඒවායේ වැඩ කටයුතු ඉවරයි වැනි අදහස් මට අපේ නාට්‍ය ක්ෂේත්‍රයේ සමහරුන්ගෙන් ඇහෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් එවැනි අදහසක් මතු වෙද්දි එක්කෝ මම එයින් ඉගෙන ගැනීමට නැත්නම් එය බැහැර කිරීමට මම එය යම්කිසි පරීක්ෂාවකට ලක් කරලා බැලිය යුතුයි. එහෙම පරීක්ෂාවකට ලක්කර බලන විට මට තේරුනේ මෙම අදහස පදනම් විරහිත බවයි.

ඒ වගේම ඒ අදහස නිර්මාණ වෙලා පැමිණ ඇත්තේ නාට්‍ය හෝ කලාව ආශ්‍රිත ක්ෂේත්‍රයන්ට සම්බන්ධ පිරිසකගෙන් විනා පොදු හෝ මතවාද සහ ඉගැන්වීම්වලින් වල්මත් නොවුන ප්‍රේක්ෂකයාගෙන් නොවන බවයි.

ඒ සඳහා මතුකරපු ‘ජනප්‍රිය’ තර්ක වල තිබුනේ මමම කරපු තවත් මොනවා හරි වැඩ එක්කලා ගත්තාම ඒ තරම් මේක නැහැ මේ තරං ඒක නැහැ, මෙම නාට්‍ය වලින් කතා කරන ආකාරයේ මාතෘකා ආකෘති සුලභ වීම, ඒ නිසා මේවා විශේෂ නොවීම වැනි අදහස්. මෙවැනි තර්ක මේ ලෝකයේ ඕනෑම කලින් නිෂ්පාදනය වුණු නිර්මාණයක් සම්බන්ධයෙන් අදාළ කරන්න පුළුවන් ඒවායි. යම් අලුත් අංග ඇති නිර්මාණයක් බිහිවුන පසුව සාමාන්‍යයෙන් එය ආභාශය කරගත් නිර්මාණ සුලබ වන අතර ඒ නිසා මුල් නිෂ්පාදනය නැවත කිරීම අත් හැරීමට එය හේතුවක් නොවේ.මුල් කෘතියේ සාර්ථකත්වය රඳා පවතින්නේ එය ද නිෂ්පාදනය කිරීමේ සාර්ථක ආසාර්ථකත්වය මත විනා අනිකුත් බාහිර කාරණා නිසා නෙමෙයි. ඒ අනුව ඉබ්සන්ගේ ඩෝල්ස් හවුස් දහනමවෙනි සියවසේ ස්ත්‍රියගේ විමුක්තිය පිළිබඳව අදහස ම තබාගෙන තාත්වික ආකෘතියෙන්ම වුනත් අධ්‍යක්ෂවරයකුට සමකාලීන රොබට් විලියම්ස් ගේ නිෂ්පාදනයකට නොදෙවනි ලෙස ප්‍රේක්ෂකයින් කම්පිත කරන සංවේදීයි මානව අත්දැකීමක් ඇති නිෂ්පාදනයක් බට පත් කරන්න පුළුවන්. නැවතත් ඒ සියල්ල තීරණය වන්නේ ඩෝල්ස් හවුස් වැනි තේමා හෝ ආකෘති කොයි තරම් සුලභ ද කියන කාරණය මත නෙමෙයි , දියුණු රංග- නිර්මාණ උපක්‍රම හරහා එය නිෂ්පාදනය කරන ආකාරය මතයි. .අපි යුරිපිඩීස්, ඉබ්සන්, බ්‍රෙශ්ට් ආදීන්ගේ අවුරුදු සිය දහස් ගණන් පැරැණි, පසුකාලීන නිර්මාණ වලට මූලාකෘති සැපයූ, නාට්‍ය පවා අද හදන්නේ එහෙමයි. ඒ එකක් වත් ඊට සමාන කෘති ඉන්පසු බිහි වීම නිසා වර්තමානයට අදාළ නොවුන අවස්ථාවක් පිළිබද මෙතෙක් වාර්තා වෙලා නැහැ.
නාට්‍යයක් සමග ප්‍රේක්ෂකයෙක් බද්ධ වන හේතුව මොකක්ද? සමකාලීන දැනුමට අනුව නම් මීට නිශ්චිත හේතුවක් යෝජනා කරන්න බැහැ. කෙනෙකුට එය නොස්ටැල්ජියා අත්දැකීමක්, කෙනෙකුට අධ්‍යාපනික අර්ථයක්, කෙනෙකුට සමාන පුද්ගලික අත්දැකීමක්, කෙනකුට හුදු කුතුහලය සංසිඳවා ගැනීමක්, කෙනෙකුට තමා පෙර විඳි අත්දැකීමක් තම අනාගත දරුවන්ට පෙන්වීමක්, කෙනෙකුට තමන් පෙම් කරපු නිර්මාණයක නළු නිළියන් වෙනස්වීම රස විඳීමක්… මෙහි නිමක් නැහැ. නිර්මාණයක් එවැනි විධාකාර ප්‍රවේශයන්ගෙන් ප්‍රේක්ෂකයාට බලපෑමක් කරන්න පුළුවන්.ප්‍රේක්ෂකයා යනු සංකීර්ණ ප්‍රපංචයක්. සමහර ඓතිහාසික කතා, විද්‍යා ප්‍රබන්ධ සහ ෆැන්ටසි කතා ආදිය තියෙනවා මානව අත්දැකීමක් ලෙසට විනා වෙනත් කිසිම විදිහකින් වර්තමානයට සම්බන්ධයක් නැති. නමුත් අපි ඉතා ඉහළින් ඒවා රසවිඳිනවා. ඒ අර රසිකයා කෘතියකට සම්බන්ධවෙන සංකීර්ණ ප්‍රවේශයන් නිසියි.

නිර්මාණයක් කාලයක් යෑමේදී එහි මුල් අර්ථයෙන් වෙනස් වෙලා විවිධ සමාජ අර්ථ ගොඩනැගී වෙනත් අර්ථ නිෂ්පාදනය කරන දෙයක් බවට පත්වෙනවා. උදාහරණයකට, මනමේ අද අප රසවිඳින්නේ සරච්චන්ද්‍රට මුලින්ම කියන්නට අවශ්‍ය වුන ස්ත්‍රිය පිළිබඳ ප්‍රශ්නයකට හෝ ‘දේශීය නාට්‍ය කලාව’ පිලිබඳ.අවශ්‍යතාවයකට වඩා එහා ගියා වූ සංස්කෘතික සහ සමාජ ගොඩනැංවීමක් ලෙස ඊට එකතු වුණු අර්ථ හරහා සමාජයට කරපු බලපෑමක් ඇති මානව අත්දැකීමක් ලෙසටයි. ඒ අනුව පණහ දශකයේ මනමේ කුමාරයා දැනූණ විදිහට නෙමෙයි දැන් අපිට ඒ චරිතය දැනෙන්නේ. අද මනමේ කුමාරයා සභ මනමේ කුමාරිය යනු විවිධාකාර තවත් නිර්මාණ සහ අර්ථකථන හරහා ජන ජීවිතයට එකතු වුණු සංස්කෘතික අයිකෝනයන්.

ප්‍රේක්ෂකයන් නාට්‍යයකට බද්ධ වන ආකාරය සහ නට්‍යක් අර්ථ ගැන්වෙන ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත විදියක් යෝජනා කරන්න බැරි විශ්වයක් තුළ, ලෝකයේ නාට්‍ය කලාව වඩා පොහොසත් ව සිදු වන රටවල අද වෙනකොට සෑම වර්ගයකම සෑම ආකෘතියකම සෑම කාලයකම නාට්‍ය විවිධාකාරයෙන් නිෂ්පාදනය වෙනවා. උදාහරණයකට, ග්‍රීසියේ එළිමහන් රඟහලවල් වල එදා පෙන්වූ ආකාරයට ම වෙස් මූණු සහ අඩි උස සපත්තු දමාගෙන නිෂ්පාදනය කරනවා, ශේෂ්පියර් ග්ලෝබ් රඟහලේ එදා හදපු ආකාරයටම හදනවා. ඒ වගේම එම නිර්මාණ වල නූතන පර්යේෂණාත්මක නිෂ්පාදන ද කරනවා. පොහොසත් පුලුල් නාට්‍ය සංස්කෘතියක් ඇති වෙන්නේ සෑම ආකාරයකම නිර්මාණ වලින් සංකීර්ණ වූ නාට්‍ය සමාජයක් ඇති වන විටයි.

අපි රසවිඳින ලෝක නාට්‍ය කලාවේ වෙනත් කාලවකවානුවක හෝ සංදර්භයක නිර්මාණය වුන කිසිම නාට්‍යයක් අද වර්තමානයට එදා නිර්මාණය වුණු ආකාරයෙන්ම ගැලපෙන්නෙ නැහැ. උදාහරණයකට, ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයයේ යුද්ධයද රෝමියෝ ජුලියට් නාට්‍යයේ ආදරයද අද අපි වර්තමානයට අදාළ කරගන්නේ එදා වෙච්ච විදිහට නෙමෙයි. ඊඩිපස් රජු යථාර්ථයට මුහුණ දෙන්න ඇස් අන්ධ කරගත්ත ආකාරයට අනුව දැන් ඉන්නා කිසිදු පාලකයෙකු ඇස් අන්ධ කර ගන්නේ නැහැ. නිර්මාණයක් වර්තමානයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් මෙවැනි දේවල් ප්‍රශ්න කිරිම් අර්ථ විරහිතයි.අණුව දශකයේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි පෙම්පත් ලියා එකතු කලත් අද ලියුම් ලියන්නේ නැහැ, නමුත් අදත් එය සිද්ධ වෙන්නේ පුරුෂාධිපත්‍ය විශ්වයක් තුලයි. එතකොට වර්තමානයේදී ඒ ලියුම් දේශපාලනික සහ කලාත්මක අර්ථ මවන සංකේත වෙනුවෙන් පෙනී සිටිනවා. ඊඩිපස් ඇස් අන්ද කරගැනීමත් එහෙමයි.
ප්‍රේක්ෂකයින් එක දෙක තුන පිලිවෙලට වෙනස් වෙලා නෑ. සමාජය කියන්නේම එහෙම තැනක් නෙමෙයි.

මෙම සංකීර්ණ ප්‍රේක්ෂක සමාජය තුළ මෙම නාට්‍ය 90දශකයේ රසවින්දා ආකාරයෙන්ම රස විදින අය ද තාමත් ඉන්නවා. එම නාට්‍යයවලට වස්තුවිෂය වුන ස්ත්‍රිය පිළිබඳව ප්‍රශ්න, පරිභෝජනවාදය සහ සූරාකෑම වැනි දේවල් වල කිසිදු වෙනසක් සිදු වෙලා නෑ. නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීම තුළ ඒවා මුලින්ම නොගිය ප්‍රේක්ෂකාගාර කරා යමින් පවතිනවා. කිසියම් පිරිසකට ඒ තේමා සහ ආකෘති සුපුරුදු වීම, සාමාන්‍යකරණයට ලක්වීම ලෝකේ ඕනෑම නාට්‍යයක් සම්බන්ධයෙන් ද සාමාන්‍යය තත්ත්වය ක්. නාට්‍යක් නැවත නිෂ්පාදනය නොකිරීමට ඒක කිසිදු හේතුවක් නෙමෙයි.

අදහසක් නිෂ්පාදනය වීම අහිංසක වැඩක් නෙමෙයි. ඊට සන්දර්භයක් තියෙනවා අරමුණක් තියෙනවා. එබැවින් එය දේශපාලනිකයි. වඩා වැදගත් වෙන්නේ එම අදහස සේවය කරන්නේ කවර යහපතකට ද යන්නයි. නාට්‍යයක් නැවත නිෂ්පාදනය වීම විවේචනය කිරීමේ අදහස ප්‍රේක්ෂකයින්ට ඒවා නැරඹිම අධෛර්ය කිරීමින් නිර්මාණ අවප්‍රමාණය කිරීමට වඩා වැඩියමක් කරනවද? එය නාට්‍ය කලාවේ ප්‍රගමනයට හේතු වන්නේ කෙසේද?
ප්‍රේක්ෂකයින් මෙම නාට්‍යය නරඹන්නට කැමැත්තෙන් ඉන්නා තාක් කල් ඒවා නැවත නැවත නිෂ්පාදනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.විශේෂයෙන් සිහින රඟහල දෙවන නිෂ්පාදනය 2013 දී කළාට පසු, පසුගිය දශකයේ ක වැනි කාලය තුළ එය නැරඹීමට නොහැකි වූ එහෙත් ඒ පිළිබඳව තාබහ කළ අලුත් ප්‍රේක්ෂකාගාරයක් ඇති බව අපට වැටහී ගිය අතර එම නිසා ඒවා නැවත නිෂ්පාදනය කිරීම ප්‍රයෝජනවත් කියලා අපි හිතුවා.

මෙවර සිහින රඟහල දර්ශනයේ දී අප නාට්‍ය කණ්ඩායම වඩාත් ධෛර්යයට පත් වූ කාරණය නම් නරඹන්නට පැමිණි ප්‍රේක්ෂකයින්ගෙන් බොහෝ දෙනෙකු මෙම නාට්‍යය දෙතුන් පාර නැරඹීමට පැමිණි අය වීමයි. මෙය මම නාට්‍යකරුවෙකු ලෙස ට ලැබූ සුවිශේෂ අත්දැකීමක්. ඔවුන් සමහරු ඉදිරි දර්ශන රැසක් සංවිධානය කිරීමට පෙළඹිලා තියෙනවා.එවිට අපිට හිතුනෙ මෙම නාට්‍ය නිෂ්පාදනය නොකළා නම් එය කෙතරම් අපරාධයක් ද යන්නයි.
අවසානයේ,මෙම නාට්‍ය නැරඹීමෙන් තවත් නාට්‍ය කරුවෙකුගේ නාට්‍යය නරඹන්නට ඔබට චිත්ත ධෛර්යය ලැබේවා යන්න අප සිහින රඟහල නාට්‍ය කණ්ඩායමේ ප්‍රාර්ථනය යි!

ධනංජය කරුණාරත්න

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...