අවිඥානිකයාගේ මාවත 1 (තීරු ලිපි) – මෙට්‍රෝ හීන

Share post:

දිල්ලියට වැස්ස. කියන හැටියට නම් අකල් වැස්සක්ලු. රෑ සඳළුතලයෙන් බලන් ඉන්නකොට ඉස්සරහම තියෙන්නෙ බෝ ගහක්. වටපිට බලද්දී ඇතිවෙන්න බෝ ගස් හැමතැනම. තවත් එක නිකන්ම ගහක් විදියට ඔහේ වැවිච්ච ඒවා. මම ඉන්න තැන දිල්ලියේ ටිකක් මිළ මුදල් තියෙන අය ජීවත් වෙන මහල් නිවාස තියෙන හරියක්. පල්ලෙහා පොඩි පාක් එකක්. පොඩි ව්‍යායාම මංතීරුවේ දුව දුව හිටපු සුන්දර ඉන්දියානු යුවතියක් වැස්ස එද්දිම දුවගෙන ගියා ඇගේ මහල් නිවාසය පැත්තට. ඉඟ සුඟ ගත හැක මිටින වගේ ඉන්න ඒ දැරිවි මොකට ඔච්චර දුවලා මහන්සි වෙනවද මංදා. මේ හරියෙ නම් කිසිම යාචකයෙක් පේන්න නැහැ. හරිම නිශ්ශබ්දයි. දවල් වරුවෙ නම් ඉඳහිටක කෑ ගහමින් යන වෙළෙන්දෙක් හෝ ගෙවල්වල කුලී වැඩ හොයන්නෙක්ගේ සද්දෙ තිබුණත් දැන් ඒකත් නෑ. එකපාරම හිත කැලඹිලා ගියා. නිහඬබවට අපිව කලඹවන්න පුළුවන්. කිලෝමීටර් දහස් ගාණක් ආපස්සට, ලංකාවට හිත ගෙනියන්නත් පුළුවන්. නවදිල්ලියට මේ ගමන සිද්ධ වුණේ ෆොස්වාල් සාහිත්‍ය උත්සවයට සහභාගී වෙන්න. ඒක පටන් ගන්නෙ අනිද්දට.

දවල් වරුවෙ දිල්ලි මෙට්‍රෝවේ පැය තුනක විතර රස්තියාදුවක් ගැහුවා. ජීවිතේ පළවෙනි වතාවට දිල්ලි මෙට්‍රෝවට ගොඩ වුණේ දෙගිඩියාවකින්. මහා රටකට ආවට පස්සේ හැමදෙයක්ම මහා වෙනවා. මහා නගර, මහා ජනතාව, මහා භූමි ප්‍රමාණ විදියට කෙනෙක්ට ලේසියෙන්ම අතරමං වෙන්න පුළුවන්. මෙට්‍රෝවෙන් මට ඉස්සෙල්ලම යන්න තිබුණේ දිල්ලි හාත්වලට. ඇතුළු වුණ ගමන් මොකවත්ම හිතාගන්න බැහැ. වටපිට බලද්දී සිතියමක් තිබුණා. මෙට්‍රෝවට එන්න කලින් පුෂ්ප රන්ජන් අයියා උපදෙස් දීලා තිබුණා නව දිල්ලියට යනවනම් Yellow Line එක අල්ල ගන්න කියලා. ලාජ්පත් නගර්වලින් මෙට්‍රෝවට ගොඩවෙලා යන්න ඕන පාර හොයාගත්තා. දිල්ලි මෙට්‍රෝව හොඳ සංවිධානගත වැඩක්. මෙට්‍රෝ ධාවනය වෙන්නේ මංතීරු කිහිපයක. ඒවා විවිධ වර්ණවලින් නම් කරලා තියෙනවා. නිල්, කහ, රතු, රෝස, දම්, මැජෙන්ඩා විදියට. ලාජ්පත් නගර්වල ඉඳලා දිල්ලි හාට්වලට යන්නේ පින්ක් ලයින් එක. ලාජ්පත් නගර්වල ඉඳලා දිල්ලි හාත්වලට ස්ටේෂන් දෙකයි. ඉන්දියන් රුපියල් 10යි. ටිකට් එක වෙනුවට ලැබෙන්නේ ටෝකන් එකක්. පින්ක් ලයින් එක යන්නේ පහළින්. ඒ නිසා දුවන පඩිපෙළේ පහලට ගිහින් අදාළ ප්ලැට්ෆෝම් එකට යන්නෝන. කෝච්චි පැති දෙකට ගමන් කරනවා. කොහොම හරි කීපදෙනෙක්ගෙන්ම අහගෙන හරි ප්ලැට්ෆෝම් එකේ හිටගෙන ඉන්නවා. විනාඩි දෙකක් යද්දි කෝච්චිය එනවා. කෝච්චිය නැවැත්තුවම තමයි නගින්න ප්ලැට් ෆෝම් එකේ දොරවල් ඇරෙන්නේ. හරිම ආරක්ෂිතයි. ලොකු සෙනඟකුත් නැහැ. දොර ගාව හිටගෙන හිටියේ මම කෝච්චිය යන ස්ටේෂන් මොනවද කියලා එතන ඩිජිටල් තිරයක සලකුණු කරලා තිබුණ නිසා. කරදරයක් නැතිව දිල්ලි හාත්වලින් නම් බැහැගත්තා. දිල්ලි හාට්ත්ල ප්‍රසිද්ධ මාකට් එකක් තියෙනවා.

දිල්ලි හාත්වලින් බැහැලා ඇවිත් නව දිල්ලි ස්ටේෂමට යන්න කහ ලයින් එකට යන්න ඕන. කොහොම හරි තට්ටු දෙකක් නැගලා කහ ලයින් එක හොයාගත්තා. ප්ලැට්ෆෝම් එකට එනකොටම කෝච්චියක් එනවා. ළඟ හිටිය කෙනාගෙන් ඇහුවා මේක නවදිල්ලියට යනවද කියලා. මනුස්සයා ඔව් කිව්වා. මමත් ඉතින් දණි පනි ගාලා නැගගත්තා. දැන් කෝච්චිය ඉස්සරහට යනවා. හෝස්කාස්වලදි මනුස්සය බැහැලා ගියා. කෝච්චිය දිගටම යනවා. නවදිල්ලිය නම් එන පාටකුත් නෑ. කෝච්චිය දුවන්නේ හූඩා සිටි සෙන්ටර් එකට බවක් පෙන්නනවා. නගර තියෙන්නේ හින්දියෙන්. Huda විතරක් ඉංග්‍රීසියෙන් ගහලා. ඒ නිසා මුකුත් හොයාගන්න බැහැ. එක මනුස්සයෙක්ගෙන් දන්න හින්දියෙන් ඇහුවා. මනුස්සයාට හින්දි දන්නෑ. කේරල පොරක්. ඉංග්‍රීසි දන්නෙත් නැහැ. මොකක් හරි බරපතළ අවුලක් බව මට තේරුණා. ඊළඟ ස්ටේෂමෙන් බැස්සා. බහින කොටම හිටිය තරුණයෙක්ගෙන් ඇහුවා දිල්ලි හාත් කොහෙද කියලා. ඔහු කිව්වා අනික් පැත්තට යන මෙට්‍රෝවට ගොඩවෙන්න කියලා. දිල්ලියේ තරුණ පරම්පරාව ඉංග්‍රීසි ටිකක් භාවිතා කරන නිසා හොඳයි.

යන්තම් ගුවන් පාලමෙන් බැහැලා අනිත් පැත්තට ගිහින්, ඒ පැත්තෙන් එන මෙට්‍රෝවක් අල්ලගත්තා. විනාඩි පහක් ගියේ නැහැ මේ සේරටම. මම ආපහු මෙට්‍රෝවක නැගලා නවදිල්ලිය පැත්තට යන ගමන්. හුදෙකලාවේ කරක් ගහන එකත් වෙනම අත්දැකීමක්. කොහොමත් මම හුදෙකලා සංචාරයන්ට ආසක්තයි. ඒ සංචාර මට ලබාදෙන්නේ හරිම ආධ්‍යාත්මික දේවල්. නවදිල්ලි ස්ටේෂන් එකෙන් බැහැලා එළියට ආවම හැමතැනම ගොඩනැගිලියි, කඩ පේළියි තමයි. මස් වර්ග ගන්න තනිකර මාකට්ටුවක්. තව ඒ වගේ එක එක මාකට්. තව තැනක් පහුකරනකොට දන්සලක් වගේ එකක්. මිනිස්සු පෝලිමේ යනවා. චපාති වගේ කෑමත් තිබුණෙ. දවල් ගිනි රස්නෙ. ඉහින් කනෙන් බේරෙන දාඩිය. සුන්දර ඉන්දියානු ලලනාවෝ. ජටා බැඳගත්තු කම්කරුවෝ. ඇත්තටම එතන තනිවෙන්න නියම තැනක්. නා නා විධ මිනිස්සු. නා නා විධ ක්‍රියාකාරකම්. අනතුරක් නැතුවමත් නෙමේ. පොකට් එකට ගැහුවොත් සේරම හමාරයි.

කකුල් දෙකම නැති මනුස්සයෙක් රෝද පුටුවකට හයිකරපු පොඩි කරත්තයක් වගේ එකක් පැදගෙන යනවා. ගිනි රස්නේ දාඩිය බේරෙනවා. දැක්කහම පුදුම දුක්ඛිත ජීවිතයක්. හැබැයි කරත්තෙට අමුණපු කෝට්ටක ටිප් ටොප් එකට දිලිසෙනවා ඉන්දියානු කොඩිය. කරත්තේ පැත්තක එහෙ ලොකු තැන හිනාවෙනවා අත් එකතු කරගෙන, ෆොටෝ එකක. පොඩි කෑම කඩේකින් කෙටි කෑමත් අරගෙන පෙප්සි එකකුත් බීලා වටයක් ඇවිද්දා. භෞතික දියුණුව දිල්ලියේ පැතිරිලා. ආසාවට ලේලන්ඩ් බස් එකක්වත් නෑනේ. හොඳ ලක්ෂරි ටයිප් එකේ බස් මෙහේ දුවන්නේ. කාන්තාවන්ට පොදු ප්‍රවාහනය නොමිලේ කතාවකුත් ඇහුණා. ඇත්තද දන්නෑ. ඉන්දියාව කියන්නේ කොහෙත්ම රටක් නෙමේ. රටවල් ගොඩක එකතුවක්. මගේ වෙලාව ගතවෙනවා. දැන් දැන් කළුවර වැටීගෙන එනවා. තව කළුවර වැටුණොත් ලාජ්පත් නගර් හොයාගන්න බැරි වෙයි කියලා මගෙ හිත කිවුවා. මම සංචාරය අවසන් කරලා මෙට්‍රෝව පැත්තට යාගන්න ඕන. පොදිකමින් යන මිනිස්සු. ජීවිතේ තවත් දවසක් හමාර කරලා ගෙවල් බලා යන මේ බහුතරයකගෙ ඔළු බිමට පහත් වෙලා. ජීවිතත් මේ මෙට්‍රෝ වගේ නොනැවතී හැල්මේ දුවනවා. හෙමින් හෙමින් ආපු පාර මතක් කරගෙන ඉස්සරහට ගියා. හැබැයි කොතන හරි වැරදිලා. එකම තැන කැරකෙනවා මිසක් මෙට්‍රෝවක් පේන්න නැහැ. ටික දුරක් යනකොට ටිකක් වයසක අංකල් කෙනෙක් හම්බුණා. මනුස්සයා පාර කිවුව විදියට දැනන් හිටිය ටිකත් පැටළුණා. ඊට පස්සේ නංගි කෙනෙක්. යන්තම් මේ පාර නම් හරියට පාර කියලා. මෙට්‍රෝවට එනකොට වටින් ගොඩින් කළුවර. ආපහු යෙලෝ ලයින් එකෙන් ගිහින් දිල්ලි හාත් බැහැලා, එතනින් පින්ක් ලයින් එකේ ලාජ්පත් නගර්වලට. හැන්දෑවට ලාජ්පත් ලස්සනයි. සුඛෝපභෝගී කඩ සාප්පු විදුලි පහන්වලින් මූර්තිමත් වෙලා. යම් විනෝදකාමී බවක් අරක්ගෙන. මහා රටක, මහා නගරෙක, මහා ජනතාව අස්සේ අතරමං වෙලා යාන්තම් ආපහු ආවා.

නිමක් නැති සිතුවිලි එහාට මෙහාට පාවෙනවා. වැස්ස තාමත් හීනි නූලක් වගේ අහසයි පොළවයි යාකරනවා. එහා පැත්තේ අපාර්ට්මන්ට් එක ළඟ වාහනයක් නවතිනවා. තරුණ යුවළක් සහ ඔවුන්ගේ කුඩා දරුවා ඉන් බහිනවා. මම සඳළුතලයෙන් මෑත් වෙලා ඇතුළට යන ගමන් කල්පනා කරනවා. ලයිට් රෙල්වේත් නැති අපි මෙට්‍රෝවක හීන දකිනවා. මෙතරම් ලාභ පහසු ඉක්මන් පොදු ප්‍රවාහනයක් අපිට අකැපයිද?

(අවිඥානිකයාගේ මාවත 2 (තීරු ලිපි) ඊළඟ බදාදා thetime.lk සමඟ)

රශ්මික මණ්ඩාවල

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...