මුලතිව් – කොක්කුතුඩුවායි සමූහ මිනී වළක් ද ? : මහේස්ත්‍රාත් අධීක්ෂණය යටතේ කැණීම් අරඹයි !

Share post:

මුලතිව් කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු සිදුකිරීම මුලතිව් මහේස්ත්‍රාත් ටි. සරනවරාජාගේ අධීක්ෂණය යටතේ අද (06) ආරම්භ කෙරිණි.

ජල සම්පාදන මණ්ඩලයේ මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සේවකයන් පිරිසක් විසින් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජල නල එළීමකට කාණුවක් සකස් කිරීමේදී පළමු වරට පසුගිය ජුනි 29දා අදාළ ස්ථානයේදී අස්ථි කොටස් හමුවී තිබිණි.

මෙම අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් මුලතිව්,කෝකිලායි පොලිසිය වෙත දැනුම්දීමෙන් අනතුරුව කෝකිලායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර තිබිණි.

පොලිසියේ දැනුවත් කිරීම් අනුව මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා අස්ථි කොටස් හමුවූ ස්ථානය ජුනි 30දා නිරීක්ෂණය කළ අතර, අද (06) අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙස නියෝග කළේය.

ඒ අනුව මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, මුලතිව් දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක් ඉදිරියේ කැණීම් කටයුතු ආරම්භ කෙරිණි.

පොලිසිය පවසන්නේ අදාළ ස්ථානයෙන් මිනිස් අස්ථි කොටස් හා ඇඳුම් කොටස් කිහිපයක් මූලික ව නිරීක්ෂණය වන බවයි. ආරක්ෂක අංශ විසින් යුද කටයුතු වෙනුවෙන් භාවිත කරන කැලෑ ඇඳුමට සමාන ඇඳුම් කොටස් කිහිපයක් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ නිරීක්ෂණය වන බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම සමූහ මිනී වළ යුද සමයේ ආරක්ෂක අංශ වෙත බාර වූ එල්ටීටීඊ සාමාජිකාවන්ගේ සමූහ මිනී වළක් විය හැකි බව අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා මුලතිව් ජනතාව සැකකරන බව මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන් බීබීසී සිංහල සේවය වෙත පවසා තිබිණි.

‘අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කාන්තාවන්ගේ ඇඳුම්වලට සමාන ඇඳුම් කොටස් නිරීක්ෂණය වීම හරහා තමයි ජනතාවට ඒ සැකය ඇතිවෙලා තිබෙන්නේ. යුද්ධ කාලයේ 1984 අවුරුද්දේ ඉඳලා 2011, 2012 විතර වෙනකම් ඔය පැත්තේ යුද හමුදාව ඇරෙන්න වෙන කවුරුවත් හිටියේ නෑ. ඒ කාලයේ ජනශූන්‍ය ප්‍රදේශයක් තමයි කොක්කුතුඩුවායි ප්‍රදේශය. ඒ කාලයේ ඔය පැත්තේ සිදුවුණ දේ දන්නේ ආරක්ෂක අංශ විතරයි.

අවසන් යුද සමයේ ආරක්ෂක අංශ වෙත බාරදුන් එල්ටීටීඊ සාමාජිකාවන් බහුතරයක් දෙනා යුද්ධය නිමා වී වසර 14ක් ගතවුවත් තවමත් අතුරුදන් වෙලා ඉන්නවා. ඒ අයට සිද්ධවුණ දේ තවමත් අබිරහසක්. යුද සමයේ ආරක්ෂක අංශ වෙත බාරදුන් පිරිසක් අතුරුදන්වෙලා ඉන්නවා. ඒ අය සොයාදෙන ලෙසට අතුරුදන්වූවන්ගේ ඥාතීන් අවුරුදු ගණනාවක් පාරවල් අයිනේ උපවාස පවත්වනවා. ඒත් ඒ අය ගැන කිසිදු තොරතුරක් නෑ.’

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...