ඇස නොගැටුණු වංකගිරිය

Share post:

හේ සරන්නෙකි. සරන්නන් විවිධ ආකාර ය. අහිගුණ්ඨික පිරිස් ජීවනෝපාය සඳහා සරමින් අත්ල බලා ශාස්ත්‍ර කියති. නයින්, රිලවුන් නටවති. වෙළෙන්ඳෝ වෙළෙඳාම් පිණිස සරති.

ජනමාධ්‍යවේදීහු තැන තැන සරා පුවත් පත් ලිපි, රූපවාහිනී යූටියුබ් වීඩියෝ ආදිය කරති. සාමාන්‍ය සරන්නෙක් නම් සුරාසල්වල, ලැගුම්හල්වල, ගෙවල්වලදී, මඟතොටදී හමුවන අයට තමන්ගේ ගමන් විස්තර ගැන වර්ණනාත්මක පුරසාරම් කියා සෑහීමකට පත්වේ.
සරන්නා කවියකු වූ කල තමන්ගේ ගමන් විස්තර කවියට නඟනවා නිසැකය. එවන් සරන්නෙක් තමන් ගමන් යන ආකාරය පිළිබඳ කවියෙන් තැබූ සටහනක කොටසක් මෙසේය:

“සබඳ මම
පාරාදීසයක නො වෙසෙමි.

එර්දියෙන් දිය දෙබෑ කරගෙන
අහස විදගෙන
නො සරමි.

දාඩිය ගඳැති බස්වල
කිළුටු දුම්රිය, ලොරිවල
ට්‍රැක්ටර්, කාර්, ගැල්වල
වෙනසක් නො දැක එල්ලෙමි
කුරුලු ඇසකින්
පොළොව දකිමින්
ගුවන් නැව්වල මත්වෙමි
සාක්කුවෙ හිල් ගහණ දවසට
ගව්ගණන් දුර
පයින් ඇවිදිමි

දාමරිකයන්, සොරුන්, නිකමුන්,
ගෝපිකාවන් සරන තැන්වල
චාරයක් නැති මී ඔඩම් මැද
ඉබාගාතේ හැසිරෙමි….”

සරන්නා කවියකු බැවින් සරන්නේ කෙසේද යන්නට වඩා වැදගත් වන්නේ හේ සරා ගෙනෙන අස්වැන්න කවරාකාර ද යන්න ය.
ස්ථාන වර්ණනා, පුද්ගල වැනුම් සහ මානවවාදී චිත්ත වේග මුදා හැරීම් වශයෙන් මොහු ගේ කවි කිසිවකු විසින් හඳුනා ගන්නට හැකියාව තිබේ. සමහර කවක ස්ථාන වැනුමක මුසුවන චිත්ත වේගී මානවවාදී බවක් ද ඇතැම් කවක චිත්තාපර පුද්ගල වර්ණනා ද හමුවේ.

“අවතාර නගරය” යන මැයෙන් එන බෝඩි ඓතිහාසික ජාතික උද්‍යාන වැනුම ස්ථාන වර්ණනාවක එන මානවවාදී චිත්තාපර බවට නිදසුනක් ලෙස දැක්විය හැකිය.

/අවතාර නගරය /

බෝඩි හි දී ය.

රන් සොයා ආ සෙනඟ
රන් පතා කොල්ල කා
අනුන් ගේ මහපොළොව
රන් ගරා පොදිබැඳන්
ගිය පසුව
රන්වනින් දැවී යන මුඩුබිමක
රන් සුණක් හෝ නැතිව අතහැරුණු
‘අවතාර නගරය ‘ යි අවමාන නාමය ද පටබැඳුණු
හුදෙකලා නගරයකි…..

“රන් පතා කොල්ල කා,
අනුන් ගේ මහ පොළොව “

වැනි කියුම්, ඓතිහාසික රන් කොල්ලයේ ස්වභාවත්, ඒ සම්බන්ධයෙන් කවියා ගේ විරෝධාකල්පයත්, රන් කොල්ලයට ගොදුරු වන්නට පෙර බෝඩි හි වාසය කළ බව කියන 10000ක් වන ස්වදේශී ජනයා සම්බන්ධයෙන් කවියා දක්වන මානවවාදී හැඟීමත් ප්‍රකාශ වේ.

“දස දහස් දනන් ගේ
පා ගැටුණු
අශ්ව ලාඩම් කෙටී
හඬ කැවුණු
වෙඩි හඬින් මර හඬින්
ගල් ගැසුණු
සොරකමින් මැරකමින්
පණ පෙවුණු “

ආදි වශයෙන් සිද්ධි දාමයේ ඓතිහාසික ස්වරූපය දක්වන කවියා එය සිදුකරනු ලැබු ම්ලේච්ඡ ස්වරූපය පිළිබඳ හැගීමක් ද පාඨකයා තුළ ජනිත කරයි.

සියල්ල අතර කවියා පරිසර වර්ණනාය ය කියනවාටත් වඩා ස්ථාන වැනුම් ය කියන්නට හැකි චිත්තරූප ⁣රැසක් පාඨකයා ඉදිරිපිට මවා දක්වයි. එහි දී කවියා ගේ පද හැසිරවීම රූප රාමු පෙළක් ලියා දක්වනවා හා සමාන වේ.

“ගෙවල් තුළ එහෙම්මම
දමා ගිය
කැඩුණු පුටු, ටයිප්රයිටර, මේස
ඇඳ කබල්, පියානෝ
ගෑනු යටගවුම්, බොඩි,
ගොපලු කලිසම්, තොප්පි,”

ඒ රූප රාමු වලට අයත්ය.

” රනුත් නැත
රන් තිබ තැනුත් නැත
රන් සොයා
පොදිබැන්දවුනුත් නැත”

හේ නගරයේ පාළුව වනන්නේ එසේය.
අවේලාවේ එතැන ගැවසීම තහනම් කර ඇති බවත් හවස හතරට පිටව යා යුතු බවත් දන්වන කවියා, ඒ නියෝගයට හේතු විමසන්නේ මෙලෙසිනි.

“අවේලාවට- රෑට
රන් කොල්ලයේ කුරිරු
සශ්‍රීක දවස්වල සැහැසිකම්
යළිත් රඟදෙනවාද?

එසේ නැතිනම්
ජම්මයෝ සොහොන් පල්ලෙන් නැඟිට
කොල්ල කෑ උරුමය
සොය සොයා ඇවිදිත්ද?
අදත් උන් පොලුගැසී වැනසෙත්ද?

බලන්නට එන අයට
එ වැනි දේ නැරඹීම
නො හොබීද?”

සැරුම් අතර ඔහුට නේක ආකාර මිනිසුන් හමුවේ. එකී මිනිසුන් ගැනත් හේ ලියයි “ඉගෝර් නම් වන පිස්සු රුස්සා” එවැනි එකෙකි.රුස්සාගේ වගතුග හෙතෙම මේ ලෙස වචනයෙන් සිතුවම් කරයි.

“ඉගෝර්
පිස්සු රුස්සෙකි
වැඩි කතා වැඩි සිනා නැත්තෙකි

ඇවිදින ගුදම් බඳු
අනෙක් රුස්සන් නොරුස්සන්නෙකි

හිඳින කල මා පිරිස් ඇසුරේ
නො දුටු සේ යන
සෙමෙන් මඟහැර “

“ශිම්ලාවෙ කපුටෝ” යනු සරන්නා සංචාරක තැරැව්කරුවන් පිරිසක⁣ට දෙනු ලබන නම නොව, එරැටියෝ ලෝකයට ඒ පිරිස හඳුන්වාදෙන ආකාරය ය.

“සුදු අතින් බැඳි
පවර නුවරක
ජේත්තුව නම
කැළැල් කරමින්
තැරැව්වේ යන
කොමිස් කපුටෝ
වට කළෝ අප
කරව් කරමින්”

සරන්නා කියන්නේ මා වටකර ගත් බවක් නොව අප වටකළ බවකි. අප කියා කීමෙන් තැරැව්කරුවන්ගේ හැසිරීමේ සදාකාලික බව හැඟවේ. ඊයේ පැමිණි සංචාරකයන් ඔවුන් විසින් වටකරනු ලැබ ඇත. අද පැමිණ සිටින්නන්ට මෙන්ම හෙට අනිද්දා එන අයටත් එසේම සිදුවනු ඇත.

“බොහෝ දැනමුතු
ගයිඩ් පොත් දෙත්
තොපෙන් ගැලවී
ඉනු ව උපදෙස්
පහදවා තොප කාක ලීලා
ඉසුර එළවන
සුගති උයනෙන්”

රට්ටු උන් ගැන සිතන කියන අයුරු ඒ වුව; සංචාරක කවියා ඔවුන් හඳුනාගන්නා ආකාරය මේය:

” මහා බරපොදි
හිසින් උරයෙන්
දරා කඳු මං අතර කටුසර
මිනිස් තවලම් බඳුව
යන තොප
ගෑස් ටැංකි ද
පිටේ බැඳගෙන”

මේ මිනිසුන් උතුරු භාරත පැහැය හේදුණු, ගිලුණු ඇස්, කෘශ මුහුණු මත දළ රවුළු සහ දාහයෙන් පෙඟුණු කෙස් ඇති පිරිසක් බව කියන කවියා,
අවසනට කියන්නේ මෙසේය;

” පැමිණ කා බී
පිටව යන්නෙමු
සිහින සැරිසර
සැබෑ කරගෙන

මහා කරදර
කාක මුහුණක්
පහසුවෙන් පලඳවා
තොප හට”

කවියා මෙ කව ආකාර කිහිපකින් පබඳින බව පෙනේ. කවෙහි මුල් පේළි කිහිපය ස්ථානය හඳුන්වා දීමක් විලසින් ගොතා ඇති අතර “වට කළෝ අප කරව් කරමින්” ,” බොහෝ දැනමුතු ගයිඩ් පොත් දෙත්” වැනි යෙදුම් සිද්ධි වාචකව ගෙතේ. ” දුටිමු තොප මහ නපුරු උන් ලෙස, තොපෙන් බේරෙන උපා සෙව්වෙමු.” වැනි යෙදුම් මඟින් තැරැව්කරුවන් කෙරෙහි වන පොදු ආකල්පය ගම්‍ය කෙරෙන නමුත් කවිය අවසානය දකින්නේ එකී මිනිස් වැරහැලි පිළිබඳ වැරදි ආකල්පයකින් පසුවන සමාජයට එල්ල කෙරෙන චෝදනා පත්‍රයක් පරිද්දෙනි.

මේ කවි ගොන්නේ අපූර්වත්වයට හේතු වන්නේ සරන්නා පුද්ගලයන්, සිද්ධි සහ ස්ථාන නරඹන සහ ඉදිරිපත් කරන ආකාරය බව පෙනේ.
අදාළ කවි නිමිති පියවි ඇසින් නොදුටු රසිකයකුට වුව සේයාරුවකින් පාන්නා සේ ඒවා මනසෙහි මවා පෙන්වන්නට මෙහි බස සමත්ය. වරෙක සරන්නා තනිවම විඳින්නෙකි. වරෙක කා සමඟ හෝ තොරතුරු කියන නැතහොත් බෙදා ගන්නෙකි. විටෙක ඇඟිල්ල දිගුකර ඒ දේ මේ දේ පෙන්වා දෙන්නෙකි.

” මේ මහා මාළිගා සාගරය අද වුණත් කිසි දෙයක් නොකියයි.” හි සරන්නා සොඳුර ට මාළිගයේ වගතුග පවසයි. ඒ මේ අයුරිනි:

“…. නෑ සොඳුර
ඒ වගේ හැඟුණාට
ඒක පෙම් කතාවක්මත් නෙමෙයි.

… පෙම් කතාවක් වුණත්
අපේ පන්තියෙ කතාවක් නෙමෙයි
බොහොම උස රජ පවුල්වල කතාවක්.

පිපිරිලා දෝරෙ යන විප්ලවේ
ගැහැනු බළඇණියක් ව
වර්සායි මිදුලට ම ගැලුවාම
පළමු ගල වහල මත වැදුණාම
දෙවැනි තුන්වැනි ගල්
පළිඟු වීදුරු ජනෙල් බින්දාම
පිටත රණ හඬ සැරෙන්
බුර බුරා- බුර බුරා නැඟුණාම

අනෙක් පස සිරියහන් ගබඩාවෙ
සැප නින්දෙ ගොර අදින
රජු සොයා
ඈ ගියේ අන්න අර දොර ඇරන්”

ඇන්ටනෙට් බිසවට නැඟෙන ඓතිහාසික චෝදනාවෙන් ඇය නිදහස් කරන්නට ද ඒ අතර හෙතෙම උත්සාහ ගෙන ඇති සෙයකි.ඒ මේ ලෙසිනි;

“… ඔව් ඈ ඇන්ටනෙට් කුමරිය.
සුකුමාර බිසවක් ය ඈ
විප්ලවේ ගොරබිරම් රණ හඬ
දරා ඉවසාගන්න බැරි වුණ.

‘පාන් නැත්තං කේක් කාපල්ලා!’යි
කීවාලු තමයි ඈ
ඒත් ඒ නපුරුකමමත් නෙමෙයි
නො දැනුවත්කම,”

“මරණයේ කම්හල” හි ඔහු අනුයන්නේ ද එවැනි ම කාව්‍යෝපක්‍රමයකි;

“මේ තමයි ඒ තැන
නාන ගේකැයි ඔබව රවටා
වතුර මල් සිවිලිමේ රඳවා
විස ගෑස් එවා
පපු කුහර පුරවා
බිම්බත් කෙරූ තැන”

“ඒ නමුත් ළඟ පාත මළවුන්
හිතේ කහටක දුකක්
නො තබා
අපේ ඔළුගෙඩි ඇතුළෙත්
ගෑස් විස මැද මියයත්
උඳුන්ගත වී අළුවෙත්
අඟුරු දුහුවිලි විලසින්
සදාකාලෙට
සාමූහික ව වැළලෙත්”

ලෙසින් අවසන් වන මේ කවෙහි කිසියම් නෝක්කඩු ස්වරයක් ඇද්දැයි කෙනෙකුට සිතෙන්නටත් පුළුවන.

“නන්දි හි කඳුමුදුන්” හි හේ සිය විප්‍රවාසී දිවියේ නොස්ටැල්ජික් ශෝක සංකා කියමින් සිටී.

“ඔබ සිටී මුහුණ ලා
මා පැමිණි මාවතට

මම හිඳිමි මුහුණ ලා
මට අහිමි දේශයට

දෙ දෙනා ම සිටින මුත්
මුහුණ ලා එක ම දිග්භාගයට

දසුන් පථවල වෙනස
හැඟුම පොදිවල වෙනස
කියාගන්නට තරම්
වදන් අප ප්‍රගුණ කර
නැති හැඩ ය”

“මරීනා වෙරළේ සමුගැන්ම” යනුද එවැනිම කවකි:

“පිටුවහලා මම

උපන් බිම වෙත
නැවත යන්නට
වරම් නොලබන

මරීනාවේ
යොදුන් දුර වැලි තලාවේ
සියුම් වැලි කැටයක් ව සැඟවී
හුදෙකලා වුණ

ඔබ ඇවිත් මෙහි,
තෙරක් නොපෙනෙන
මරීනාවේ මහ වෙරළ වෙත
පාළු, රුදු සීතල නිසාවෙක
නිමා නැති පුතු සෙනේ දරනා
මව් කෙනෙක් ලෙස

බලා යන්නට
මගේ වත
අවසන් වතාවට “

කාට හෝ අමතා මේ කියන කව අවසන සරන්නා, ඉඩක් ලැබුණොත් අනාගතයේ දවසක මරීනා වෙරළට තනිවම අවුත්;

“පිටුවහලකම වියැකුණු මිනිසකුගේ අවසාන කඳුළු වැල
මේ කියා
ළතෙත් එක මිනිසකුට
පෙන්වන්න”
හැකිදැයි විමසයි.

“සදාකාලික නාදුනන්නිය” ක ගැන තැනෙක හේ මෙසේ කියයි.
” පාළු නුවරක
මතක කැළැලකි
හදේ ගැඹුරෙහි
ඇනුණු කටුවකි.”

මචපුචාරේ හෙවත් මාළු වලිගය ගැන කවක් ලියා නො නවතින හේ මාළු වලිගය තමා⁣ට කී කවක් සහ තමා මාළු වලිගයට කී කවකුත් ලියයි.

පළමු වර කියවන විට හොඳ කියා සිතෙන ඇතැම් කවි පොතක් දෙවන වර කියවන විට මුලින් දැනුණු රස හීනව ඇති බවක් හැඟේ. තවත් කවි පොතක් සිඳිත මඬිත එක ලෙස පැතිරෙන සුවඳ ඇති ලෙසින් කියවත් කියවත්ම රසත් වැඩි වැඩි වී දැනේ.
මේ කියූ සරන්නා ගේ කවිත් කියවන වරක් පාසා යළි කියැවීමේ රුචිය උපද්දන ගොන්නට අයත්ය.

“කොහෙන් ආවත්
වනේ දාලා පාහින්නෙ රාමන්
උදුනෙ ලා ගානට
බදින්නේ තීපම්
වනේ දාලා අඹරන්නෙ
දේවදාසන්

ඊට පස්සේ
කොහෙන් ආවත්
මේ ඉස්තරම් කෝපි කුඩු
” ස්ටේට් කොෆි ඩිපොට්”
ලේබල්”

වැඩකරන විවිධ මිනිසුන් ගේ ශ්‍රමය අවසානයේ එකම ලේබලයක් වන ආකාරය ගැන කියන මේ කවියට ඇඟ පතට නොදැනෙන පරිදි කෝපි සන්නාමයක් ඉංගිරිසි බසින්ම මුහු කර ඇති ශූර ආකාරය අවධානයට ගත යුතුව ඇත.

සරන්නා ගේ උපමා රූපක බහුල බස ද කවිවල රසයට හේතු වී තිබේ.

“සිහිනි කහමැලි පිදුරු ලණුවක් සුළං දහරේ
විසිරි සේ
අහස් ගඟ වෙත
වැටුණු පාරකි
සෙමෙන් නැඟෙනා රැළි ඉමේ”
“කපු පුළුන් කැටියකි ය විසිරුණු
බැටළු රැළ දුර යන ඔබේ” ( කාන්තාර මිරිඟුව, ඔබ සහ ඔබේ බැටලු රැළ )

“ගොමස්කඩ අළු සිසිර පාළුව”
“භූත පොප්ලරුන් “( මරණයේ කම්හල )

“කතා පොතකින් හැලී වන මැද හුදෙකලාවේ වැතිරි ගම්බිම්”( ඉගෝර් නම් පිස්සු රුස්සා )

“ගුවන්ගත තාරකා රිදී තිරයට බසින හොලිවුඩයෙ කන්ද” ( තුන්වැනි වීදියේ සක්මන්මළුව )
ඊට නිදසුන් කිහිපයකි.

මොන තරම් කවි මෙතෙක් මේ ලක පළවී තිබුණ ද “සංචාරක කවි” නමැති ශානරය මෙරටට හඳුන්වා දුන් තැනැත්තා වන්නේ අප මෙ කී සරන්නාය. නමුත් ඒ සඳහා ලැබිය යුතු ගෞරවය නිසි පරිදි ඔහුට ලැබුණේ ද යනු ගැටලුවකි. 2019 ගොඩගේ සාහිත්‍ය සම්මානයේ දී කවි එකතුව අගයා ඇත්තේ” කුසලතා පූර්ණ නවක නිර්මාණ දායකත්වයට ” පිදෙන සම්මානයෙනි. සංචාරක කවි යන ශානරය ගැන එහි සඳහනක් නැත. අනෙකුත් සාහිත උ⁣ත්සවවලට පොත ඇස ගැටී තිබේද යනු සැකයකි. සරන්නා ඒ ගැන කම්පා විය යුතු නැත. ඒ වෙනුවට වැඩි වැඩියෙන් සරා වැඩි වැඩියෙන් සැරුම් කවි ලිය යුතුයැයි ආරාධනා කරන අතරම නම නොදන්නා කවියකු ලියූ A Prayer for Traveller නමැති කවියක කොටසකින් ලිපිය අවසන් කරන්නේ ඔහුට දිරි දෙන අටියෙනි.

“ඔබ හමුවනු පිණිස මාවත් නැඟේවා!
පවන් පිටුපසින් නිබඳව හමාවා!
උණු හිරු රැස් වතෙහි දිස්නය නැඟේවා!
මුදු මද පොදින් යන එන බිම් තෙමේවා!
යළි අප මුණගැසෙන තෙක්
දෙවියන් අත්ල පා නිති ඔබ රකීවා! “

( සනත් බාලසූරිය ගේ “කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි”- සම ප්‍රකාශන -2018 කෘතිය විඳීමකි. )

අනුර කේ එදිරිසූරිය

2023 / 06 / 29

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...