“මිනිසා නිරායාසයෙන් ‘නිකං ඉන්නවිට’ පවා ඇත්තේ, ආයාසයෙන් නිකං ඉන්නවට වඩා සිත්ගන්නා බවකි…”
ලියනගේ අමරකීර්ති ලියූ ‘පහන සහ කැඩපත’ පොතේ එන ලිපියක මෙවැන්නක් සඳහන් වෙනවා. මේ කියමන, නිරායාසීව ලියූවා යැයි සිතනතරමට කියවන්නට වෙහෙසකර නොවන ඇඟට පතට දැනෙන හැඟෙන රසවත් ලේඛන කලාවක් ඇති ලියන්නන්ගේ කෘති කියවද්දී නිතර මට සිහිවෙනවා. මෑතක දී එය නැවත මතක් වුණේ චේතනා ලියනගේ ලියූ ‘නොකියූ ප්‍රවෘත්ති’ කියවද්දි.
සාහිත්‍ය නිර්මාණයක් හෝ කෘතියක් රසවත් කරන්න, වෙනස් බව පෙන්වන්න, පාඨක අවධානයට ලක්කිරීමේ අරමුණින්, වර්ණාන්විත රචනා ක්‍රමයකින්, විවිධ සංකල්පවලට අනුගත වන විදියට, මහත් ආයාසයක් අරන් ලියන ලේඛකයන් අතර, සෑහෙන කාලයකින් මෙවැනි ලියන්නියක හමුවීම කියවන අපටත් එක්තරා සඳ සහනයක් ගෙන දෙන්නක්. සාහිත්‍ය හෝ කලා විශයන් ම අරා නොසිටින – වෙනත් විශයන් වෙත උනන්දු ලියන්නන්ගේ ලේඛන රටාව, සාහිත්‍යය ම හදාළා වූ අයගේ ලේඛන රටාවට වඩා වෙනස් වූවක් බව කාලයක් තිස්සේ අපි නිරීක්ෂණය කළ දෙයක්. දෙස් විදෙස් උදාහරණ දිහා බලද්දි මේක වැටහෙන දෙයක්. වටේ නොයන, නිරවුල්, සෘජු, එක ම දේ යළි යළි විස්තර නොකරන, කම්මැලි නැති, අවශ්‍ය දේ තෝරබේරාගැනීමේ සහ භාවිත කිරීමේ සකසුරුවම දන්නා ලිවීමේ ක්‍රමයක් ඒ. ඔවුන්ට ම අනන්‍ය ඒ ක්‍රමය ගැන ඔවුන් හීනමානයක් හෝ අධිමානයක් ඇතිකරගන්නෙ නෑ. ඒ ඔවුන්ගේ සලකුණ.
“අවංකව ම කිවහොත් ඉතා ම කුඩා කාලයේ මා ප්‍රවෘත්තිවලට කැමැත්තක් දැක්වූයේ ම නැත. ගෙදර නිතර සද්දෙට ඇහෙන ගුවන් විදුලිය හා රූපවාහිනී ප්‍රවෘත්ති මට දැනුණේ, මහ වදයක් ලෙසයි.
එහෙත් ලෝකයේ කුමන හෝ රටක ජන නායකයෙකු ඝාතනයට ලක්වූ විට, ඛේදවාචකයක් සිදුවූ විට, රටේ කොතනක හෝ බෝම්බයක් පිපිරුණුවිට උදේ, දවල්, රෑ, අලුයම භේදයක් නැතිව කුඩා මම ද ඇහැරගෙන තාත්තා රේඩියෝව කරකවා BBC ය අල්ලන හැටි, තත්පරයෙන් තත්පරයට නාද වන දුරකථනය අමතමින් තාත්තා මාධ්‍ය සගයන්ට ප්‍රවෘත්ති ලබාදෙන සැටි, සාලයේ පුටුවකට වී බලාසිටියේ, මේ කලබලය ගෙදර ප්‍රශ්නයක් ද, නැතිනම් රටේ ලෝකයේ ප්‍රශ්නයක් ද යන්නවත් තේරුම්ගත නොහැකි වූ කුඩා කාලයේ පටන් ය” (18 පිට)
දෙමව්පියන් කළ කී දෙය ම නොකර, ඔවුන්ගේ නම භාවිත නොකර, තමන්ගෙ හැකියාව අනුව යායුතු මග තෝරාගැනීමට දරුවන් ගොඩනැංවියයුතු ස්වභාවය වටහාගන්නත්, ප්‍රකට ලේඛකයෙකු වූ ගුණදාස ලියනගේ මහතාගේ චරිතයෙ නොදුටු පැති දැනගන්නත් පොත අපට ඉඩ සලස්වනවා.
‘නොකියූ ප්‍රවෘත්ති’ පොතේ පසුවදනෙදි කෙරෙන සඳහන, (‘මේ කතා එක හුස්මට කියැවිය හැකි තරම් ආස්වාදජනක වෙයි’ – ජේ.බී.දිසානායක) කොතරම් සාධාරණ ද කියලා තේරුණේ, මෑත ඉතිහාසයෙ (මතක ඇති කාලෙක) එක පොතක් දවසක් ඇතුළත කියවා අවසන් නොකළ මම, මගේ ම පුදුමයට හේතු වන පරිදි මේ පොත පැය කිහිපයක් ඇතුළත කියවා අවසන් කළ නිසා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එක හුස්මට කියවිය හැකියි.
චේතනාගේ ලිවීමේ ක්‍රමය ඇතුළෙ තියෙනවා, තමන් දෙස තමන් ම බලන ස්වභාවය. තමන් සිනහ නොවී හාස්‍ය රසය මතුකිරීම. කියවන්නන්ගේ ආත්මය අමතන ආත්ම කථන. විශ්වසනීය බව.
කෘතියක් කියන්නෙ පුද්ගලයෙක්ගෙ මුහුණක් වගේ. කතාව විතරක් නෙමේ, ලියූ ලේඛකයගෙ ස්වභාවයත් නිරූපණය කරන යමක් එහි තිබෙනවා. මේ පොතෙන් චේතනාගේ පෞරුෂය, Gaze එක, සෘජු බව, අභියෝග බාරගැනීම, ලෝකය දිහා බලන මධ්‍යස්ථ ස්වභාවය, සියල්ල හොඳ ලෙස දැකීමේ ගුණය, වෘත්තීය ගෞරවය රැකගැනීම සහ පවුලට දක්වන ලැදියාව පෙන්නුම් කෙරෙනවා.
රැකියාවක් හුදු රැකියාවක් ලෙස නොගෙන, ඊට ගරුත්වයෙන් සැලකීම, එය අසාවෙන් ඉටුකිරීම සහ රැකියාවෙන් තමා බැබළීම වෙනුවට තමා නිසා රැකියාව බැබළවීම යන කරුණු සම්බන්ධයෙන් ‘නොකියූ ප්‍රවෘත්ති’ හිතන්න යමක් ඉතුරුකරනවා. පොත අවසානයේ එන, ‘රසමුසු තැන් සහ අකරතැබ්බ’ කතා, සීනි බෝල බන්දේසියක් ලැබූ දරුවෙක් රසවත් ම සීනි බෝලය අවසානයට ම කෑමට ඉතිරිකරන්නා සේ, චේතනා ද හොඳ ම රස ටික අවසානයට එක් කරනවා.
ප්‍රේක්ෂකයා සමඟ eye contact පැවැත්වීම, ප්‍රියමනාප ලෙස ඇඳපැළඳ සිටීම, හඬ සහ වේගය පාලනය, හදිසි අවස්ථා සඳහා සූදානම්ව සිටීම, සාමාන්‍ය දැනීම, නියමිත වෙලාවට පෙර පැමිණීම වැනි වෘත්තීය ප්‍රවෘත්ති නිවේදිකාවක් සතු විය යුතු ලක්ෂණ ඇතුළත් කෘතියක් නිසා, එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට මේ පොත මාර්ගෝපදේශකයක් විය හැකියි. ජීවිත කතාව ඇතුළත් නිසා එක්තරා ආකාරයක චරිතාපදානයක් ලෙසිනුත් කියවන්න පුළුවන්. නැතිනම්, පියා ගැන ලියූ ‘පියසමර’ක් විදියට හඳුන්වන්නත් පුළුවන්. කෙටියෙන් කිවහොත්, මේ තුනේ ම එකතුවක්.
චේතනාගේ ලිවීමේ චේතනා ඉදිරියටත් චේතනාන්විතව පැවතිය යුතු බවයි අපේ අදහස.