‘ත්‍රෛනිකායික නාහිමිවරු අපේ ප්‍රශ්නය තේරුම් ගත්තා’ – LGBTQI ප්‍රජාව : මේ වර්ණ කොඩිවලින් කියන්නේ කුමක්ද ?

Share post:

‘අපට සාධාරණ යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා අපි සටන් කරනවා. අපේ ජනතාවට සමානාත්මතාව නෑ. සමාජයේ විවිධ උසුළු විසුළුවට ලක්වෙනවා. රැකියාවක් කිරීමට හැකියාවක් නෑ.

ලෝකය පුරා මනෝවිද්‍යාඥයන් කියලා තියෙනවා, මෙය ලෙඩක් නොවෙයි කියලා. සමලිංගිකත්වය මාර එකක් නොවෙයි එයට ඉඩ දිය යුතු බව පවසා තිබෙනවා. අපේ ප්‍රජාවේ බොහෝ පිරිසක් සියදිවි නසාගැනීම වැඩියි මානසික ආතතිය නිසා. අපි ත්‍රෛනිකායික සංඝ නාහිමිවරු සමග සාකච්ඡා කළා, උන්වහන්සේලා තේරුම් ගත්තා අපේ ප්‍රශ්නය.’

සමාජ ක්‍රියාකාරිනී චානු ඉමේෂා එසේ පැවසීය.

ඒ, නිදහසේ අභිමානී පා ගමන (Freedom Pride Parade) පෙරේදා (04) ඇරඹීමට පෙර අප සමග අදහස් දක්වමිනි.

ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය ‘ප්‍රයිඩ්’ (අභිමානය) මාසය යි. LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව පුරා රටවල් සමරනු ලබන්නේ මෙම මාසයේදී ය.

LGBTQ+ යනු සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයන් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රීපුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQI ප්‍රජාව සමග එක්වූ විශාල පිරිසක් පෙරේදා මේ වසරේ ‘ප්‍රයිඩ් මාසය’ විචිත්‍ර අංග එකතු කර ගනිමින්, දේදුනු වර්ණයෙන් සැරසී විහාර මහා දේවී උද්‍යානය අසල සිට කොල්ලුපිටිය දක්වා පා ගමනින් ගමන් කරමින් සැමරූහ.

ප්‍රයිඩ් සංකේතය !

ප්‍රයිඩ් මාසයේ ප්‍රසිද්ධ සංකේතය වන්නේ 1970 ගණන්වල අගභාගයේ සිට යොදාගන්නා ඉරි හයේ දේදුනු කොඩියයි. කෙසේ වෙතත්, එය පසුගිය අර්ධ ශතවර්ෂය තුළ දී විවිධ වෙනස්කම්වලට ලක්වූ අතර, වඩාත් මෑත වසරවල දී පුද්ගල අනන්‍යතාවන්හි විවිධත්වය නියෝජනය කිරීමට නව කොඩි නිර්මාණය විය.

‘ස්ත්‍රීපුරුෂභාවය සහ ලිංගිකත්වයේ වර්ණාවලිය ඉතා විශාල හා විවිධාකාරයි. ඉන් අදහස් වන්නේ එතරම් කතාබහට ලක්නොවන කුඩා ප්‍රජාවන් විශාල ප්‍රමාණයක් ද සිටින බවයි. මෙම ‘ප්‍රයිඩ්’ කොඩි තිබීම වැදගත් වන්නේ එය එක්-එක් ප්‍රජාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම පිළිබඳ හැඟීමක් ලබාදෙන බැවින්. තමන්ගේ අනන්‍යතාව සහ අයිතිවාසිකම්වලට පිළිගැනීමක් බලාපොරොත්තු වීම ලොව සියලුම මිනිසුන්ගේ අපේක්ෂාවක්.’

විවිධ ප්‍රයිඩ් කොඩිවල වර්ණ යොදාගෙන විශේෂ ඔටුනු සාදන බෲක් හොයිට් එසේ පවසයි.

LGBTQ+ ප්‍රජාව සමරන ප්‍රයිඩ් මාසයේදී විශේෂයෙන් භාවිත වන කොඩි රැසකි. මේ, ඒ අතරින් කිහිපයකි.

ගිල්බට් බේකර් ප්‍රයිඩ් කොඩිය

මේ, සියල්ලේම ආරම්භක කොඩියයි. සමරිසි අයිතීන් පිළිබඳ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු සහ ඩ්‍රැග් රැජිනක (කාන්තා ඇඳුමින් විසිතුරු ලෙස සැරසෙන අයෙකු) වන ගිල්බට් බේකර්ට, ඇමරිකාවේ ප්‍රථම විවෘත සමලිංගික රාජ්‍ය නිලධාරියා වන හාවි මිල්ක් විසින් සමලිංගික ප්‍රජාව සඳහා අභිමානයේ සංකේතයක් ලෙස ධජයක් නිමවන ලෙස අභියෝගයක් ඉදිරිපත් කරන ලදි.

එයට පිළිතුරු ලෙස වර්ණ අටකින් යුත් දේදුනු ධජය නිර්මාණය වූ අතර, එය 1978 ජුනි 25 වැනි දින ප්‍රථම වරට සැන් ෆ්‍රැන්සිස්කෝහි සමලිංගික නිදහස් දින පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරිණි.

කොඩියේ වර්ණ 8න්, ප්‍රජාවට අදාළ යැයි බේකර් සිතූ එක්-එක් සංකේතාත්මක හැඟීම් සහ වටිනාකම් නිරූපණය කර තිබිණි.

එහි උණුසුම් රෝස වර්ණය ලිංගිකත්වය සඳහා ද, රතු ජීවිතය සඳහා ද, සුවවීම සඳහා තැඹිලි ද, හිරු එළිය සඳහා කහ වර්ණය ද, සොබාදහම සඳහා කොළ පැහැය ද, මැජික් සහ කලාව සඳහා මුහුදු නිල ද, සන්සුන්භාවය සඳහා ඉන්ඩිගෝ වර්ණය සහ ජීව ගුණය සඳහා වයලට් දම් පැහැය ද විය.

2003 දී, ඔහු මුල්ම ධජය සෑදීමෙන් වසර 25කට පසු, බේකර්හට එම ධජයේම අනුවාදයක් ලෙස කිලෝමීටර් 2ක් දිග ධජයක් සෑදීමට ඇරයුම් ලැබිණි. මෙය මෙක්සිකෝ බොක්කෙහි සිට ෆ්ලොරිඩාවේ කී වෙස්ට් ඔස්සේ අත්ලාන්තික් සාගරය දක්වා විහිදුණු ධජයක් විය.

සමලිංගික ප්‍රයිඩ් කොඩිය

1978 සමලිංගික නිදහස් දින පෙළපාලියෙන් ද, ඉන් මාස කිහිපයකට පසු හාවි මිල්ක් ඝාතනයෙන් ද පසු කොඩි සඳහා ඉල්ලුම ඉහළ ගිය අතර, බේකර් ඔහුගේ නිර්මාණය වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළේය.

කෙසේ වෙතත්, උණුසුම් රෝස පැහැයේ රෙදි හිඟ වූ බැවින් එය නිර්මාණයෙන් ඉවත් කෙරිණි. ඔහු වර්ණ ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් කිරීම සඳහා මුහුදු නිල සහ ඉන්ඩිගෝ වර්ණය නිල් පැහැයට ඒකාබද්ධ කර, වර්ණ හයක දේදුනු ධජයක් නිර්මාණය කළේය.

මෙය දශක ගණනාවක් පුරා සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන් භාවිත කළ ප්‍රාථමික ධජය වූ අතර, අදටත් ප්‍රයිඩ් කොඩි අතරින් වඩාත් ප්‍රසිද්ධ ධජය වන්නේ මෙය ය.

ෆිලඩෙල්ෆියා ප්‍රයිඩ් කොඩිය

2017 ප්‍රයිඩ් මාසය තුළ, ෆිලඩෙල්ෆියාවේ More Color More Pride සමූහය විසින් සිදුකරන ලද වැඩසටහනකදී ප්‍රයිඩ් ධජයට තවත් වර්ණ දෙකක් එක්විය. එයට කළු සහ දුඹුරු පැහැයන් එක්කිරීම මඟින් සංක්‍රාන්තික ප්‍රජාවේ සිටින කළු ජාතිකයන් සහ මිශ්‍ර ජාතිකයන් පිළිබිඹු කෙරිණි.

2018 මෙට් ගාලා උත්සවයේදී කොඩියේ මෙම අනුවාදය තම ඇදුම් විලාසිතාවට එකතු කර ගැනීමට ලීනා වේත් කටයුතු කළාය. වේත්, ප්‍රහසන ලිවීම සඳහා එමී සම්මානය ලද පළමු කළු ජාතික කාන්තාව යි. එම වසරේ මෙට් ගාලා උළලේ තේමාව වූයේ කතෝලික ධර්මයයි. ධජය එහිදී ප්‍රදර්ශනය කිරීමෙන් පසු එහි ජනප්‍රියත්වය ඉහළ ගියේය.

සංක්‍රාන්ති ලිංගික කොඩිය

සංක්‍රාන්ති ලිංගික ධජය නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපද නාවික හමුදාවේ සබ්මැරීන බලකායේ හිටපු සෙබළියක වන මොනිකා හෙල්ම්ස් විසිනි. ඇය 1999දී සංක්‍රාන්ති ලිංගික ප්‍රයිඩ් ධජය නිර්මාණය කළ අතර, එය ඊළඟ වසරේ ඇරිසෝනාහි පැවැත්වුණු ෆීනික්ස් ප්‍රයිඩ් පෙළපාළියේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණි.

එහිදී පුරුෂයන් සංකේතවත් කිරීමට නිල් ද, කාන්තාවන් සඳහා රෝස ද තෝරාගෙන තිබේ. මධ්‍යයේ ඇති සුදු පැහැයෙන් සංක්‍රාන්තියේ පසුවන තැනැත්තන්, මධ්‍යස්ථ ලිංගික බවක් ඇතැයි හෝ ස්ත්‍රීපුරුෂභාවයක් නැතැයි හැඟෙන්නන් මෙන්ම අන්තර්ලිංගිකයින් ද සංකේතවත් කෙරේ.

වසර දෙකක් තිස්සේ වැඩියෙන්ම ඉල්ලන ලද ඉමොජිය වුව ද, 2018දීත් එය සිය ඉමොජි පුවරුවට ඇතුළත් කිරීමට යුනිකෝඩ් ආයතනය අසමත් විය. සමාජ ක්‍රියාකාරිකයෙකු සහ නිය අලංකරණ ශිල්පියෙකු වන චාලි ක්‍රැග් විසින් ආරම්භ කරන ලද ‘ක්ලෝස් අවුට් ෆෝ ට්‍රාන්ස්’ ව්‍යාපාරය, ඔවුන්ගේ ධජය ඉමොජි යතුරු පුවරුවට එක්කරන තෙක් සංක්‍රාන්ති ලිංගික අභිමානය නියෝජනය කිරීමට පොකිරිස්සන්ගේ ඉමොජිය යොදාගැනීමට ජනතාව දිරිමත් කළේය. 2020 නොවැම්බර් මාසයේදී සංක්‍රාන්ති ලිංගික අභිමානය ධජය ඉමොජි පුවරුවට එක් විය.

ද්වීලිංගික කොඩිය

ද්වීලිංගික අභිමාන ධජය 1998දී මයිකල් පේජ් විසින් නිර්මාණය කළ අතර, එය සමස්තයක් ලෙස සංක්‍රාන්තික ප්‍රජාවන් කෙරෙහිත්, ප්‍රජාව තුළත් ඇති පිළිගැනීම වැඩි කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද්දකි. එය එකිනෙක හරහා යන රෝස සහ නිල් ත්‍රිකෝණ සහිත ‘ද්විකෝණ’ සංකේතයක් මත පදනම් ව නිමවා තිබේ.

සමලිංගිකත්වය නියෝජනය කිරීමට රෝස පැහැයෙන් සියයට 40ක ඉඩක් ද, විෂම ලිංගිකත්වය නියෝජනය කිරීමට නිල් පැහැයෙන් සියයට 40ක ඉඩක් ද, අනන්‍යතා ද්විත්වයේ එකතුවක් නියෝජනය කිරීමට දම් පාටින් සියයට 20ක ඉඩක් ද යොදා ගැනීමට ඔහු අදහස් කළ බව පැවසේ.

අනන්‍යතාවන්ගෙන් සීමානොවූ ලිංගිකයන් සඳහා වන කොඩිය

මෙම ධජය ද 2010දී නිර්මාණය කරන ලද්දකි. එහි ආරම්භය පිළිබඳ තොරතුරු නොමැත. නමුත් එය මුලින්ම අන්තර්ජාලය හරහා අවධානය දිනාගත් අතර, පසුව එය ජනප්‍රිය භාවිතයට පැමිණියේය.

එය නිර්මාණය කර ඇත්තේ ලිංගික හෝ ස්ත්‍රීපුරුෂභේදයකින් තොරව යමෙකුට බැඳෙන හෝ ආකර්ෂණය වන ‘පෑන්සෙක්ෂුවැලිටි’ හෙවත් හඳුනාගැනීම්වලින් සීමා නොවූ ලිංගිකයන්, ද්වීලිංගිකත්වයෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා ය.

රෝස පැහැයෙන් කාන්තාවන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය සංකේතවත් වන අතර, නිල් පැහැයෙන් පිරිමින් කෙරෙහි ද, කහ පැහැයෙන් ස්ත්‍රීපුරුෂ දෙකොටසට ම අයත් නොවන්නන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය ද සංකේතවත් වේ.

ජෙන්ඩර්ක්වියර් කොඩිය

2011 වර්ෂයේදී මෙම ධජයේ අවසාන අනුවාදය නිර්මාණය කළේ, ජෙන්ඩර්ක්වියර් ලේඛකයෙකු, නිර්මාණකරුවෙකු සහ සංගීතවේදියෙකු වන මර්ලින් රොක්සි විසිනි.

ලැවෙන්ඩර් තීරුව, සාම්ප්‍රදායික පිරිමි සහ ගැහැණු වර්ණ වන රෝස සහ නිලෙහි සම්මිශ්‍රණයක් නියෝජනය කරයි. එහි අඳුරු කොළ පැහැය ලැවෙන්ඩර්වලට ප්‍රතිවිරුද්ධ වර්ණය වන අතර, එය පිරිමි හෝ ගැහැණු අනන්‍යතාවක් නොහැඟෙන අය සඳහා වේ. මධ්‍යයේ සුදු පැහැයෙන් නියෝජනය කරන්නේ ස්ත්‍රීපුරුෂභාවයෙන් සම්පූර්ණයෙන්ම පිටත සිටින අය යි.

ද්විමය (ගැහැණු හෝ පිරිමි) නොවන කොඩිය

මෙම ධජය 2014දී නිර්මාණය කරන ලද්දේ එවකට 17 හැවිරිදි වූ කයි රෝවන් විසිනි. ඒ, ජෙන්ඩර්ක්වියර් ධජයෙන් වෙන්වූ සංකේතයක් සඳහා සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙනි. එය රොක්සිගේ ධජයට පසෙකින් ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන ලද අතර, ඉරි හතරකින් සමන්විත විය. ඒ සෑම ඉරක්ම අනන්‍යතාවයේ වෙනස් කණ්ඩායමක් නියෝජනය කරයි.

කහ වර්ණය, පිරිමි සහ ගැහැණු යන ද්විත්වයෙන් පිටත ස්ත්‍රීපුරුෂභාවයක් ඇති අය සඳහා ය. සුදු පැහැයෙන් නියෝජනය කරන්නේ ලිංගික හඳුනාගැනීම් බොහොමයක් හෝ සියලුම ස්ත්‍රීපුරුෂභාවය ඇති අයයි. ද්විමය නොවන පුද්ගලයන්ගේ සුවිශේෂත්වය සහ වෙනස්වනසුළු ස්වභාවය දම් පැහැති තීරුව මගින් නියෝජනය කෙරේ. කළු ඉරි නියෝජනය කරන්නේ ස්ත්‍රීපුරුෂභාවයක් නොමැති අයයි.

තිර ලිංගිකත්වයක් නොමැති අයගේ කොඩිය

මෙම ධජය සෑදී ඇත්තේ ස්ත්‍රීපුරුෂභාවය ස්ථිර නොවන, හැඟීම් සහ ආකර්ෂණයන් මත වරින්වර වෙනස් වන පුද්ගලයන් සඳහා ය. මෙම ධජය 2012දී නිර්මාණය කරන ලද්දේ සමාජයේ විෂමලිංගික නියමයන්ට නොගැළපෙන පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු වන ජේ. ජේ. පූල් විසිනි.

තිර ලිංගිකත්වයක් නොමැත්තන් යටතට වැටෙන උප-කණ්ඩායම් සහ ක්ෂුද්‍ර ලේබල ගණනාවක් ඇත. ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට තමන්ගේ ම ධජයයන් තිබේ. ඒවාට ජෙන්ඩර්ෆ්ලක්ස් (ස්ත්‍රීපුරුෂභාවයක වර්ණාවලියේ එක් ලිංගයක සිට අලිංගිකත්වය දක්වා උච්චාවචනයවීමට ලක්වන පුද්ගලයන්), ෆ්ලුයිඩ්ෆ්ලක්ස් (යමෙකු ස්ත්‍රීපුරුෂභාවයන් දෙකක් හෝ වැඩි ගණනක් අතර විවිධ තීව්‍රතාවන්ගෙන් වෙනස්වන තැනැත්තන්) සහ බහුලිංග (එක් ලිංගික අනන්‍යතා කාණ්ඩයකට වැඩි ගණනකට අයත් වන) වැනි වෙනස්කම් ඇතුළත් වේ. මේ සියල්ලෙන්ම නිරූපණය වන්නේ වෙනස්වන ලිංගික නැමියාවන් තුළ හමුවන වෙනස් අනන්‍යතාවන් ය.

අන්තර්ජාලය හරහා සමාන අදහස් ඇති පුද්ගලයන් සොයාගැනීමෙන් පසු තම ලිංගික නැඹුරුව ‘ෆ්ලුයිඩ්ෆ්ලක්ස්’ බවට මෑතක දී සිට විවෘතව පිළිගන්නා එල් මෙසේ පවසයි.

‘අප කණ්ඩායම් තුළ ධජයට වැදගත් තැනක් හිමිවෙනවා. මොකද ඒක හරියට අලුතින් ගෙයක් ගන්නවා වගෙයි. ඔබේ ජාතිකත්වයේ ‘නිවහන’ පෙන්වීමට කොඩියක් භාවිතා කරන ආකාරයටම, අපි කවුද යන්න හැඳින්වීමට මේ ධජ භාවිත වෙනවා. මේ ධජ මඟින් ඔබ තෝරාගත් නිවස සහ ඔබ තෝරාගත් පවුල කුමක් ද යන්න පෙන්වනවා.’

‘කොඩි භාවිතා වෙන්නේ සැමරීමට. ඒවායින් කියවෙන්නේ මේ තමයි මම, මම මා ගැන සමරන්නේ මෙය කියන එක. ඒ වගේම ඒක තවදුරටත් ලෝකයෙන් සැඟවී නොසිටීමට අදාළයි. ඔබට ලෝකය ඉදිරියේ පෙනීසිටීමට ඉඩ ලැබෙනවා, නිර්භීතවීමට ඉඩ ලැබෙනවා.’

අන්තර්ලිංගික කොඩිය

මෙම ධජය 2013දී ඕස්ට්‍රේලියානු ජෛව ආචාරධර්ම විශේෂඥයෙකු, පර්යේෂකයෙකු සහ අන්තර්ලිංගික ක්‍රියාකාරිකයෙකු වන මෝගන් කාපෙන්ටර් විසින් නිර්මාණය කළ එකකි.

එහි ඇති කවය මගින් වර්ණදේහ, හෝර්මෝන සහ ලිංගේන්ද්‍රිය ඇතුළු ලිංගික ලක්ෂණවල විවිධ වෙනස්කම් ඇතිව උපන් අන්තර්ලිංගික පුද්ගලයන් අතර ඇති පූර්ණත්වය නියෝජනය කරයි. දම් සහ කහ වර්ණ බොහෝ විට ස්ත්‍රීපුරුෂභාවය මධ්‍යස්ථ ලෙස සලකනු ලබන වර්ණ බැවින්, ඒවා භාවිත කර තිබේ.

අලිංගික කොඩිය

අලිංගික යන පදයෙන් අදහස් කරන්නේ ලිංගික ආශාවන් නොමැතිකම මඟින් ලිංගික දිශානතිය නිර්වචනය කර ඇති නමුත් බ්‍රහ්මචර්යාව පිළිපදින්නන්ට අයත් නොවන පිරිසයි. මෙම ධජය 2010දී නිර්මාණය කරන ලද්දේ සමලිංගික දෘශ්‍යතාව සහ අධ්‍යාපන ජාලයේ ලාංඡනය ඇසුරුකර ගනිමිනි.

මෙහි කළු පැහැයෙන් අලිංගිකත්වය සංකේතවත් කරයි. අළු පැහැයෙන්, අලිංගිකත්වය අස්ථිර සහ ලිංගික ආකර්ෂණය අත්විඳින තැනැත්තන් ද, ඩෙමිසෙක්ෂුවල් පුද්ගලයන් ද (චිත්තවේගීය ආකර්ෂණය අත්විඳින්නන්) නියෝජනය කරයි. සුදු පාටින් මිත්‍රපාක්ෂිකයන් නියෝජනය කරන අතර දම් පාටින් ප්‍රජාව නියෝජනය කරයි.

ප්‍රගති කොඩිය

ප්‍රගති ධජය නොහොත් නූතන අභිමානයේ ධජය 2018දී ද්විමය නොවන ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ඩැනියෙල් ක්වාසර් විසින් නිර්මාණය කරන ලදි. එය සාම්ප්‍රදායික ෂඩ්වර්ණ ප්‍රයිඩ් ධජයට වර්ණ පහකින් යුත් නිල් තීරුවක් ඇතුළත් කොට නිමැවුණකි.

කළු, දුඹුරු, රෝස, නිල්, සහ සුදු යන නව වර්ණ පහ වෙනත් ප්‍රයිඩ් කොඩි ගණනාවක් නියෝජනය කරන වර්ණයන් ය. නමුත් සංක්‍රාන්ති ලිංගික සහ ෆිලඩෙල්ෆියා කොඩිවලින් විචිත්‍රවත් ප්‍රජාවන් තුළ ඇති වෙනස්කම් විශේෂයෙන් දැක්වේ.

දකුණු ආසියාතික LGBTQIA+ ප්‍රජාව සඳහා වන පොදු සන්නාමයක් වන ‘ගේසියන්ස්’හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ රීටා ලෝයි මෙසේ පවසයි.

‘මේක තමයි මට අනුව නම් පරිපූර්ණ කොඩිය. ඒ වගේම මම හිතන්නේ කොඩි හැමවිටම විකාශනය වෙන්න ඉඩක් තියෙනවා. ඉතින් කවුද දන්නේ, යම් අවස්ථාවක කොඩියක් අවශ්‍ය නොවන තැනකට අප පැමිණෙන්න පුළුවන්. එය මට අනුව ජයග්‍රහණයක්.’

  • BBC ඇතුළු මාධ්‍ය රැසක පෙර පළ වූ ලිපිවලින් මෙම ලිපියට තොරතුරු ලබාගන්නා ලදි.
  • ලිපියේ සඳහන් ඡායාරූප BBC, Xposure media සහ සමාජ මාධ්‍ය මගින් උපුටාගන්නා ලදි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...