1934 මැයි මස 23 වැනි දා ( මීට වසර 89 කට පෙර අද වැනි දිනෙක) ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ දී පොලීසිය අතින් ඝාතනයට පත් වූ පෙම්වතුන් දෙදෙනාගේ සත්‍ය කතාවයි.
මේ කතාව ’70 ශතකයේ මෙරට සිනමා රසිකයන් ගේ ද හද බැඳගත් කතාවක් බවට වී තිබුණි.
ඇය බොනී එලිසබෙත් පාකර්. උපන්නේ – 1910 මැයි 23
ඔහු ක්ලයිඩ් චෙස්නට් බැරෝ. උපන්නේ – 1909 මාර්තු 24
මිය යද්දී බොනීගේ වයස 23 කි. ක්ලයිඩ් හට 25 කි.
නමුත් වසර තුනක් තිස්සේ මුළු මධ්‍යම ඇමෙරිකානු ප්‍රාන්ත කිහිපයක්ම භීතියෙන් මුසපත් කිරීමට මේ වයස විසි ගණනක සිටි තරුණ මිනීමරු යුවළට හැකිවී තිබුණි. කිහිප වතාවක්ම පොලීසියේ උකුසු ඇසට වැලි ගසා පැන යාමට ඔවුන් දෙදෙනා සමත් විය.
නමුත් ඉතාම ආසන්න දිනෙක දී ඔවුන් දෙදෙනාම නීතියේ රැහැනට පත් වෙන බව ඔව්හු සක්සුදක් සේ දැන සිටියෝය.
බොනී පැතුවේ කවදා හෝ ඔවුන් දෙදෙනා මිය ගිය පසුවත් වෙන් නොවී එකම තැනක මිහිදන් වීමටය. නමුත් දෛවය ඔවුන් දෙදෙනාව සැතැක්ම 3 ඈතින් පිහිටි දේවස්ථාන දෙකකට අයත් සුසාන භූමි දෙකකට වෙන් කොට තිබුණි.
ඔවුන් මංකොල්ල කෑ මුදල් රොබින් හුඩ් මෙන් දුප්පතුන් අතරේ බෙදන්නට උත්සුක වූයේ නැත. නමුත් ජනතාව ගේ සිත් තුළ ඒ දෙදෙනා ගේ නාමය වෙනත් දාමරිකයන්ට වඩා අදටත් රැව් දෙයි.
මහජනතාව ඔවුන් දෙදෙනාව අදත් සිහිපත් කරමින් ඔවුන්ගේ සොහොන් මත කුඩා මලක් හෝ තැන්පත් කිරීමට වෙර දරන්නේ ඒ නිසා විය හැක.
ඔවුන් දෙදෙනාගේ ජීවිත කතාවෙන් සාහිත්‍ය නිර්මාණ හතකුත්, සිනමා පට හයකුත් නිම වීමට හේතුවත් එය විය හැක.
ආධුනික කිවිදියක් වූ බොනී ඇගේ ජීවිතයේ සැබෑ අත්දැකීම් කවියට නැඟුවාය. ක්ලයිඩ් ද ඔවුන් ගේ නිරන්තරයෙන් සැඟවී කල් ගෙවන සංචාරක ජීවිතයේදී පවා පුවත් පත් වලට ඔවුන් දෙදෙනා පිළිබඳව පළ කරන්නට යෙදුණු අපහාසාත්මක ලිපි ඉල්ලා අස්කොට ගන්නා ලෙසට පවසා පරිභව කරමින් ලිපි යැවීමට නිර්භය වූවේය.
මොවුන් දෙදෙනා වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූයේ බැංකු කොල්ලකෑම්, කුඩා සුපිරි වෙළඳ සැල් හා ඉන්ධන හල් මං කොල්ල කෑම හේතුවෙනි. 1931 සහ 1934 අතර කාල වකවානුවේ ඒවා පිළිබඳව ඇමරිකානු පුවත්පත් මගින් දුන් ප්‍රසිද්ධියත් ඔවුන් වෙතට බෙහෙවින් පාඨක අවධානය දිනා ගැනීමට එක් හේතුවක් විය.
මේ කෘතිය හුදෙක්ම නවකතාවක් නොවේ. ජෝන් ට්‍රෙහර්න් නම් ඇමෙරිකානු ගත් කතුවරයා මෙම කෘතිය ඉදිරිපත් කරමින් උත්සාහ දරන්නේ මෙම මියගියවුන් දෙදෙනාගේ ජීවිත කතාවට අයත් සියලුම චරිත කෙරෙහි විශ්ලේෂණාත්මක බැල්මක් හෙළීමටය.
ක්ලයිඩ් ගේ චරිතය තුළ ඔහු මනෝ ව්‍යාධියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින්, ඔහු ඔවුන් දෙදෙනාගේ විනාශය වෙතට නොවැළැක්විය හැකි මෙහෙයුම් බලයක් සපයමින් සිටි බව අවසානයේ දී කතුවරයා පැහැදිලිවම පෙන්වා දෙයි.
එසේම පුරාවෘත්තයේ තිබූ විසංගතතාවයෙන් යුත් සිදුවීම් හා පරස්පර ප්‍රකාශයන්ද විමර්ශනයට බඳුන් කොට තිබේ. එම දෙදෙනාගේ මරණය සිදුවූයේ පාවා දීමකින්ද යන්නත් ඔහු අවසානයේදී විමසුමට ලක් කරයි.
එසේම ඔහු මේ කෘතියෙන් ‘බොනී සහ ක්ලයිඩ් කතාව’ ඇසුරෙන් නිපදවන ලද සිනමාපට 6 පිලිබඳවත් කදිම විග්‍රහයක් ඉදිරිපත් කොට ඇත.
බොනී 19 හැවිරිදි වියේ පසුවූ, කුඩා සිරුරකින් යුතු, ජීවිතය එපා වූ තරුණියකි. ඇගේ උස අඩි 5 ක් වත් නැත. බර රාත්තල් 90 කට නොවැඩිය. ඒ වන විටත් ඇය සිරගත වූ මිනීමරුවෙකු සමඟ විවාහ වී සිටියාය. දුප්පත් ඩලාස් නිවසක ජීවත්ව සිටි ඇය අවන්හලක වේටර්වරියක් සහ ආධුනික කිවිඳියක් වූවාය.
21 හැවිරිදි ක්ලයිඩ් අවිවාහකයෙකි. ඔහුත් ඩලාස් හී වඩාත් අසරණ අඳ ගොවි පවුලකින් පැවත ආ, දුප්පත්කමට වෛර කරමින්, සමාජයේ තමාටම හිමි තැනක් දිනා ගැනීමට උත්සාහ කළ, සුළු පරිමාණ මංකොල්ල කරුවෙකි.
බොනී සහ සිරගෙදරින් නිදහස් වී පැමිණ සිටි ක්ලයිඩ්ගේත් හමුවීම සිදු වී ඇත්තේ 1930 ජනවාරි මාසයේදී ටෙක්සාස්හිදීය.
පළමු විවාහයෙන් වෙන්ව සිටි බොනීව හමුවීමෙන් පසු කලයිඩ්ව නැවතත් සොරකමක් කිරීමේ චෝදනාවට සිරගෙට යවන ලදී. එහිදී බොනී ඔහුට හොර රහසේ ගෙන ආ තුවක්කුවක් භාවිතා කරමින් සිරගෙයින් පැන යාමට ඔහු සමත් විය. 1932 පෙබරවාරි මාසයේදී සමාව ලබා පැමිණි ක්ලයිඩ්, බොනීත් සමඟින් නැවත එකතු වී පූර්ණ කාලීන අපරාධ ජීවිතයක් ඇරඹුවේය.
මෙම යුවළ වාහන සොරකම් කිහිපයක්ම සඳහා සැකකරුවන්ව සිටි අතර, ඔවුන් මිය යන විට බැංකු, සුපිරි වෙළඳ සැල්, පිරවුම් හල් සහ වෙනත් මංකොල්ලකෑම් කිහිපයක් මෙන්ම මිනීමැරුම් 13ක් සිදු කර ඇති බවට විශ්වාස කෙරිණි.
ඔවුන්ගේ හමුවීමෙන් වසර දෙකකට පසු 1934 මැයි 23 වැනි දා ලුසියානා ප්‍රාන්තයේදී පොලීසිය විසින් සූක්ෂ්මව කෙරූ වටලෑමකදී මේ ආදරවන්තයන් දෙදෙනා තමන්ගේ වාහනය තුළදීම එකට අවසන් ගමන් ගියෝය.
ඔවුන්ගේ මරණය සැලවීමත් සමඟින් ඒ නගරයේ ජනගහනය පැය 24ක් ඇතුළත පුද්ගලයන් 2,000 සිට 12,000 දක්වා වර්ධනය වූ බව ගණන් බලා තිබුණි.
මෝටර් රථ, ගුවන් යානා හා අශ්ව කරත්ත වලින් ජනයා එහි ගලා එන්නට විය. හදිසි මරණ පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණෙන විටත් රැස්ව සිටි මිනිසුන් මිය ගිය දෙදෙනාගේ ලේ තැවරුණු ඇඳුම් වල රෙදි කැබලි, බිම විසිරී තිබූ පතොරම් කොපු, මෝටර් රථ ජනේලවල බිදී ගිය වීදුරු කැබිලි සහ තවත් බොහෝ සිහිවටන එකතු කරනු තමා දුටු බව පවසා තිබුණි.
ඔවුන්ගේ මළ සිරුරු දැක ගැනීමට මඟ දෙපස ජනයා පොර කෑවෝය.
බොනී තමන්ගේ කාව්‍ය නිර්මාණයෙන් ප්‍රාර්ථනා කළ පරිදි තම පෙම්වතාගේ මිනී වළ ආසන්නයෙන් සැතපීමේ වරම ඇයට හිමි නොවීය. අදටත් ඔවුන් දෙදෙනාගේ සොහොන් වළවල් මත ඔවුන්ව සිහිපත් කරන්නෝ මලක් තබා යාමට අමතක නොකරති.
ඔවුන් දෙදෙනා භාවිතා කරන ලද ඇඳුම් පැළඳුම්, ගිනි අවි හා උපකරණ වෙනුවෙන් කෞතුගාරයක් පවා තනා තිබේ.
ඔවුන් මිය ගිය වාහනයද දැනට ලාස් වේගාස් හි ප්‍රයිම් වැලි රෙසෝර්ට් කැසිනෝ ශාලාවේ ප්‍රදර්ශනයට තබා ඇත. බොනී සහ ක්ලයිඩ් නම් වූ අපකීර්තියට පත් ඝාතකයින් දෙදෙනාගේ වෘත්තාන්තය වෙනුවෙන් දැනට තැනී ඇති චිත්‍රපට ගණන 6 කි.
මවිසින් මීට පෙර පරිවර්තනය කිරීමට යෙදුණු ‘බෙන් හර්’ කෘතිය මෙන්ම මේ ‘බොනී සහ ක්ලයිඩ්’ සත්‍ය කතාවත් පරිවර්තන කෘතියක් ලෙසට සිංහල පාඨකයා වෙතට ලබා දීමේ ආශාව ඇති වූයේත් එම චිත්‍රපට කෙරෙහි තිබූ බලවත් කැමැත්තය.
මෙම කෘතිය අද දින සිට ආශිර්වාද ප්‍රකාශකයන්ගෙන් ඔබට ඇනවුම් කොට ලබා ගත හැකිවේ.