කොලොම්බියානු ජාතික ගත් කතුවර ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස් විසින් රචිත La Mala Hora නම් නවකතාව ප්‍රකාශයට පත් වන්නේ 1962 වසරේදී ය. ඒ ස්පාඤ්ඤ බසිනි. In evil hour නමින් එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ ස්පාඤ්ඤ හා පෘතුගීසි බසින් රචිත කෘති ගණනාවක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කල ඇමෙරිකානු ජාතික පරිවර්තක ග්‍රෙගරි රබසා (Gregory Rabassa) විසිනි…
මාර්කේස්ගේ තවත් එක් විශිෂ්ඨ නිර්මාණයක් වූ In evil hour විකල් හෝරාව නමින් සිංහල පාඨකයන් අතට පත්වන්නේ විශිෂ්ඨ පරිවර්තකයෙක් වන නිලූක කදුරුගමුව මහතාගේ පරිවර්තනයක් ලෙසිනි. මෙය පොතක් ලෙසින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන්නේ විදර්ශන ප්‍රකාශකයන්ය…
මායා යථාර්ථවාදය තුල මාර්කේස් රචනා කල මහා නිර්මාණ සමුදාය අතර විශිෂ්ඨ නිර්මාණයක් ලෙස In Evil Hour හදුන්වා දිය හැකිය. මාර්කේස්ගේ මෙන්ම මායා යථාර්ථවාදයේ ද අග්‍රඵලය ලෙස හඳුන්වන One Hundred Years of Solitude (සියක් වසක හුදකලාව) රචනා කරන්නේ මෙම පොත ලියා වසර කීපයකට පසුවයි.. මෙම පොතින් ලද සාර්ථකත්වය සියක් වසක හුදකලාව වැනි මහා නිර්මාණයක පදනම වන්නට ඇත..
සියක් වසක හුදකලාව තුල මාර්කේස් කතාව ගොඩනැගුවේ මැකොන්ඩෝව නම් කල්පිත නගරයක් මහා සංකේතයක් ලෙස තබා ගනිමින්. මෙහිත් මහා සංකේතය නගරයක්. විශේෂත්වය වන්නේ මෙම නගරයත් නමක් නැති එකක් වීමයි…
මාර්කේස්ගේ සියළුම නිර්මාණ පාහේ අතිශයින්ම දේශාපාලනිකයි. මාර්කේස් , කොලොම්බියාවත් සමස්ත ලතින් ඇමෙරිකානු මහාද්වීපය වෙලාගත් ප්‍රජාවට ශාපයක් වුන දේශපාලන ක්‍රියාකාරිත්වය ගැන ගැඹුරින් හා ඉතාමත් සියුම් ලෙස අධ්‍යනයක නිරත වෙමින් , ඔහුට දැනුණු සංවේදනාවන් අකුරු බවට , වචන බවට පත්කර ඇත..
යම් රටක , ප්‍රදේශයක , ආයතනයක තීරණ ගන්නේ එක් පුද්ගලයෙක් නම් හෝ සීමිත පුද්ගල කණඩායමක් විසින් පමණක් නම් අපි එය ඒකාධිපතිවාදය ලෙස හදුන්වන්නෙමු. යම් රටක සමස්ත ජනතාවගේ දේශපාලන නිදහස , ආර්ථික නිදහස , ආගමික නිදහස , සංස්කෘතික නිදහස හා පෞද්ගලික නිදහස එක් පුද්ගලයෙක් තීරණය කරන්නේ නම් එහි ජනතාව ජීවත් වන්නේ අපායක යැයි කීම වැරදි නොවේ. එවැනි රටක ජනතාවට අපාය පවා සුරපුරයක් වන්නට පුළුවන..
මාර්කේස් මේ කියා ඇත්තේද කොලොම්බියාවේ පමණක් නොව සමස්ත ලතින් ඇමෙරිකානු කලාපයේම පොදු කතාවයි. නම් ගම් ස්ථාන පමණක් ආදේශ කර බැලුවහොත් එය සෑම තැනකටම ගැලපෙනු ඇත.. මේ නමක් නැති නගරයේ සියල්ලම පාලනය කරන්නේ නගරාධිපතිවරයාය. ඔහු ජනතාව අතර අවිශ්වාසය ඇති කරමින් ඔවුන්ට භීතියෙන් යුතුව ජීවත්වීමට හැකි ආකාරයට නගරය පාලනය කරයි. ජනතාව මර්ධනය කරනු පිණිස හිරේ ගිය මැරවරයන් නිදහස් කරයි. ඇඳිරි නීතිය පනවමින් ජනතාවගේ යාමේ ඒමේ නිදහස පාලනය කරයි.. එකී පාලනයට විරුද්ධ වන්නන් , එය ප්‍රතික්ෂේප කරන්නන් අවසන ඝාතනයට ලක් කරයි.. අප්‍රසිද්ධ විය යුතු , ප්‍රකට නොවිය යුතු ජනතාවගේ ලිංගික චර්‍යාවන් පවා නගරාධිපතිවරයා වෙත නිරාවරණය වීම තුල , ඒකාධිපතිවාදී පාලනයක් තුල පුද්ගලිකත්වය යන්න හුදු සිතුවිල්ලක් පමණක් බවට ඔප්පු කර ඇත..
සැබැවින්ම මාර්කේස් මේ කියා ඇත්තේ නගරාධිපතිවරයා හා ඔහුගේ අනුදත් සඟයන් විසින් පාලනය කරන නිර්ණාමික නගරයේ කතාවද?? නැත. මේ කොලොම්බියාවේ සත්‍යය කතාවයි. මේ ලතින් ඇමෙරිකානු කලාපයේ පොදු කතාවයි. තුන්වන ලෝකයේ රටවල්වල පොදු ඉරණමයි..
ප්‍රජාතන්ත්‍රවාදය යන නමට පමණක් සීමාවූ අපේ රටේ කතාවත් මීට බොහෝ සෙයින් වෙනස් නොවේ..
මෙවැනි රටක ජීවත් වන ජනතාව එකී පාලනයට අවනත වී ජීවත් විය යුතුය. අවනත නොවන්නේ නම් සිරගත වී අවසානයේ මරු තුරුලට යා යුතුය.. එසේත් නැතිනම් ඉතිරි වී ඇති එකම විකල්පය වෙත යා යුතු ය.. අවසාන විකල්පය නම් සංක්‍රමණයවීමයි.. දේශපාලන හේතු හා සරණාගතභාවය හේතුවෙන් සංක්‍රමණය වීම අපිට අලුත් අත්දැකීමක් නොවේ. මාර්කේස් එය සංකේතවත් කර ඇත්තේ නගරාධිපතිවරයා පාලනය කරන නගරයෙන් දිනෙන් දින ජනතාව වෙනත් නගර වෙත සංක්‍රමණය වීම හරහාය.
එක් මිනිසෙකු මුළු ජනගහනයම පාලනය කරන්නේ කෙසේද යන්න ගැන නැවත සිතා බැලීමක් පාඨක මනසෙහි ජනිත කරන්නට මාර්කේස් ප්‍රයත්න දරා ඇත.. ඒකාධිපතිවාදියාගේ බලය පිළිබඳ සිතුවිලි සහ බලයේ මායාවන් භාවිතා කිරීම සම්බන්ධව පරිපූර්ණ විවරණයක් මේ පොත තුලින් පාඨකයා හමුවෙහි තැබීමට මාර්කේස් සමත් වී ඇත..
පරිවර්තනය ගැනද යමක් කිව යුතු ය. මාර්කේස්ගේ නිර්මාණ පාඨකයාට නීරස නොවන පරිදි පරිවර්තනය කිරිම සැබැවින්ම අභියෝගයකි. කෙසේ වෙතත් නිලූක කදුරුගමුව මහතා කිසිදු නීරසක් නොදැනෙන පරිදි , හැකි තරම් සරල බසින් මෙය සිංහලට නඟන්නට කටයුතු කර ඇත..
විකල් හෝරාව පිටු 256 න් යුතු පොතක්. 2020 දෙවන මුද්‍රණයේ මිල රුපියල් 580 ක්.