‘දඩඉම’ සැබෑ දඩඉමක් වීද ?

Share post:

වෛද්‍ය නිශානි ප්‍රනාන්දු මහත්මිය විසින් නිෂ්පාදනය කොට විශේෂඥ වෛද්‍ය නිඔමාල් පෙරේරා මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “දඩඉම” ( End of the Hunt ) 2023 චිත්‍රපටය මෙරට සිනමාවට එක්වූ කලාත්මක ෂානරයට අයත් නවතම චිත්‍රපටය වන්නේ ය. ඒ පිළිබඳව තබන විචාරක සටහන මා මෙසේ ආරම්භ කරමි.

මා සිංහල චිත්‍රපට අරබයා විචාරක සටහන් මුහුණු පොත තුළින් හෝ පුවත්පත් මාධ්‍ය තුළින් හෝ බහුලව නොතබන්නේ එමගින් හදවතේ කැකෑරෙමින් තිබෙන අදහස් ඉතා ව්‍යක්තව හෝ සෘජුවම ප්‍රකාශ කිරීමට නොහැකි වීම නිසාත් එමගින් බොහෝ දෙනෙකු විවිධ කාරණා මත අමනාප වන නිසාත් ය .එනමුත් ඉඳහිට හදවතට හැගුනු – දැනුනු චිත්‍රපටයක් පිළිබඳව විචාර සටහනක් මෙරට ජාතික පුවත්පතකට හෝ මුහුණු පොතට හෝ තැබීමට මම කිසිසේත්ම අමතක නොකරමි. එපරිදි මවිසින් අවසන්වරට මෙරට සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් විචාරක සටහන් දෙකක් ලියා පළ කරන ලද්දේ අශෝක හඳගම මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද”ඇල්බොරාදා” – 2022 චිත්‍රපටය වෙනුවෙනි. ඒ ‘ලංකා’ පුවත්පත ( බලන්න – 2022 – 02 – 20 දින ) හා මුහුණු පොත වෙනුවෙනි. ඉන් ඉක්බිතිව මවිසින් සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් විචාර සටහනක් තබන්නේ
“දඩඉම” චිත්‍රපටය වෙනුවෙනි.

එහෙත් … ඉහත කතාව විදෙස් චිත්‍රපට අරබයා කිසිසේත් වලංගු වන්නේ නැත. මා විදෙස් නවතම චිත්‍රපට පිළිබඳව මුහුණු පොත තුළින් නිරන්නතරයෙන් විචාරක සටහන් තබමින් ඔබව දැනුවත් කරන බව ආයේ ඔබට මා අමුතුවෙන් කිවයුතු නැත. එය ඇතැමෙකුගේ කියවීමට අනුව මෙරට නූතන ලෝක සිනමාවේ ප්‍රවණතා පිළිබඳව මුහුණපොත තුළින් කතාබව කරන මෙරට උදවියගෙන් ඉදිරියෙන්ම සිටින්නේ “මංගල හාමුදුරුවෝ” යයි කියැවේ. එනමුත් එය මට අදාල නැත. ඒ පිළිබඳව කිසිදු තැකීමක්ද නැත.

දඩඉම චිත්‍රපටය පිළිබඳව මා මෙසේ විචාරක සටහනක් තබනුයේ මගේ හදවතට එම චිත්‍රපටය දැනුනු හැගූනු නිසා බව විශේෂයෙන් සදහන් කළ යුතුය. නොඑසේනම් කාගේවත් ඉල්ලීමකට අනුව නම් නොවන්නේ ය. මගේ කියවීමට හා භාවිතාවට එවන් දේවල් අදාලම නැත.

සැබවින්ම දඩඉම චිත්‍රපටය කතාබහ කළ යුතු චිත්‍රපටය ද ?
අනිවාර්යයෙන්ම ඔව් . ඒ ඇයි ? ඒ මෙරට
කලාත්මක හා ගුණාත්මක සිනමාවේ
පෝෂණය හා ප්‍රේක්ෂකාගාරයේ සිනමා ශාක්ෂරතාවය වෙනුවෙනි .

● දඩඉම චිත්‍රපටයෙන් විශද වන සමාජ යථාර්ථය ( Social Reality ) කුමක්ද ?

දඩඉම චිත්‍රපටය වර්තමාන සිනමාවට ඉතා කරුණු කාරණා සතරකින් මූලිකව වැදගත් වන බව මගේ පෞද්ගලික කියවීමයි .ඒවා මෙසේ ය.

1.මෙරට ගුණාත්මක සිනමාවේ අනාගත ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් විශ්වාසය තබාගත හැකි අධ්‍යක්ෂකවරයකුගේ “මහතිර මංගල්‍යය”සනිටුහන් වන නිසා.

2.මෙරට එතෙක් මෙතෙක් නිර්මිත විශිෂ්ටතම චිත්‍රපටයක් වන වසන්ත ඔබේසේකර මහතා විසින් නිර්මාණය කරන ලද දඩයම – 1983 චිත්‍රපටයට කුමන හෝ ආකාරයකින් සහසම්බන්ධතාවයක් තිබෙන චිත්‍රපටයක් වීම නිසා.

3.මෙරට සිනමාවේ “මහ පොළවේ ගැහැණිය”යයි විරුදාවලිය ලද අද්විතීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය නැවතවරක් රිදී තිරය මය දැකීමට අවස්ථාව ලැබීම හා එතුමියගේ රංගනය මෙරට නූතන ප්‍රේක්ෂකාගාරයට කියවා ගන්නට හැකිවීම නිසා.

  1. දශක එකහමාරකට ආසන්න කාලවකවානුවක් පුර ථෙතිහාසික වීර කාව්‍යය හා වෙසක් තොරණ් චිත්‍රපටය රැල්ලෙන් හෙම්බත්ව සිටි මෙරට ප්‍රේක්ෂකාගාරයට දඩඉම නව්‍ය වූ ( සිනමා) කියවීමට දොරගුලු විවර කරන චිත්‍රපටයක් වීම නිසා.
    ඉහත සදහන් කරුණු-කාරණා පිළිබඳව අපි මඳක් සවිස්තරාත්මකව විමසා බලමු.

වර්තමාන මෙරට සිනමාව හා එහි අනාගතය ඇත්තේ ඉතා අවදානම් කලාපයක බව සිනමාව හා එම විෂයය පිළිබඳව අඹමල් රේණුවක තරම්වත් අවබෝධයටක් ඇති අයකුට මා ආයේ අමුතුවෙන් කිවයුතු නොවේ. එහිලා පාදක වූ බොහෝ කරුණු – කාරණා තිබුණ ද නිසි දැක්මක් හා සිනමාව මාධ්‍ය කුමක්ද යන්න පිළිබඳව මූලික ව්‍යාකරණ ටිකවත් නොදත් අධ්‍යක්ෂකවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් පසුගිය කාලය පුරාවටම සිනමා ක්ෂේත්‍රයට එක්වීම හා එහිලා බඩපිනුම් ගැසීම සිනමාවේ අර්බුදය තව තවත් දෙගුණ තෙගුණ කිරීමට සමත් වූ ප්‍රබල කාරණාවක් බව නොරහසකි. එවන් වපසරියක් තුළ මෙරට කලාත්මක සිනමාවේ හැඩතලය කුමක්ද යන්න කියවා ගත් මෙරට සිනමාවට ඉමහත් සේ ඇලුම් කළ උගත් වෘත්තීය ප්‍රේක්ෂකයකුගේ මහතිර මංගල්‍යය “දඩඉම” චිත්‍රපටය තුළින් සනිටුහන්වීම අපගේ අවධානය යොමුවිය යුත්තක් බව මගේ කියවීමයි .අපි මෙරට සිනමාවේ අනාගත ප්‍රවර්ධනය පැත්තෙන් ඔහු පිළිබඳව විශ්වාසය තබමු.

නැසිගිය සම්මානනීය අධ්‍යක්‍ෂවරයකු වූ වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “දඩයම” – 1983 චිත්‍රපට මෙරට සිනමාවේ නොමැකෙන සන්ධිස්ථානයක් වන්නේ ය. එමගින් හෙතෙම මෙරට වෙළෙඳපොළ ආර්ථිකය මත කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වීමත් පුරුෂාධිපත්‍යය, ධනය හා බලය හමුවේ මෙරට කාන්තාවට අත්වන ඛේදනීය ඉරණම හා පුරුෂාධිපත්‍ය, එහි මනෝමූල අතෘප්තිමත් ලිංගික ආශාවන් මත හපයක් වී යන ස්ත්‍රීත්වය පිළිබඳවත් ඉතා ව්‍යක්ථ සිනමා විවරණයක් යෙදෙන්නේ ය. එහි දෙවැනි කොටසක් හෝ දිගුවක් නිර්මාණය කීරීමට අධ්‍යක්ෂකවරයා කිසිදු ලෙස කිසිවකුට ඉඩක් තබා නැත්තේ ය. ( ඒ ලොව විශිෂ්ට නිර්මාණවල එක්තරා ජීවගුණයක් වන්නේ ය. ) එනමුත් “දඩයම” චිත්‍රපටය පිළිබඳව කියවීමට හෝ ඒ පිළිබඳව මනෝමූල ප්‍රබන්ධයක් ගෙතීමට කිසිවකුට හෝ එය බාධාවක් නොවන්නේ ය. එම න්‍යායට අනුව දඩඉම චිත්‍රපටය දඩයම චිත්‍රපට පිළිබඳව හරියයම පුරා දශක හතරකට පසුව කියැවෙන මනෝමූල ප්‍රබන්ධයක් මතින් නිර්මිත චිත්‍රපටයක් වන්නේ ය.

( මෙම න්‍යාය මත හිඳ ඔබ දඩඉම චිත්‍රපටය නැරඹීම වඩාත් සුදුසු යයි මම යෝජනා සිතමි. )
ස්වර්ණා මල්වවාරච්චි මහත්මිය මෙරට සිනමාව එතෙක් මෙතක් බිහිකරන ලද පරිපූර්ණ සිනමා නිළියන් කීපදෙනා අතරින් ඉහළින්ම වැජඹෙන පරිපූර්ණ සිනමා නිළියක් වන්නේ . එසේම මගේ කියවීමට අනුව සිනමා රංගනය ( Cinematic Acting Format ) යනු කුමක්ද කියා ඉතා නිවැරදිව ස්වයංඅධයනයකින් කියවාගත් ගත් නිළියක් ද වන්නේ ය. ඊට උදාහරණ වශයෙන් ඇයගේ සිනමා රංගන චාරිකාව තුළින් අපට හමුවන සුවිශේෂ ප්‍රතිභපූර්ණ චරිත ගත හැකිය. මා මෙතැනදී විශේෂ අවධානයට යොමු කරන්නේ ඇය මෙරට කිසිදු සිනමා නළුවකු හෝ නිළියක් සතු නොවන එක්තරා වාර්තාවකට හිමිකම් කියන කාරණාව පිළිබඳව ය. එය විටෙක ලෝක වාර්තාවක් ද යන්න යමෙකුට අවශ්‍ය නම් සොයා බලනු වටී. එම වාර්තාව වූ කලී මෙරට සිනමාවේ නවක අධ්‍යක්ෂකවරුන් වැඩිම සංඛ්‍යාවකගේ තම කුළුදුල් චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය දක්වා ඇති එකම සිනමා නිළිය වීමයි. ඒවා කුමක්ද කියා අපි විමසා බලමු .

මහාචාර්ය සිරි ගුණසිංහගේ පළමු චිත්‍රපටය වූ “සත් සමුදුර” – 1967 ( මෙය ඇයගේ කුළුදුල් සිනමා රංගනය ද වන්නේ ය. ) , සුගතපාල සෙනරත් යාපගේ කුළුදුල් චිත්‍රපටය වූ”හන්තානේ කතාව” – 1970 , මහගම සේකරගේ කුළුදුල් චිත්‍රපටය වූ “තුංමංහන්දිය” – 1970 , රංජිත් ලාල් සිල්වාගේ කුළුඳුල් චිත්‍රපටය වූ “නිම්වළල්ල”- 1970 , ආචාර්ය ධර්මසේන පතිරාජගේ කුලුඳුල් චිත්‍රපටය වූ “අහස් ගව්ව”- 1974 ( මෙරට නව සිනමාවේ සමාරම්භක චිත්‍රපටය වන්නේ ය.), ධර්මසිරි බණ්ඩාරනායකගේ කුළුදුල් චිත්‍රපටය වූ “හංස විලක්” – 1980, නිශාන්තද අල්විස්ගේ කුළුදුල් චිත්‍රපටය වූ “ඩොරීන්ගේ සයනය” – 1985 ,අශෝක හඳගමගේ කුළුදුල් චිත්‍රපටය වූ “චන්දකින්නරී” – 1998 හා මෙම ලැයිස්තුවට එක්වන නවතම චිත්‍රපටය වනුයේ අප මෙහිලා කතාබහ කරන “දඩඉම” යි.

(සැබවින්ම ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගේ රංගන කෞෂල්‍යය එදා සත්සමුදුර චිත්‍රපටය තුළින් මෙරට සිනමාවට රැගෙන ඒමට කටයුතු කරන ලද්දේ එහි අධ්‍යක්ෂක මහාචාර්ය සිරි ගුණසිංහ මහතාට වඩා එහි කැමරා අධ්‍යක්ෂක වූ සම්මානීය සිනමා අධ්‍යක්ෂකවරයකු වූ ආචාර්ය ඩි. බි නිහාල්සිංහ මහතා බව දන්නෝ දනිති.)

මෙම කරුණු කාරණාවලට අනුව ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියගේ තෙවැනි කාර්තුවට අයත් “දඩඉම” චිත්‍රපටය ඇයගේ සිනමා රංගනය පැත්තෙන් ඉතා සුවිශේෂී වන්නේ ය.

නූතන ප්‍රේක්ෂකාගාරයේ බහුතරයකට මෙරට “බයිස්කෝෆ් සංස්කෘතිය” හරිහැටි අත්විඳීමට නොහැකි වූ බව පෙනේ.එසේ වූයේ ඔවුන්ගේ වැරැද්දෙන් නොව මෙරට වැඩිහිටි පරම්පරාවේ ඉතා පසුගාමී චින්තනය හා ඊට සාපේක්ෂව ගත් වැරදි තින්දු හා තීරණ නිසා බැව් පෙනේ. එහෙයින් මෙරට නූතන ප්‍රේක්ෂකාගාරයට මෙරට වූ බයිස්කෝෆ් සංස්කෘතිය රිසි පරිදි විඳගැනීමට කිසිවිටෙකත් අවස්ථාවක් නොලැබුණි. මෙහිලා මවිසින් මෙරට නූතන ප්‍රේක්ෂකාගාරය වශයෙන් හදුවන්නේ වයස් කාණ්ඩවලින් ගතහොත් 20 – 30 පසුවන තරුණ තරුණියන් ය. ඔවුන් මෙලොව එළිය දකින විට මෙරට “බයිස්කෝෆ් සංස්කෘතිය” මුලුමනින්ම බිඳවැටී සිනමාවේ කඩාවැටීමේ ආරම්භයත් රූපවාහිනිය ඇතුළු සෙසු සමාජය මාධ්‍යවල ක්‍රමික ආරම්භයත් සනිටුහන් වී තිබුණි. එහෙයින් මෙරට නුතන ප්‍රේක්ෂකාගාරයෙන් බහුතරයක් වූ කලී මෙරට චිත්‍රපටය සංස්කෘතියෙන් පෝෂණය නොලැබූ පිරිසක් බව අවිවාදිත ය.එවන් ප්‍රේක්ෂකාගාරයකට ස්වර්ණ මල්ලවාරච්චි යනු කව්ද , ඇයගේ සිනමා රංගනය කුමක් ද , ඇය විසින් එතෙක් මෙතෙක් රංගනයෙන් දායකත්වය දක්වන ලද කලාත්මක හා වාණික චිත්‍රපට කවරේ ද යන්න කියවා ගැනීමට අරබයා “දඩඉම” චිත්‍රපටය ඉතා වැදගත් උත්තේජනයක් සපයන බව මගේ පෞද්ගලික කියවීමයි.

මෙරට සිනමාවේ රැලි පිළිබඳව එහි අතීතය දන්නා කොයි කව්රුත් ඉතා හොදින් දනී. එහි අවසාන රැල්ල සේම වර්තමාන දක්වාම දිවෙන රැල්ල වන්නේ “ථෙතිහාසික වීර කාව්‍යය සිනමා” රැල්ලයි . එහි මූලාරම්භය සනිටුහන් වන්නේ ජැක්සන් ඇන්තනි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “අබා” – 2008 චිත්‍රපටයෙනි. එසේ ආරම්භ වූ එම රැල්ල තව තවත් පෝෂණය කරමින් මෙරට බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාවට මුවාවී නිර්මිත “වෙසක් තොරණ් චිත්‍රපට” රූල්ලක් ද එක්වීය. මෙම රැලි දෙකට ඉතා සමාන්තරව ඉදිරියට කිසිදු අවහිරතාවයකින් තොරව ගමන් කිරීමට මෙරට රජ උන්මාදයෙන් මත් වූ දේශපාලන ප්‍රපංචය තුළින් ලැබුණේ කදිම අනුබලයකි. එය කොතරම්දයත් කිවහොත් එම රැල්ල වර්තමාන දක්වාම නූතන ප්‍රේක්ෂකාගාරයේ සිනමා ශාක්ෂරතාවය ප්‍රාථමික තත්ත්වය ඇද දමමින් පැමිණීමට තරම් යටකී දේශපාලන ප්‍රපංචයේ නොමසුරු දායකත්වය ඊට මහත් සේ ප්‍රයෝජන විය . එසේම මහත් වූ ශක්තියක් ද විය .

මෙන්න .. මෙවන් ථෙතිහාසික කසිකබල් චිත්‍රපටය හා වෙසක් තොරණ්වලින් හෙම්බත්ව සිටි නූතන ප්‍රේක්ෂකාගාරයට දඩඉම චිත්‍රපටය යටකී රැල්ලෙන් වියුක්තව කිසියම් වූ සිනමාත්මක කතිකාවකට දොරගුලු විවර කරන බව පෙනේ. එය අලුත් කලාත්මක සිනමාවක් හෝ මෙරට අනාගත සිනමාවේ හැඩතලය කුමක්ද යන්න පිළිබඳවද යන කරුණු කාරණා අතින් අතිශයින්ම වැදගත් බව මගේ පෞද්ගලික කියවීමයි . (මතු සම්බන්ධයි)

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...