එන්රික් ෆර්ම් යනු ප්‍රකට භෞතික විද්‍යාඥයෙකි. ප්‍රථම පරමාණු බෝම්බය නිෂ්පාදනය කළ කුප්‍රකට මෑන්හැට්න් ව්‍යාපෘතියේ ප්‍රධානියෙකි, ඔහු. ඇමරිකන් රජය විසින් ඔහුට සියලු වරදාන-වරප්‍රසාද ලබා දී තිබිණි. නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්යවරයා වූයේද ඔහු ය. ඕනෑම දෙයක් කළ හැකි මට්ටමේ බලයක් රජය විසින් ඔහුට ලබා දී තිබිණි. ඒ විනාශයට පොට පෑදූ නිසා ය. එහෙත් ඔහු විනාශකාරී හයිඩ්‍රජන් බෝම්බය නිපදවීමේ ඇමරිකානු තීරණයට බලවත් විරෝධය පළ කළේය. එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ හැරී ටෘමන්ට විරෝධය පළ කරමින් ඔහු කියා සිටියේ මෙමගින් මානව සංහාරයක් සිදු වන බවයි.
එහෙත් ඇමරිකානු රජය එය පිළිගත්තේ නැත. ඔහු ප්‍රමුඛ කණ්ඩායමට හයිඩ්‍රජන් බෝම්බය නිෂ්පාදනය කරන ලෙස බල කෙරිණි. එම පර්යේෂණ ක්‍රියාවලිය හරහා ඇමරිකාව යුද අවි ක්ෂේත්‍රයේ ඉදිරියටම ගියේය. ලෝක සංහාරකයා බවට පත් විය.
ෆර්ම් වගේ ම මාධ්‍ය !
මාධ්‍ය කියන්නේද හරියටම ෆර්ම් වගේ ය. රටේ මතය හසුරුවන ඔවුන්ට විශාල බලයක් තිබේ. සිව්වැනි ආණ්ඩුව කියන්නේද ඒ නිසා ය. ඒත් ඔවුන් ෆර්ම් වගේ න්‍යෂ්ඨික බෝම්බ හදන්නේය. ඒවායින් විනාශයක් සිදු වන බව ඇතැමුන් දන්නේ නැත. තමන්ට සිව්වැනි ආණ්ඩුව ලෙස ඇති බලය පිළිබඳ අභිමානයෙන් දෑස් වසාගෙනය, ඔවුන් සිටින්නේ. බහුතරයක් ෆර්ම් වගේම හයිඩ්‍රජන් බෝම්බ හදා, මානව සංහාර සිදු කිරීමේ තීරණ වලට විරුද්ධ ය. ඒත් හැරී ටෘමන් වගේ මාධ්‍ය හිමිකරුවන් හයිඩ්‍රජන් බෝම්බ හදන්නටම බල කරන්නේය.
කරන්නේ කුමක්ද ?
එහිදී කරන්නට දෙකක් තිබේ. එකක් එය වෙනස් කිරීමට තරම් ශක්තියකින් විරෝධය පළකිරීම ය. අවංකව තමන් විශ්වාස කරන සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමය. එහිදී රැකියාව අහිමි වීම දක්වා වන අභියෝගවලට මුහුණ පෑමට සිදු වේ. අනෙක නම් ෆර්ම් වගේ කටයුතු කිරීමයි. විරෝධය දැක්වුවද, රජයට තවදුරටත් පක්ෂපාතී බව කියමින් අකමැත්තෙන් වුවද වැඩේ හරියටම කරදීමයි.
අපේ බහුතරයක් මාධ්‍යවේදීන්ද එසේ ය. එහෙත් ඔවුන් ෆර්ම්ගෙන් වෙනස් වෙයි. ඒ ෆර්ම්, ටෘමන් ඉදිරියේ විරෝධය පළ කළද, ඔවුන් මාධ්‍ය හිමිකරුවන් ඉදිරියේ එසේ නොකිරීමයි. ඔවුන්ගේ අවශ්‍යතාව හරියටම හඳුනාගෙන කටයුතු කිරීමයි.
තවත් දිනයක්
මෙවැනි තත්ත්වයක් යටතේ තවත් මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනයක් පැමිණ තිබේ. ඒ මැයි 03 ය. මාධ්‍ය නිදහස පිළිබඳව සටන් කළ, ඇත්ත සහ යුක්තිය වෙනුවෙන් ලියූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සේවකයන් 44 දෙනෙකු ඝාතනය කෙරුණු මෑත කාලීන ඉතිහාසයක් අපට හිමි ය. පැහැරගෙනයෑම්, පහරදීම්, තර්ජනය කිරීම් සිය ගණනකි. ඒත් එම අපරාධ පිළිබඳ විමර්ශන සිදුවූයේත් – සිදුවන්නේත් අවසානයක් දකින්නට නොවේ. ඒවා දේශපාලන ඩීල් ය. පරණ ආණ්ඩුවේ නායකයන් සමග ඩීල් දමන්නට, එසේත් නැතහොත් ඡන්දය කාලයට වළෙන් ගොඩගන්නට පමණක් මේ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් භාවිත කෙරේ. හැම ආණ්ඩුවක්ම එහෙම ය. රිචඩ් ද සොයිසා ඝාතනය කළ යූඇන්පී ආණ්ඩුවේ වගකිවයුත්තන් බේරුවේ චන්ද්‍රිකා ආණ්ඩුවයි. චන්ද්‍රිකා ආණ්ඩුවේ රෝහණ කුමාර ඝාතකයන් බේරුවේ 2001 යූඇන්පී ආණ්ඩුවයි. මහින්ද ආණ්ඩුවේ ඝාතකයන් බේරුවේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවයි. දැන් අපරාධකරුවන් සියල්ලන් එක පැත්තේ ය.
මේ සියලු තත්ත්වයන් යටතේය, මාධ්‍ය නිදහස පිළිබඳ තවත් දිනයක් සමරන්නේ. ආචාරධාර්මික, අනෙකාගේ නිදහසට ගරු කරන, අනෙකාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන මාධ්‍ය කලාව පසුපසට යමින් තිබේ. ඒ වෙනුවට ටෘමන් සහ ෆර්ම් පන්නයේ මාධ්‍ය කලාවක් ඉදිරියට පැමිණ තිබේ.
එය වෙනස් කළ යුතුය ! වෙනස් කළ යුතු ම ය !