සිංහල සිනමාවේ තුන්වන චිතප්‍රටය
“කපටි ආරක්ෂකයා” (1948) චිත්‍රපටයේ ඒ අපූරු ගීතය
නටන්න … නටන්න… නටන්න..
පසු ගිය ලෝක ගුරු දිනයට ලංකාවේ පාසල් වල නැටුමෙන්-වැයුමෙන් සහ ගායනයෙන් අලංකාර උත්සව තිබුණා. ගුරු-ගෝල සබඳතා කිසියම් දුරස්ථ භාවයක තිබෙන මේ කාලයේ, පන්ති කාමරයට කොටු වූ, සෞන්දර්ය විශයන් වල සහ ක්‍රීඩාවේ නියැලෙන ළමුන් අඩු කාලෙක, ඒ සඳහා අවස්ථාවන් අඩු කාලෙක, ගුරුවරුන් සහ ගුරුවරියන් සිසුන් සමග නටා-ගයා ප්‍රීති වීමේ කිසිදු අවුලක් පුරවැසියකු ලෙස මම දකින්නෙ නැහැ.
ගුරු දිනය දා එලෙස සංගීතයේ අපූර්වත්වය සමග මුසුවූ ගුරුවරුන් සහ ළමුන් පිරිසක් නටන සුන්දර දර්ශනයක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වුණා. ඒ අපූරු නර්ථනය ට කැමැති අය වගේම, අකමැති අයත් ඉන්නවා. ඒ අතර මැද ඉඳගෙන නැටුව එක කමක් නෑ සිංදුව තමයි අවුල් කියන අයත් ඉන්නවා. ඕනෑම කෙනෙකුට තමන්ගෙ මතය දරන්න ඉඩක් තියෙනවා. ඒ වගෙම ඒ මතය පෙරළා විවේචනය කරන්න අනෙකාටත් අයිතියක් තියෙනවා. මොකද මේක ඊළඟ පරම්පරාවේ සංස්කෘතික නිදහස වගේම නිදහස් චින්තනය පිළිබඳ ප්‍රශ්නයක් නිසා.
ඇතැම් විට, ඇතැම් පාසල් වල කෙරෙනවා වගේ මේ දිනය සමරමින් හෝ වෙනත් දිනයක් සමරමින් ගතානුගතික ලෙස ඊනියා ආගමික වතාවත්, බන-බාවනා, කවි බණ, විවිධ පූජා ආදී කී නොකී දේවල් වලට ගුරුවරුන් සහ සිසුන් ගාල් කරා නම් මේ වගේ ඊනියා විරෝධයන් නොඑන්න තිබුණා. ඒත් ඇත්තටම අහලා බැලුවොත් ගුරුවරුන් සහ ළමයි කැමතියි ඒකාකාරිත්වයෙන් මිදෙන්න. අනිත් එක සංගීතය සහ නර්ථනය කියන්නෙ මිනිස්සුන්ට ඔසුවක්. ඒක විද්‍යාවක්.
අනුමාන කරන්න පුළුවන් විදිහට මේ පාසලේ ඩීජේ එකකට ගුරුවර-ගුරුවරියන් සහ ළමුන් නටන බව පේනවා. මේවාට එන විරෝධයන් අර සුද්දාගෙන් නිදහස ලබන කාලයේ ලංකාවේ දේශීයත්වය, ජාතිකත්වය පදනම් කරගෙන ආපු සුචරිතවාදී අදහස් වල ශේෂ වෙමින් යන කෑලි. මනුෂ්‍ය ශරීරයක් නැටවෙන ගීත ඇත්නම් ඒවා බොහෝමයක් බටහිර සුද්දාගෙ සංගීත සම්ප්‍රදාය අනුව නිර්මාණය වූ ඒවා. ඒ හැරුණු විට උත්තර භාරතීය සහ දක්ෂිණ භාරතීය සංගීතයට අනුව නිර්මාණය වූ සිංදුත් තියෙන්න පුළුවන්. දේශීය සංගීතය අනුව නිර්මාණය වුණු ගීතත් සීමිත ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. අපේ ජාතික ආලෙ නිසා, සුද්දා සහ බටහිර විරෝධය නිසා අපි දේවල් අත ඇරියොත් අන්තිමට ඉතිරි වෙන්නෙ අමුඩය වෙන්නත් පුළුවන්. ලෝකය කියන්නෙ සංස්කෘතික සම්මිශ්‍රණයක්.
මේ සිංදුව එන්නෙ ලංකාවෙ තුන්වන කතා නාද චිත්‍රපටය වන, 1948 පෙබරවාරි 23 තිරගත වූ කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ. ගායනා කරන්නෙ ජෙමිනි කාන්තා. මේ චිත්‍රපටයේ ගීත 14 ක් තියෙනවා. සියලුම ගීත ලියා තිබෙන්නෙ පී.එල්.ජේ. නන්දන කීර්ති. සංගීතය ඉන්දීය ජාතික පණ්ඩුරංගන්ගෙ. ජාතිකවාදී අදහස් දැඩිව පැතිරුණු ඒ කාලයෙත් මේවැනි ගීත ලියමින්, ඒවාට නිරූපනයන් ඉදිරිපත් කරමින් විනෝදයට පත් වූ සමාජයක් තිබීම විශේෂ ලක්ෂණයක්. මේක මේ චිත්‍රපටයේ එන කෙටි ගීතයක්. ඒ වගේම මේ ගීතයෙන් ඉතා කුඩා කොටසක් තමයි මේ කාලයේ ඩීජේ වලට, රී මික්ස් වලට යොදා ගෙන තියෙන්න. ඒ වගේම පේන විදිහට මෑත කාලයේ මේ ගීතය රී මික්ස් කරද්දි “මධ්‍ය පානෙ බීමෙ ජොලිය ගෑණු නොදන්නෙ” කියන කොටස අලුතින් ඇතුල් කරපු බවක් පේනවා.
“ සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි පදමට ගහලා
දේව්ලෝකෙ පේන සුදිය සීල් බෝතලේ
ඒ රසය දන්න නිසයි පිරිම අපට නොදෙන්නේ”
අප සීල් බාගෙ අතට අරන් සූර් පෙන්නලා
මේ මෝඩ පිරිමි අල්ලෙ නටව සිතු සැප ගන්නා
ගෑනුන්ට නොදී පිරිමින් ඇයි ෂෝක් කරන්නෙ
ඒ නිසයි අපිත් අපෙ නිදහස ගන්න හදන්නෙ
අනෙක් පැත්තෙන් මෙකළ වගේම එකළ ස්ත්‍රීවාදය ( Feminism) පිළිබඳ කිසියම් මතවාදීමය ප්‍රවණතා සමාජයේ තිබුණු බව පේනවා. විනෝද වීම පිරිමියාට පමණය, ගැහැණියට අකැපය යන කාරණය මේ ගීතයෙන් විවේචනයට ලක්වෙනවා. විශේෂත්වය තමයි මේ ගීතය ලියලා තියෙන්නෙ පිරිමියෙක්ම වීම. එදත් අදත් මේ ගීතයේ අර්ථය ගත්තොත් ඒකෙන් කියන්නෙ මනුෂ්‍ය ජීවිතය සඳහා ලෞකික නිදහස උපරිම වශයෙන් අත්කර ගැනීමට මිනිසුන්ට තියෙන සහජාශාව ( Innate Desire)
ගීතයක පදමාලාවක් නිසා ළමයින්ගේ සදාචාරය විනාශ වෙනවා යයි කීම අතාර්කික සහ මුග්ධ කතාවක්. එහෙම නම් ලංකාවේ බොහෝමයක් ගීත සංගීත භාවිතයෙන් ඉවත් කරන්න වෙනවා. ඒ වගේම මේ ටීචර් නුසුදුසු නැටුමක් කළා කියලා ඊනියා දූපත්වාසී, චක්‍රලේඛවාදී නිළධාරින් කියපු බවක් කියවෙනවා. විනය පියවර ගන්න යන බවකුත් සඳහන්. ඊට අපේ විරෝධය පළකරනවා. ඇත්තටම මේ නිළධාරි පැලැන්තියට මුලින්ම ලෞකිකත්වය සහ සමාජය ගැන නවීන සහ නවීකාරක දැනීමක් ලබා දිය යුතුයි.
ඩීජේ එකක් දාගෙන පොඩ්ඩක් නටලා බලන්න දැනෙන කායික සහ මානසික සුවය. ඉතං ගුරුවරු ළමයි නැටුවට කමක් නෑනෙ.
ඡායාරූපය: බටහිර රොක් ඇන්ඩ් රෝල් නැටුමක්
අතුල දිසානායක (සමාජකතා)