කේරළයට ගිය කෑරලා-3
මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට නංවනුයේ අපේ ගමක පුරුදු දසුනය. ඒ කවාකාරව තාප්පය බැඳ කප්පියකින් වතුර අදින්නට හැකිවන සේ සකසන ලද ළිඳයි. කබොක් බැම්මක් සහිතව බදිකරන ලද එවන් ළිඳක ආකෘතියක් මස්කට් හෝටලයේ මිදුල සරසයි.
දෙවන දසුන ඉන්දීය ඉතිහාසයේ අතිශය වැදගත් චරිතයක පිළිරුවකි. ඒ දැවැන්ත පිළිරුව මස්කට් හෝටලය ඉදිරිපිට ඇති මාර්ගයේ වටරවුමෙහි තේජාන්විතව නැගී සිටියි. මංසන්ධියෙහි වාහන තදබදය මැද නැගී සිටිනා පිළිරුවෙහි දෙනෙත් අචලව ඉදිරියට විහිදී තිබෙයි. මේ පිළිරුව සුභාෂ් චන්ද්‍රබෝස්ගේය. ඉන්දියානුවන් ඔහු අමතනුයේ ගෞරවය සහ ආදරය මුසු නේතාජී යන යෙදුමිනි. 1938 වසරේදී කොංග්‍රසයේ සභාපති තනතුරට පත්වන ඔහු 1939 වසරේ යළි පත්වුවද ත්‍රිපුරි සැසියේදී ගාන්ධි සහ තවත් නායකයන්ගේ විරෝධය හේතුවෙන් ඉන් ඉවත්වෙයි. එතැන් පටන් ඉන්දීය නිදහස් සටනේ නේතාජී භූමිකාව මුළුමනින්ම වෙනස් වන අතර එය කෙරලවර වනුයේ අභිරහස් ලෙස ඔහු මිය යාමෙනි.
සන්ධ්‍යා හිරු රැසින් නේතාජිගේ පිලිරුව නැහැවී ඇත. මම මගට බැස එහි ඡායාරූපයක් ගනිමි. මගේ මොබයිලය නාද වෙයි.
‘තෙයියම් බලන්න එනව නේද?’
ඒ පුෂ්පා කුරුප්ගේ හඬය. මම හරියට හයයි තිහට නියමිත තැනට එනබව කියමි.
අභිලාෂ් හයයි තිහ වෙද්දී මා කැටුව එහි යයි. අදාල භූමිය සකසා ඇත්තේ කේරළ ව්‍යවස්ථාදායක සභාවේ කෞතුකාගාරය ඉදිරිපිට ය. එය කුඩා කෝවිලක අනුරුවක් සහ කොඩි ගසක් සහිත සතරැස් බිමකි. නර්තනයේ යෙදෙන්නන්ගේ පාද වල පහසුව තකා එහි කාපට් එකක් අතුරා තිබේ. අවට බිම විදුලි බුබුළ වලින් අලංකාරව සරසා ඇත.
දැනටමත් එහි විශාල සෙනගකි. මිනිස්සු බිමද වාඩිවී සිටිති. අභිලාෂ් එහි රැකවලෙහි සිටිනා ප්‍රධානියකු කරා ගොස් මා හඳුන්වා දෙයි. ඔවුහු වහා ඉඩ සලසා මා ඉදිරියටම ගෙන ගොස් අසුනක හිඳුවති. මම එහි හිඳගෙන යාබද අසුන දෙස බලමි. එහි ඇත්තේ ඡායාරූපයකින් දැක පුරුදු මුහුණකි. මම ඔහු අමතමි.
‘මිස්ටර් සම්ශීර්, අයෑම් චූලා ෆොම් ශ්‍රීී ලංකා.’
ඔහු වහා සිනාසී මට අතටත දෙයි. අපි වදන් කිහිපයක් හුවමාරු කරගනිමු. ඔහු කේරළ ව්‍යවස්ථාදායක සභාවේ කතානායකවරයාය. මට ඇරයුම් කරන ලද ලිපිය අත්සන් කරන ලද්දේ ඔහු විසිනි. මට අනිත් පසින් සංචාරකයන් පිරිසකි. ඔවුහුද දෑස් දල්වා උළෙල ඇරඹෙන තෙක්
බලා සිටිති. මයික්‍රෙපා්නය තබා ඇති ස්ථානයෙන් පුෂ්පාගේ මුහුණ එබෙයි. මම දකුණතේ මහපටැඟිල්ල ඔසවා මම පැමිණි බව අඟවමි.
හරියට හතට නිවේදකයා මලයාලම් බසින් විස්තර කථනය ඇරඹීය. එහි ඇතැම් වදන් මට හුරුය. එහෙත් සමස්ත අරුත නුහුරුය. ඔහුගෙන් පසුව පුෂ්පා එහි එන්නීය. ඇයගේ වගකීම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම හතට මෙහි ඇරඹෙන තෙයියම් දර්ශනයෙහි ඉංග්‍රීසි විස්තර කථනය සිදු කිරීමය.
ඇය තරමක් දීර්ඝව තෙයියම් ගැන විස්තර කරන්නට ගන්නීය. මැදදී එක්වරම අත්පොලසන් නදකි. ඇය ඊට ඉඩදී යළි කතාව අරඹයි. තවත් මද වෙලාවක් යද්දී අත්පොලසන් නැගී එයි. තෙවන වරට අත්පොලසන් නැගෙද්දී සම්ශීර් ‘පුෂ්පා දැන් නතර කරමු’ යයි පහත් ස්වරයෙන් කියයි.
‘මං දන්නවා ඔබ මෙය නරඹන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඒත් අපේ ආරාධනයෙන් මෙතනට ආ විදේශීකයන් ඉන්නවා. ඔවුන්ට මෙය විස්තර කිරීම අවශ්‍යයි.’ ඇය පිරිසට කියන්නීය. පිරිස තවත් වරක් අතපොලසන් දී නතර වෙති.
‘ඔය හොඳයි, සමහර වෙලාවට අත්පුඩියට පස්සෙ එන්නෙ හූව. ඒ වගේ වෙලාවල් පාලනය කරන එක අභියෝගයක්.’ පුෂ්පා එදා වැඩ සටහන හමාරව මා සමග එද්දී එසේ කීවාය. ලංකාව සහ කේරළය අතර තවත් සමානකමකි. මෙවන් කතාවකදී වැදුන හූවකට පිළිතුරු ලෙස සෝමවීර චන්ද්‍රසිරි කියූ කවියක් මා
කෙසේ ඇයට මලයාලම් බසින් පවසන්නද?
ඉපදුන එකා ඌ නරියකු හට දාව
ජන්මෙන් උරුම මයි ඒකා හට හූව
කොල්ලනි මෙතනදී මට දැන් හූ කීව
උගෙ අම්මට කියා මකවා ගන් හූව
පුෂ්පා යනු කේරළ තෙයියම් සම්ප්‍රදාය ගැන පර්යේෂන පවත්වන්නියක සහ ඒ ගැන ලියන්නියකි. ඇය ඒ ගැන පුළුල් දැනුමක් ඇත්තියකි. තෙයියම් සම්ප්‍රදාය ගැන වඩාත්ම ප්‍රසිද්ධ වනුයේ කේරළයේ කන්නූර්, කසාරගොඩ්, වයානාද් සහ කොශිකොඩේ යන් දිස්ත්‍රික්කයන්ය. ගොඩබිමින් කේරළයට බුදු දහම සහ ජයිනාගම ලැබෙද්දී සමුදුර හරහා ඊට ඉස්ලාමය සහ ක්‍රිස්තියානිය. එයි. පසුකාලීනව බුදු දහම සහ ජයිනාගම යටපත්ව එහි රජයනුයේ හින්දු ආගම සහ ක්‍රිස්තියානියයි. වෙසෙසින්ම යටත්විජිතවාදය සමග කතෝලික දහම එහි පැලපදියම් වෙයි. ඒ අතර වාමවාදී දේශපාලනයද එහි ඇරඹෙයි. මේ සියළු බලපෑම් ඉතා අහිතරකර ලෙස තෙයියම් සම්ප්‍රදාය යටපත් කරන අතර එය මිථ්‍යා විශ්වාස ලෙස යටපත් කර දැමෙයි. විසිවන සියවසේ ප්‍රකට ප්‍රතිසංස්කරණවාදියකු වන ශ්‍රී නාරායන ගුරු මේ තෙයියම් සම්ප්‍රදාය ගර්හාවට ලක් කරනුයේ ‘කෝවිල යනු රා පොලක් හෝ මස් මඩුවක් නොවේ’ යයි කියමිනි.
කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී. කාලි දේවතාවිය පිදීමේදී ඔවුහු කුකුළන් බිලි දෙති. ඇතැම් නැටුමකදී ඔවුහු එහි යෙදෙන්නෝ රා පානය කර මත්වය. ඒ පිටුපස ඇත්තේ ආරූඩ ලැබීම පිලිබඳ විශ්වාසයන්ය. තෙයියම් යන වදන බිඳී එන්නේ දේව්‍යම් යන වදනින් බව පුෂ්පා කියයි. ඇය තුළ මේ සම්ප්‍රදායන් ගැන ඇත්තේ මහත් ගරුත්වයකි. ‘තෙයියම් බලන්න නම් කන්නූර් වලට යන්න ඕනැ. පළමු වතාවට තමයි මේ පොත් ප්‍රදර්ශනයට තෙයියම් එකතු කළේ. තිවේන්ද්‍රම්වල මිනිස්සුන්ටත් මේක ස්වරණ්මය අවස්ථාවක්.’ ඇය මට කියයි.
තෙයියම් ඇරඹෙයි. ජනයා වශීකෘතව එ දෙස බලා සිටිති. අද නර්තනය (ජනවාරි 08) යහපත සහ නපුර අතර ගැටුමක් සංකේතවත් කරයි. ‘අර සුදු ඇඳගෙන නටපු දෙන්නගෙ ඇස් යට ගාලා තියෙන කලු පාට දැක්කද? ඒ තමයි නපුර සංකේතවත් කරන විධිහ.’ පුෂ්පා පසුව මට විස්තර කරයි.
තෙයියම් ශිල්පීන්ගේ වෙස් ඇඳුම් ඉතා විචිත්‍රය. වෙස් මුහුණු විශාලය. එවා දකින විට අම්බලන්ගොඩ ගියා වැනි හැඟීමක් දැනෙයි. ඔවුන්ගේ සිරුරු විවිධ වර්ණ වලින් හැඩ ගැන්වෙයි. ඒ සෑම වර්ණයකටම අරුතක් ඇත. ඇතැම් මුහුණක් පැළඳගත් විට එය ශිල්පියාගේ චලනයන්ට දැඩිව බලපායි. එවිට දෙදෙනෙක් ඔහුගේ සහායට එති. නැටුම් පවත්නා මුලු වෙලාවේම බෙර වාදකයෝ එක දිගට වේගවත් තාල වාදනය කරති. මෙය සැබැවින්ම අසීරු ව්‍යායාමයකි.
කවදාහරි දවසක යළි තෙයියම් බලන්නට කන්නූර් කරා යන්නට අදිටන් කරගතිමි.
‘ඔයා එන්න අපේ තොවිල් බලන්න.’ මම පුෂ්පාට ඇරයුම් කරමි. ඇය මෙසේ පිළිතුරු දෙන්නීය.
‘තිවේන්ද්‍රම් වලට එන්නෙ ශ්‍රී ලංකන් ප්ලයිට් විතරයි. ඒවයෙත් ගාන වැඩියි. ඔය ගාන ටිකක් අඩු වුනා නම් අපේ අය හුඟක් ලංකාවට යනවා. දැන් කවුරුත් යන්න හදන්නෙ නෑ. අපේ අයට කටුනායක කියන්නෙ ට්‍රාන්සිට් පොයින්ට් එකක් විතරයි.’
මේ කියමන ඇත්තය. මා ආ ගිය ගුවන් යානා දෙකෙහිම සුදු සම ඇති කිහිප දෙනෙක් සහ තවත් දෙතුන් දෙනකු හැරුණ විට අන් සියළු මගීන් වෙනත් ගමනාන්ත බලා යන්නන්ය. මට ඒ සමගම සිහිපත් වූවේ කත්මණ්ඩු සිට එන ශ්‍රී ලංකන් ගුවන් යානයයි. එයද මෙය මෙන්ම මගීන් පුරවාගෙන එයි. එහෙත් ඔවුහුද වෙනත් ගමනාන්ත බලා මාරුවන අදහසින් එන්නන්ය. ‘අපේ අය විවේකයට යන්නෙ මාල දිවයිනට.’ ලංකාවට ආ ලේඛක බිජෝයි රාජ් ආචාර්ය කී වදන් මට සිහිවෙයි.
කේරළය සහ අප අතර සම්බන්ධකම් බොහෝය. එහෙත් සංචාරක කර්මාන්තය තුළ අප මේ ආසන්නතම වෙළඳපලවල් ගැන අවධානය යොමු කර නැත. එක්වරම මගේ මතකයට ආවේ තිවේන්ද්‍රම් වලදී මාදුටු කඩයක පුවරුවකි.
‘කලම්බු සාරි සෙන්ටර්.’
තෙයියම් හමාර කර හෝටලයේ අවන්හලට ගොඩ වදිමි. දහවලේදී මෙන්ම එහි රාත්‍රියටද ගව මස් කරියක් තිබේ. ‘කේරළ හින්දු අය හරක් මස් කනවා.’ මේ ගැන ඇසූ විට අයෙක් මට එසේ කීවේය. මට යළි සිහිපත් වූවේ කත්මණ්ඩුවයි. එහි ගව මස් කෑමට නැත. එහෙත් යැක් ගව මස් ඇත. යැක් ගවයා පූජණීය ගවයෙක් නොවේ.
ඇතැම් අවස්ථාවලදී සමහරු මගෙන් වෙජිටේරියන්ද අසති. මා ඒ අවස්ථාවලදී පිලිතුරු දෙන්නේ මම පොමනේරියන් කියමිනි.
ඉදින් මහත් සතුටින් හරක් මස් කරියට හැන්ද ඔබමි.
චූලානන්ද සමරනායක





