මානව සංහතියේ අන්තය සමගින් එළැඹෙන AI යුගය කෙබඳුද ? (Human Edge in the AI Age )

Share post:

2025 දෙසැම්බර් මස අතිශයින්ම වැදගත් පොතක් එංගලන්තයේ ලංඩන් නුවර පිහිටි පෙන්ගුයින් රැන්ඩම් නිවස ( Penguin Random House ) විසින් ප්‍රකාශයට පත්කරන ලදි. ඒ වැදගත් පොත කුමක්ද ?
Book Title
Human Edge in the AI Age
Author : Nitin Seth
Publisher : Penguin Random House
Publishing Year : 2025 / December
Pages : 454
ISBN No : 978 – 0 – 143 – 47758 – 7
Local Price : Rs 3800 /=

AI තාක්ෂණය හා මානව සංහතිය :

ආදි මිනිසා විසින් ශිෂ්ටාචාර නිර්මාණය කරගත් ක්‍රියාවළිය දෙස විමර්ශනාත්මකව බලන කල්හි එහි සුවිශේෂී ජයග්‍රහණය හා මානව සංහතියටම නිගාදෙන පරාජයන් ( යුද්ධ හා සමූල ඝාතනයන් ) ද සමාන්තරව දැකගැනීමට පුලුවනි. මීට වසර මිලියන ගණනාවකට පෙර සංචාරක දඩයම්කරුවකු ලෙස තම
දෛනික චර්යාව ( ශික්ෂණය) ආරම්භ කරන ලද ඒ මිනිසා වර්තමානය වනවිට අත්පත් කරගෙන ඇති විශ්මිත ජයග්‍රහණය මෙතෙකැයි කියා කිවනොහැක.

මානව සංහතිය තුළ මිනිසා ලද ජයග්‍රහණය සියල්ල අත්පත්කර ගැනීමට ඔහුට හැකිය සමත්ව ඇත්තේ ඔහුගේ නිරීක්ෂණශීලීත්වය හා ඒ පිළිබඳව ඇති නොනිමි ආශාව , කැපවීම හා අපිරිමිත උත්සාහය නිසා බව කිවයුතුය.

2025 වර්ෂය සමගින් ලොව ආරම්භ වනුයේ බීටා පරම්පරාව ( Beta Generation 2025 – 3039 ) යි. එම පරම්පරාව වර්ෂ 3039 දක්වාම පවතීනු ඇත. මෙම බීට පරම්පරාවටේ ප්‍රධාන අවිය වී ඇත්තේ AI තාක්ෂණය ( Artificial intelligence or AI Technology ) යි. එමගින් ඔවුන් කරන කියන දෙවල් පිළිබඳව වර්තමාන ලෝකයේ වැඩිහිටි පරම්පරාවන්ට සිතාගැනීමට පවා නොහැක. එම වැඩිහිටි පරම්පරා කුමක්ද ?

The Silent Generation
– born 1925-1945
The Baby Boomer Generation –
– born 1946-1964
Generation X – born 1965-1980
Millennials – born 1981-1996
Generation Z: Born 1996 – 2012
Gen Alpha: Born 2012 – 2025

2025 වර්ෂයේ ජනවාරි මස මෙලොව එළිය දුටු දරුවාට 2026 මාර්තු මස වනවිට වසරකුත් මාස තුනක් පමණ වයසක පසුවේ. මේවනවිට තම මවගේ දෙතනෙන් කිරි උරා බොන එම දරුවා අනාගතයේ දී කරන කියන දේවල් අපට හීනෙකින්වත් සිතාගැනීමට නොහැකි වනු ඇත. එය AI තාක්ෂණ යුගයේ දරුවා ය. ඔබ මොහොතකට ඒ පිළිබදව සිතුවා ද ?

2025 වර්ෂයෙන් ආරම්භ වූ AI යුගය වර්තමානය වනවිට ලෝකය මෙතෙත් ආ ගමන්මග සුනුවිසුණු කරමින් අපගේ දෛනික ජීවිතය හා එහි ඉදිරි පැවැත්ම විහිළුවකට හා අභියෝගයට ලක් කරමින් ඉදිරියට ගමන් කරන්නේ ය. එහිලා නිමවන AI තාක්ෂණික දේවල් අපව විශ්මයජනක කරනු ඇත. මේ වනවිට ලොව යුරෝපයේ බහුතර රටවල් ඇතුළුව ඕස්ට්‍රේලියාවේ ද AI තාක්ෂණය නිසා මිනිසුන්ගේ රැකී රක්ෂා දහස් ගණනින් අහිමි වෙමින් පවතන අතර අනාගතයේ දී ලොවෙන් හරි අඩකට පමණ කිරීමට රැකියාව නොමැති වනු ඇත. ඒ තරමටම AI තාක්ෂණයේ දියුණුව හා සංකීරණත්වය විසින් මානව සංහතියට දැවැන්ත අභියෝගයක් කරනු ඇත.
AI තාක්ෂණය ගෝලීය කලාව අරබයා කරන අභියෝගය සුළුපටු නොවේ. එය විටෙක චිත්‍ර කලාවට ද තවත් විටෙක සාහිත්‍ය කලාව හා එහි ලේඛන කලාවට ද එසේම සිනමාව ද කරන අභියෝගය කෙබඳුද යන්න මෙහිලා සදහන් කිරීමට මට AI තාක්ෂණය පිළිබඳව අඹමල් රේණුවක තරම්වත් දැනුමක් නොමැත. එනමුත් එය දැවැන්ත අභියෝගය බව දන්නේ යටකී කලා ක්ෂේත්‍ර පිළිබඳව යමක් – කමක් දන්නා බැවිනි.

AI තාක්ෂණයට ලොව අග්‍රගන්‍ය ( සම්භාව්‍ය ) සිතුවමක් සජීවිකරණය කොට එහි ඵෙතිහාසික හා කලාත්මක වටිනාකම බිංදුවට දැමිය හැකිය. ඊට මවිසින් විවින් විට ගෙනහැර ( උපුටා ) දක්වන ජාත්‍යන්තර AI විඩියෝ කදිම උදාහරණ වන්නේ ය. මා ඕනෑම දෙයක් ගෙහැර දක්වන්නේ විනෝදයට නොව එය සහෘද ඔබට අතිශයින්ම වටිනා බැවිනි. එහි වටිනාකම ඔබට ඒ මොහොතේ නොවැටුණිද , කිනම් හෝ මොහොතක වැටහෙනු ඇත.
අපි සාහිත්‍ය කලාව හා ලේඛණකරණය සමගින් AI තාක්ෂණය ගෙන බලමු. සාමාන්‍යයෙන් නවකතාවක් – කෙටිකතාවක් – කවියක් රචනා කිරීම යනු අතිශයින්ම වෙහෙසකර කර්තව්‍යයක් බව ඔබට මා අමුතුවෙන් මතක්කර දීමට අවශ්‍ය නැත. AI තාක්ෂණය යටතේ ඔබට නවකතාවක් – කෙටිකතාවක් – කවියක් රචනා කිරීම අවශ්‍ය නම් ඔබට එහි කතාව හා කතා වින්‍යාසය ( Story & Plot ) හා දෘෂ්ටිකෝණය ( Point of View )
පරිගණකයට සන්නිවේදන කිරීම පමණක් ප්‍රමාණවත් ය. ඔබට විනාඩි කීපයකින් පරිපූර්ණ නවකතාව , කෙටිකතාවක් හෝ කවියක් රචනා කර දෙනු ඇත. සෙසු සාහිත්‍ය ප්‍රාකාරයන් පිළිබඳව ද කිවහැක්කේ එයම පමණි.

ගෝලීය සිනමාව ඊළඟට මුහුණදෙන දැවැන්තම අර්බුදය නම් සිනමාකරණය හා AI තාක්ෂණය කෙබඳුද යන්නයි. AI තාක්ෂණයට තිර – රචකයාගේ සිට සංස්කරණ-ශිල්පියා දක්වා තුට්ටුවකට අදාල නැත. පළමුව තිර-රචකයා තම අදහස පරිගණකය වෙත සන්නිවේදනය කළ යුතුය. අනතුරුව විනාඩි කීපයකින් දර්ශන එකිනෙකට වෙන්ව ඒ ඒ චරිතය අරබයා දෙබස් සහිතව අංශ සම්පූර්ණ තිර-රචනය ඔහු අතට පත්වනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කල්හි AI තාක්ෂණය යටතේ අංශ සම්පූර්ණ කලාත්මක හෝ වාණිජමය චිත්‍රපටයක් නිර්මාණය කරගැනීම හැකිය. එහිලා සැබෑ නළු නිළියන්ට තුට්ටුවකට ආදාල නැත. මෙන්න .. මෙම කාරණාව නිසයි පසුගිය වසරේ හොලිවුඩ් නළු-නිළියන් Cinema & AI Technology යන කාරණාව නිසා විරෝධතාවයක් දක්වන ලද්දේ !! . එනමුත් එම විරෝධතාවයන් මෙම AI තාක්ෂණය යටතේ කාන්තාරයක හිඳ හූ කියන්නාක් මෙන් නිෂ්ඵල දෙයක් වනු ඇත.

වර්තමාන වනවිට අපි අධ්‍යාපන මොඩියුලර් පිළිබඳව කතාබහ හෝ වාද විවාද කරගන්නා විට ගෝලීය අධ්‍යාපනය AI අධ්‍යාපනය ( AI Education ) වෙත මුලුමනින්ම පරිවර්තනය වෙමින් පවතී. ඊළග පරපුරේ අධ්‍යාපනය වනුයේ “ශිෂ්‍යයා + පරිගණකය” පමණි. එහිලා විද්‍යාල පංති-කාමර – ගුරුවරුන් – විභාග – එහි ප්‍රතිඵල කියා කිසිවක් නොමැත. එසේම මෙරට මනෝමූල අධ්‍යාපනයේ බඩපිනුම් ගසන ටියුෂන් කඩකාරයන්ට ( ටියුෂන් වසංගතයට ) යන-එන මං නැතිවෙනු ඇත.

ගුරුවරයකු විසින් දරුවකුට නිවසේ පැවරුමක් ( Homework ) වෙනුවෙන් කවර හෝ මාතෘකාවක් යටතේ වචන පන්සියයකින් පමණ සමන්විත රචනයක් ලියන්න එන්න යැයි කිවහොත් දරුවාට අවශ්‍ය වනුයේ ගෙදර විත් තම රචනයේ මාතෘකාව හා වචන සංඛ්‍යාව පරිගණකයට සන්නිවේදන කිරීම පමණි. විනාඩී කීපයකින් දරුවාට එම මාතෘකාවට යටතේ වචන පන්සියයකින් සමන්විත රචනාවක් පරිගණකය විසින් සපයා දෙනු ඇත.

එසේම වර්තමානය ලෝකය තුළ AI ආර්ථිකයක් ( AI Economy ) පිළිබඳව කතාබහ කරනු ඇත. මා ඒ පිළිබඳව කතාබහ කිරීමට නොදන්නා අතර එම කාරණාව පිළිබඳව ප්‍රාමාණිකයන් විසින් රචිත ලිපි කීපයක්ම පසුගිය කාලයේ Economist හා F & D ( Financial & Development / IMF Monthly Magazine ) පළවිය. AI ආර්ථිකය ලොව ක්‍රියාත්මක වෙත්ද ආර්ථික විශ්ලේෂකයන් තුට්ටුවකට අදාල නොවනු ඇත. මෙරට මගේ පෞද්ගලික පිළිගැනීමට අනුව ආර්ථික විශේෂඥයන් නොමැති නිසා ඒ පිළිබදව වද-වීමට අවශ්‍ය නැත.

AI තාක්ෂණය විසින් අනාගතයේ දී සොබාවිකත්වය අනුකම්පා විරහිතව විනාශ කර දමනු ඇත. සොබාවිකත්වය වීනාශ කිරීමට යනු මිනිසා ඇතුළුව සතා-සිව්පාවන්ගේ ද ගහ – කොළ ඇතුළුව සොබාවික පරිසරයේ ද විනාශය වන්නේ ය.

ගෞතම බුදුන් වහන්සේ විසින් “මධ්‍ය ප්‍රථිපදාව” ( A Middle Perth ) දෙසා වදාරන ලද්දේ මීට වසර දෙදහස්හයසියයකට පමණ පෙරය . ඕනෑම දෙයක අන්තය විනාශය වන්නේ ය. එහෙයින් මිනිසා විසින් නිර්මාණය කරන නවීන විද්‍යාව හා තාක්ෂණයේ අවසන මිනිසාගේම විනාශය වන්නේ ය. එය නතර කිරීමට හැකි ජගතෙකු ලොව වෙත්ද ?

Human Edge in the AI Age – 2026 හුදෙක්ම විශ්ලේශනවාදී අතිශයින්ම වැදගත් පොතකි. එය අනාගතවාදී පර්යේෂණ පොතකැයි කියා කීම වඩාත්ම යෝග්‍ය යැයි මට සිතේ .

Human Edge in the AI Age පොත ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදේ. එනම් ඒ Section 01 / AI Redefining Every Aspect of Life and Business – Section 02 / Eight Timeless Mantes For Success in the AI Age යනුවෙනි. මෙහි උප – ප්‍රධාන පරිච්ඡේද ( Mantra ) අටකින් සමන්විත වන අතර එම උප පරිච්ඡේද යටතේ මාතෘකා තිස්පහකින් AI තාක්ෂණයේ විවිධ පැතිකඩ අරබයා සාකච්ඡා කරයි.

Human Edge in the AI Age වන් අතිශයින්ම වැදගත් පොතක් රුපියල් 3800 /= වන මුදලක් දී මිලදීගැනීම කිසිවිටෙක මුදල් නාස්තියක් හෝ අපතේ යෑමක් නොවේ. මෙහි මහනුවර සරසවි පොත් මැදුරට ගෙනා පොත් දෙකම උණු කැවුම් මෙන් විකිණි ගියේ ය. තව පොත් දෙකක් පමණක් KCC සරසවි පොත් මැදුරේ ඇතැයි කියා මට අද එහි ප්‍රධාන කළමණාකරු ජගත් සමරසිංහ මහතා දන්වා සිටියේ ය. එලොවටත් නැති මෙලොවටත් නැති කසිකබල් නූතන සිංහල නවකතා රු 1500 – 2500 වන මුදලකට පෝලිම්වල හිඳ පොරකමින් මිලදීගන්නා සමාජයක මෙවන් ජාත්‍යන්තර විශිෂ්ට පොතක් රු 3800 /= වන මුදලකට මිලදී ගැනීම අනාගත බුද්ධිමය ආයෝජනයක් බව හොදින් මතක තබාගන්න.

ඉන්දියානු ( බෙංගාලි ) ජාතික නිතින් සිත් ( Nitin Seth : 1971 ) වර්තමාන ඉන්දියාවේ සිටින Modern Digital Age හා AI Technology යනාදී විෂයයන් පිළිබඳව ඉහළම ප්‍රාමාණිකයකු වන අතර ජාත්‍යන්තරය විසින් පිළිගත් විද්වතෙකි. ඔහු විසින් යටකී විෂයයන් පිළිබඳව ශාස්ත්‍රීය පොත්පත් කීපයක්ම රචනා කර ඇත්තේ ය. ඒවා අතර Winning in the Digital Age – 2021 / Mastering the Deta Paradix – 2024 යනාදී පොත්පත් ජාත්‍යන්තර තුළ ඉතා සම්භාවනාවට හා විමර්ශනයප පාත්‍ර වේ. මොහුගේ නවතම පර්යේෂණ පොත වනුයේ Human Edge in the AI Age ය. මෙම පොත මේ වනවිට ලොව පිටපත් මිලීයන ගණනින් අලෙවි වන බවත් මෙහි පරිවර්තන ඉතාලි – ප්‍රංශ – ස්පාඤ්ඤය – වීන – ජපන් හා හින්දි යනුදී භාෂාවන්ට පරිවර්තනය වී ඇතැයි කියැවේ .

මොහු ඉන්දියාවේ මහා ව්‍යාපාර සමූහයක හා ජාත්‍යන්තර ව්‍යාපාරය කීපයක්ම විධායක Digital Business උපදේශකවරයකු ලෙස ක්‍රියා කරයි.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

පුටින්ගේ රුසියානු – යුක්රේණ යුද්ධය, නෙතන්යාහුගේ ඉරාණ-ඊශ්‍රායල යුද්ධය!ජාත්‍යන්තර නීතිය කඩ කර ඇත්තේ කවු ද?

ඊශ්‍රායල-ඇමරිකා සහ ඉරාණය අතර යුද්ධය ලෝකයේම නව දේශපාලනික කතිකාවතක් නිර්මාණය කෙරෙමින් පවතී. එක් අතකින් නූතන ගෝලීය ලෝකයේ අපගේ...

අධිරාජ්‍යවාදයේ දඩ බල්ලෝ…

ස්ත්‍රීන් සහ දරුවන් මරාදමමින්, පාසල් සහ රෝහල් වලට බෝම්බ දමමින්, ජනාකීර්ණ නගර සමතලා කරමින්, බෝම්බවලට ගොදුරුවූවන් සමඟ සෙල්ලම්...

අපර්ණා තම පරිණතභාවය පෙන්නුම් කළ චිත්‍රපටයක් Yugant (1995)

Yugant (1995)අපර්ණා සෙන් යනු තම නිර්මාණ දිවිය තුල විවිද වූ අත්හදා බැලීම් සිදු කළ අධ්‍යක්ෂකවරියක්. ඇයගේ බහුතරයක් චිත්‍රපට...

ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන කතා කල හැකි, කතා කල යුතු මාතෘකා බොහොමයි

මේ දවස්වල අනෙක් වැඩ අතෑරලා ආචාර්ය කුමාරි ජයවර්ධන ගැන හදාරනවා. ඒ අපේ සංවිධානය, කොළඹ විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය,...