‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

Share post:

පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට එනබව කියමිනි. කේරළයේ කාර්යාල විවෘතව පවත්නා වේලාව පෙරවරු දහයේ සිට පස්වරු පහ දක්වා බව ඔහු මට කීවේය. පොත් ප්‍රදර්ශණය ආරම්භ වනුයේද පෙරවරු දහයටය. මම අභිලාෂ් එන්නට පෙර එනම් පෙවරු නමයට ප්‍රදර්ශණ භූමිය වන කේරළ ව්‍යවස්ථාදායක සභා පරිශ්‍රයට ඇතුළු වීමි. මා හඳුනාගත් ආරක්ෂක භටයෝ සිනහ මුවින් මා ඇතුලට ගත්තෝය. ඒ වන විටද සෙනග එහි පැමිණෙමින් සිටිනු දක්නට ලැබිණි. මම මගේ ජංගමය ගෙන ගාන්ධිගේ පිළිරුව කාචයට කොටු කර ගන්නට වෙර දැරීමි.
එවේලේ එහි සිටි යුවතියක දුටුවෙන් ගාන්ධි පසුබිමේ තබා මගේ ඡායාරූපයක් ගන්නා මෙන් ඇගෙන් ඉල්ලා සිටියෙමි. ඇය ම දෙස මදක් සැලකිල්ලෙන් බැලුවාය.
‘Are you Chulananda?’
‘Yes.’

මගේ පිළිතුර ඇසූ සැණින් ඇය මගේ ඡායාරූපය ගෙන දී ඒ අසල සිටි අයෙක් කරා දිව ගියාය. ඉන්පසු දෙදෙනාම මා කරා ආවෝය.
‘අපි කේරළ විෂන් ටී වී එකෙන්. අපිට සම්මුඛ සාකච්ඡාවක් දෙන්න පුළුවන්ද?’
මම ඊට මගේ විරුද්ධත්වයක් නැති බව කීමි. ඇගේ මිතුරා වහා තමන් පැමිණි වාහනය කැඳවීය. ‘අපි ටිකක් එළියට යමු.’
අනතුරුව අප ගියේ කොන්නිමරා පොදු වෙළඳ පල කරාය. ඒ වන විට එහි වූ කඩ දෙක තුන විවෘත වෙමින් පැවතියා පමණි. එකක කරවල ලෑල්ලකි. එහි අප රටේ ඇති සියළුම කරවල අලෙවියට තිබිණි. වෙළඳපල පැවතියේ කඩා බිඳ යළි ගොඩ නගමිනි.

සංවර්ධනය එනකොට පරණ දේවල් ඉවත් වෙනවා. තරමක මුසුප්පු ස්වරයෙන් තරුණිය කියන්නීය. මට ඇගේ නම කියන්නට අමතක විණි. ඇය සූර්යා භාරතී ය. ඇගේ සගයා ශාන් ය. පොදු වෙළඳ පලෙන් ඇරඹි අපේ රූගත කිරීම අවසන් වූවේ පොත් ප්‍රදර්ශනයෙනි. ඔවුන්ට අප ගැන දැනගන්නට බොහෝ දේ තිබිණි. මම අපේ ප්‍රකාශන කර්මාන්තය, දිට්වා ව්‍යසනය, ආර්ථික අර්බුදය මෙන්ම දේශපාලන ප්‍රවණතා ගැනද ඔවුන් සමග කතා කළෙමි. ‘අපි මේක කරන්නෙ මලයාලම් භාෂාවෙන්. ඒත් අපි කෙටි වීඩියෝ ක්ලිප් එකක් එවන්නම්.’ ශාන් ලෙන්ගතු ස්වරයෙන් මට කීවේ අප සමුගන්නා විටය.
‘අපි හෙට ඔබේ සාකච්ඡාව අහන්න එනවා.’
සූර්යා කීවාය.
අපේ රූ ගත කිරීම් වලදී අපි තිරුවේන්ද්‍රම් හී පරණ පොත් අලෙවි කරනා පොත් වීදියටද ගියෙමු. ඒ දුටු මට සිහි වූවේ ගාමිණි හෝල් එක අසල පොත් කඩ පෙලයි. වෙළෙන්දෝ අපට ඉඩ දී පසෙකට වූවෝය. මම පසු අවස්ථාවක අභිලාෂ් සමග යළි එහි ගියෙමි.

‘පරෙස්සමින්, මේ අය පොත් වල මිල මකනවා. ඊට පස්සෙ එක දහය කරලා මිල කියනවා. පොත් ගන්නවා නම් හොඳටම හෙට්ටු කරන්න ඕනැ.’
අභිලාෂ් මගේ යහපත තකා උපදෙස් දෙයි. ඒ සැබෑවකි. ඔවුන් කියනා මිලට වඩා අඩුවෙන් ප්‍රදර්ශනයේ අලුත් පිටපත ගත හැකිය. පරණ පොත් කඩ වීදියේ මෙන්ම ප්‍රදර්ශණ භූමියේද කැපී පෙනෙන පොත් අතර ඉදිරියෙන්ම ඇති පොතක් වූවේ අරුන්දතී රෝයිගේ මදර් මේරි ය. මට ඉන් ඇගේ අත්සන සහිත පිටපතක් ගන්නට ලැබිණි.

කේරළයේ මාවත්හී දක්නට ලැබෙනා එක් විශේෂයක් වනුයේ විදුලි බස් රියයි. ඒ කේරළ ප්‍රවාහන සංවර්ධන සංස්ථාවේ ඉදිරි ගමනේ එක් පියවරකි. එහි රජයේ සහ පුද්ගලික බස් ධාවනය වේ. රජය විදුලි බස් රිය හඳුන්වා දෙමින් ඉදිරි පියවරක් තබයි. ඒ අතින් කේරළයට වඩා අප බොහෝ ඉදිරියෙනි. අප තවමත් ටිකට් පතක් දෙන මට්ටමට අපේ පුද්ගලික බස් කොන්දොස්තර මෙල්ල කරගෙන නැත. එහෙත් අපේ සිහිනය මල්ටි මොඩල් සෙන්ටර් ය. කේරළ බස් හොල්ට් වල බස් හිටවාගෙන ඉන්නා රියදුරන් මා දුටුවේ නැත. ඔවුන්ගේ බස් වල අපේ මෙන් සුදු යකඩ අට්ටාල නැත. ස්ටිකර් ඇත්තේද නැත. පෙනුම පරණය. එහෙත් සේවය අපට වඩා ඉදිරියෙන් බව කිව යුතුය.

කේරළ විෂන් හී මිෂන් එක හමාර වූ පසුව මම පොත් කඩ අතර සැරිය ඇරඹීමි. එක් වරම තරමක කලබලයකි. ආරක්ෂක භටයන් සමග වේගයෙන් එන කතකි. ඇය සමග පිරිවරකි. මම පසෙකට වීමි. මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි. එහෙත් ඇය සමග කතා කිරීම අසීරුය. වාසනාවට මෙන් එක් ආරක්ෂක භටයෙක් මා හඳුනාගත්තේ මා හා සිනහ වූවේය. මම ඔහුගෙන් ඉඩ ඉල්ලා ගෙන තස්ලිමා අසලට පැනගතිමි. ඇය සමග වදන් කිහිපයක් කතා කර ඇගේ විද්‍යුත් ලිපිනය ඉල්ලා ගතිමි. ලජ්ජා කෘතියේ ඇගේ අත්සන සහිත පිපතක් ගතිමි. ඇය සමග ඡායාරූපයක් ගත් පසුව ඇයම එය පිරික්සා බැලුවාය. මා ඇගේ ඡායාරූප කිහිපයක් ගත් අතර ඒවාගේ ඇගේ ඇස් පියවී තිබෙනු දැක ඇය මදක් විස්සෝප වූවාය. මා මේ දිනවල ඇගේ Split කෘතිය කියවන බව කීමි. ඒ ඇසූ ඇගේ මුහුණ ආලෝකමත් විණි. තම රටින් නෙරපා හරිනු ලැබ මේ වන විට ඉන්දියාවේ ජීවත් වන්නට අවසර ලැබ සිටින ඇය ගෙවන අන්තරායදායක දිවිය මැද තමන්ගේ නිර්මාණ අතරින් මලයාලම් බසට පෙරලන ලද කෘති දකින්නට ඇය පැමිණීම ම අසිරියකි.

අභිලාෂ් මා ව්‍යවස්ථාදායක සභාවේ පුස්තකාලයටද කැටුව ගියේය. ඔහු වහා මගේ අවශ්‍යතා තේරුම් ගනියි. ඉන්පසුව කෙසේ හෝ ඒ සියල්ල කර දෙයි. මා හඳුන්වා දුන් පසුව පුස්තකාලාධිපතිනියම පැමිණ මට ඒ විසල් පුස්තකාලය පෙන්වා දුන්නාය. එහිද ඇති කෘති එකතුව විශාලය. දේශපාලනය, ආර්ථික විද්‍යාව, දර්ශණය මෙන්ම සාහිත්‍යයද එහි පිරී තිබේ. එය සභිකයන්ට මෙන්ම කාර්ය මණ්ඩලයටද විවෘතය. මම පොත් පෙරලා බැලීමි. කියවූ බවට මුද්‍රා එහි ඇත. අපේ පාර්ලිමේන්තුවේ මා දුටු හොඳම කියවන්නන් කිහිප දෙනා අතර වූ අනුර බණ්ඩාරනායක මට සිහි විණි. එකිනෙකා නොහඳුනන්නන් වුවද දෙදහස් එක පහ අතර කාලයේ අප දෙදෙනාම තුන් මුල්ලේ එකල පැවති වීඩියෝ හලක සාමාජිකයෝ වීමු. ඔහු නොයෙක් වර මා සිටිනා විටම එහි පැමිණෙයි. ඔහු සමග එන කිහිප දෙනෙක් පිටුපසින් යති. ඔහු වහ වහා වීඩියෝ පට තෝරා ඒ අය අතට දෙයි. අවසන වීඩියෝ පට කන්දක් රැගෙන පිටව යයි. ඔහු අසාර්ථක දේශපාලකයෙක් වුවද හොඳ රසිකයෙකි. වඩිගමංගාවට සෝබාද ග්‍රීක් පරිවර්තනය කරන්නට පෙළඹුම ඇති කළේ ඔහු යයි මම අසා ඇත්තෙමි. වඩිගමංගාව එය එලි දැක්වූ දවසේ මම ඔහුගේ අත්සන සහිතව පිටපතක් ගතිමි. දේශපාලනය වෙනුවට සාහිත්‍ය තෝරා ගන්නට යැයි පඬි ටෝකක්ද දුනිමි. ඔහුද පෙරලා කීවේ හොඳ කෘති කිහිපයක් හෝ බපරිවර්තනය කරන්නට සිතා ඉන්නා බවකි. එහෙත් මරුවා ඔහුට ඒ සඳහා ඉඩ දුන්නේ නැති.

සන්ධ්‍යාව එළඹෙන විට තෙය්යම් බිම සෙනගින් පිරී යයි. අද තෙවන රාත්‍රියයි. මා එය නරඹන දෙවන රාත්‍රියයි. අදද පුෂ්පා එහි සිටින්නීය. මම ඉදිරි පෙලම අසුනකට බර වෙමි. අද පුෂ්පාට නිදහසේ කතා කරන්නට ඉඩ ලැබිණි. අද දවසේ නිරූපණය පඩවීරන් නම් වීර චරිතයකි. ඇය මෙහි ඉතිහාසය සැකෙවින් විස්තර කරයි. කෙමෙන් කෙමෙන් විදුලි ආලෝකය නිවී යයි. පොල් අතු හුළු එළි සහ පන්දම් සමගින් පඩවීරන් සබයට එයි. පඩවීරන් යනු රණශූරයෙකි. අප රටේ නම් පඩ වීරයා යනු ඊට මුළුමනින්ම පටහැනි අරුතක් සදන්නෙකි. හුළු අතු එළියෙන් ආලෝකමත්වන තෙයියම් බිමේ සිට මම මගේ ළමා වියේ හුළු අතු දල්වාගෙන ගමේ තොවිල් බලන්නට තාත්තා සමග ගිය අවස්ථා සිහි කරමි. එද විචිත්‍ර අත්දැකීමකි. යකුන් පන්නන කට්ටාඩියාගේ වික්‍රම බලා සිට අවසන නිවෙස්හී මුදුන් වහල මත පතබෑවී පුහුල කපා සොහොනේ දපන අවස්ථාවද නරඹා ගෙදර එන විට තාත්තා මට මෙසේ කියයි.
හොල්මන් කියන්නෙ චංචල මනස.

චූලානන්ද සමරනායක

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...

මේ හෙමින් යන ගමනක්… පියවරෙන් පියවර යන දිගු ගමනක්

ඇමරිකා එක්සත් ජනපද විශ්ව විද්‍යාල හෙවත් කොලීජි අතර පැවැත්වෙන ගෘහස්ත මලල ක්‍රීඩා තරඟාවලි මේ දිනවල ඇරඹෙනවා.ආර්කන්සාස්.. ජෝර්ජියා.. කෙන්ටකි.....