අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා මහාධිකරණ විනිසුරුවරයකු ඇතුළු මගීන් 68 දෙනකු රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනකු මරණයට පත් කර, තවත් මගීන් 66 දෙනකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරාට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනුකර තිබේ.
මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් පෞද්ගලික බස් රථය, පොලිස් නිලධාරීන්ගේ අවවාද සහ මහ ජනතාවගේ ඉල්ලීම් නොතකමින් ධාවනය කර බස් රථය සැඩ පහරට ගසාගෙන යාමට සලස්වා මගීන් පිරිස අනතුරක හෙළීමට අදාළ චෝදනා මත ඔහු ජනවාරි 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොච්චියාගම මහේස්ත්‍රාත් පී.ආර්.අයි ජමීල් නියෝග කළේය.
රාජාංගනය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ, බස් රථයේ රියදුරා වූ සාලියවැව, ඉහළ පුලියන්කුලම, බලගොල්ලාගම පදිංචිකරුවෙකි.
296 සහ 300
මෙම සැකකාර පෞද්ගලික බස් රථ රියැදුරාට දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා ගොනු කර තිබීම විශේෂත්වයකි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට පැවසුවේ මිනීමැරුම් සහ මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා යටතේ සැකකාර රියැදුරාට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය
‘මිනීමැරුම සිදු කරන තැනැත්තකුට මරණීය දඬුවමින් දඬුවම් කළ යුතුය.‘
දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය
‘යම් අදහසකින් හෝ දැනුමකින් හා යම් අවස්ථා යටතේ යම් ක්‍රියාවකින් මරණය සිදු කරන ලද නම් යම් තැනැත්තකු මිනීමැරුමට වරදකාරයකු වෙතොත්, එබඳු ක්‍රියාවක් කරන තැනැත්තකුට අවුරුදු දහය දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට ද යටත් විය යුතුය. එබඳු ක්‍රියාවකින් යම් තැනැත්තකුට තුවාල වී නම්, වරදකරුට අවුරුදු විස්ස දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට ද යටත් කළ යුතුය.‘
චේතනාවක් නෑ
මේ අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දීර්ඝව කරුණු දක්වමින් අධිකරණයට පවසා තිබුණේ මෙම අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන්ගේ ජීවිතවලට හානි කිරීමේ හෝ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමේ චේතනාවක් සැකකරුට නොතිබූ බවයි.
එම නිසා සැකකරුට එරෙහිව මිනීමැරුම් සහ මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා එල්ල කිරීම යුක්තිසහගත සහ සාධාරණ නොවන බව ප්‍රකාශ කළ නීතිඥයන්, සැකකරුට එරෙහිව එල්ල කර ඇති මිනීමැරීම් සහ මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා ඉවත් කර සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා තිබිණි.
අධිකරණයේ තීන්දුව
දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් නොච්චියාගම මහෙස්ත්‍රාත්වරයා, සැකකරුට එරෙහිව රාජාංගනය පොලිසිය විසින් එල්ල කර ඇති මිනීමැරුම් චෝදනා සහ මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර තිබිණි.
යාංගල්මෝදර අනතුර
පොල්ගහවෙල, යාංගල්මෝදර දුම්රිය අනතුර සිදු වූයේ 2005 අප්‍රේල් 27 වැනිදා ය. CA 91/2013 දරන අභියාචනාධිකරණ නඩු තීන්දුව දෙනු ලැබුවේ මේ අනතුර සම්බන්ධයෙනි.
යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී, රතු එළි දැල්වෙමින්, ගේට්ටු වසා තිබියදී, මගීන් ධාරිතාවටත් වඩා පටවාගත් බස් රථයක් දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම නිසා සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මගීන් 41 දෙනකු මියගියේය. මෙම සිදුවීමට අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර කුරුණෑගල මහාධිකරණය මගින් මිනීමැරුම් චෝදනාව ඇතුළු චෝදනා 33කට වරදකරුවන් කොට මරණීය දණ්ඩනය නියම කරන ලදි.
ඔවුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ගියේ, තමන්ට මගීන් මැරීමේ චේතනාවක් නොතිබූ බව පවසමිනි. ඔවුන්ගේ නීතිඥවරයා පහත කරුණු ඉදිරිපත් කර තිබිණි.
චේතනාවක් නෑ
රේල් ගේට්ටුව අසල වෙනත් වාහන පිටුපස බසය නවත්වා තිබිණි.
දුම්රිය මාර්ගයේ ‘S’ හැඩයේ වංගුවක් නිසා දුම්රිය එකවර නොපෙනිණි.
කොන්දොස්තරවරයා බසයෙන් බැස පරීක්ෂා කර රියදුරුට සංඥා කරන ලදි.
බසය රේල් පීලි මතින් ගමන් කරද්දී හදිසියේ දුම්රිය පැමිණ ගැටී ඇත.
රියදුරු සහ කොන්දොස්තර ද මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූහ.
ඔවුන් දුම්රිය පැමිණෙන්නේ යැයි දුටු බවට සෘජු සාක්ෂි නැත.
ඔවුන්ගේ තර්කය වූයේ මෙය මිනීමැරුමක් නොව, දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ ගැනෙන අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ක්‍රියාවක් බවයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය
‘සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් නොවන අපරික්ෂාකාරී හෝ නොසැලකිලිමත් ක්‍රියාවක් කිරීමෙන් යමකුගේ මරණය සිදුකරන තැනැත්තකුට අවුරුදු පහ දක්වා කාලයක, දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතුය.‘
මෙහිදී පැමිණිල්ල සහ අභියාචනාධිකරණය අවධානය යොමු කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තියේ සුවිශේෂී සිව්වැනි පාදය වෙත ය.
එහි මෙසේ සඳහන් වේ.
‘අන්තරාය කොපමණ ආසන්නද කිවහොත් සෑම අතින් ම මරණය සිදුවිය හැකි බව හෝ මරණය සිදුවිය හැකි ශාරීරික පාඩුව විය හැකි බව ක්‍රියාව කරන්නා දැනගෙන සිටිමින් ම මරණය සිදු කිරීමේ හෝ ඉහත කී ලෙස පාඩුවක් සිදු කිරීමේ අවදානමට මුහුණ පෑමට සමාව දිය හැකි හේතුවක් නොමැතිවම, එකී ක්‍රියාව කිරීම.‘
එහි සරල අදහස මෙසේ ය.
ඔබට යමකු මැරීමේ චේතනාවක් අවශ්‍ය නැත. නමුත් ඔබ කරන ක්‍රියාව කොතරම් භයානකද යත්, එයින් මරණයක් සිදුවීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් ඇති බවට ඔබට දැනුමක් තිබේ නම් සහ එය කිරීමට ඔබට කිසිදු සාධාරණ හේතුවක් (නිදහසට කරුණක්) නොමැති නම්, එය මිනීමැරුමක් ලෙස සැලකේ.
(සෝමපාල එදිරිව ද රැජින) නඩුවේදී අධිකරණය පැහැදිලි කර ඇත්තේ ‘දැනුම යනු හුදෙක් මරණය විය හැකි බව නොව, එය ඇති වීමේ ඉහළ සම්භාවිතාව පිළිබඳ දැනුමයි‘ යනුවෙනි.
අම්බුළුවාවේත් චේතනාවක් නෑ ?
අම්බුළුවාව කන්දේ නීතිවිරෝධී, අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් සිදු වූ නායයෑම් හේතුවෙන් නිශ්චිතව එක් මරණයක් මේ වන විට සිදු වී තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එහි කොටසක් අවදානම් කලාපයක් ලෙස හඳුන්වා, එම ප්‍රදේශයෙන් පදිංචිකරුවන් ඉවත් කිරීමට නිර්දේශ කර ඇත.
දැනට එපමණකි.

