බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇපගන්න නීතිපති සූදානමින් : පොලිසිය විරුද්ධ වෙයි – උසාවියේ සිදු වූ සම්පූර්ණ සිදුවීම මෙන්න !

Share post:

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින්, ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් පවරා ඇති නඩුවක් අද දින (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ දී නැවත කැඳවනු ලැබුුුවා.

එහි දී රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු 09 දෙනෙකු සැකකරුවන් ලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා

අද දින කැඳවූ මෙම නඩුව සඳහා ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ වරාය පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥවරයෙකු ද, සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පස් දෙනෙකු ද පෙනී සිටියා.

ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් සම්සුදීන් මහතා ඉදිරියේ විභාග වූ මෙම නඩුවේ ස්වභාවය සලකා අධිකරණ සංකීර්ණය අවට පිවිසුම් මාර්ග සියල්ලෙහිම පොලිස් නිලධාරීන් 100 ක පමණ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා.

කෙසේ නමුත්, මෙම නඩුකරය සඳහා ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් ද අධිකරණයට වැඩම කරනු ලැබ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කරනු ලැබුවේ.

මෙම නඩුවාරයේ දී විශේෂ කරුණක් ලෙස අභියාචනා අධිකරණයේ මෙම සිද්ධියට අදාළව ගොනු කර ඇති රිට් පෙත්සමක් (Writ petition) සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ විත්ති පාර්ශවය අතර යම් එකඟතාවයක් ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් අධිකරණය වෙත දන්වා සිටියා.

ඒ අනුව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, සැකකරුවන්ට එදිරිව වෙරළ සංරක්ෂණ පනත යටතේ ගොනු කර ඇති පළමු චෝදනාව ඉවත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, එය නීතිපතිවරයාගේ තීරණයක් වන බවත් ය.

කෙසේ නමුත් මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දෙනු ලැබුවේ, වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇප ලබා දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවත්, විශේෂ කරුණු සලකා බලමින් ඇප ලබා දීමේ හැකියාව මහාඅධිකරණය සතු බලයක් වන බවත්, අදාළ චෝදනාව ඉවත් කර ගන්නේ නම් පමණක් තමාට සැකකරුවන් වෙත ඇප ලබා දීම පිළිබඳව සලකා බැලිය හැකි බවත් ය.

මෙහි දී රජයේ නීතිඥවරයා චෝදනාව ඉවත් කර ගැනීමට යෝජනා කළ නමුත්, ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කරුණු දක්වමින් ඊට විරෝධය පළ කළ අතර, ඒ හරහා පොලිසිය සහ රජයේ නීතිඥවරයා අතර පරස්පර ගැටලුවක් මතු වූ ආකාරයයි දක්නට හැකි වූයේ.

එහි දී මහේස්ත්‍රාත්වරයා පැහැදිලි කළේ, නීතිපති නියෝජනය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා වන බවත්, මෙම නඩුව සඳහා පැමිණිල්ල ගොනු කර ඇත්තේ පොලිසිය බැවින්, පොලිසිය හරහා වාර්තාවක් ඉදිරිපත් විය යුතු බව හා මෙම චෝදනාව ඉවත් කර ගැනීම හෝ මෙම චෝදනාව සඳහා වරද පිළිගැනීම හැර තමාට ඇප ලබා දීම සම්බන්ධයෙන් කිසිඳු සැලකිල්ලක් දැක්විය නොහැකි බවයි.

කෙසේ වෙතත් , මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් වූ අතර, රජය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා, අධිකරණය වෙ. නීතිපතිවරයා සතු බලතල පිළිබඳව පෙන්වා දෙමින් ඕනෑම අවස්ථාවක ඕනෑම නඩුවක් පවරා තමන් යටතේ පවත්වාගෙන යෑමට නීතිපතිවරයාට හැකි බව හුවා දක්වමින් මෙම නඩුව ද පවරාගෙන, එහි වෙරළ සංරක්ෂණ පනත යටතේ ගොනු කර ඇති පළමුවන චෝදනාවෙන් මෙම සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට එකඟතාවක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ක්‍රියා කරන බවත් දක්වා සිටියා.

ඒ අනුව මහේස්තාත්වරයා පොලිසියට උපදෙස් ලබා දුන්නේ, වෙරළ සංරක්ෂණ පනත යටතේ ඇති චෝදනාව ඉවත් කර ගන්නේ නම්, ඒ සම්බන්ධයෙන්ද අධිකරණයේ සිදු වූ සියල්ල ඇතුළත් කර වාර්තාවක් සකසන ලෙසත්, අද දින අධිකරණයේ සිටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසත්, එම සියලු කරුණු ඇතුළත් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ය.

කෙසේ නමුත්, මෙම පරස්පරතාව විසඳා ගැනීම සඳහා පොලිසියට අවස්ථාවක් ලබා දෙමින් නඩුව තාවකාලිකව කල් තැබුණු අතර, පොලිසියේ ලිඛිත වාර්තාව සහ අවසන් තීරණය සලකා බැලීම සඳහා නඩුව නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

ජිමුත් ඉඳුසර (whatnews.lk)

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...