“පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය” 2026 – ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහි මුඛ්‍ය පරමාර්ථය වූයේ කන්ද උඩරටින් බිහිවූ වේදිකා නළුවකු , චිත්‍රපටය නළුවකු, ටෙලිනාට්‍ය නළුවකු හා ගුවන් විදුලි ශිල්පියකු වන ජේෂ්ඨ කලාවේදී විජේරත්න වරකාගොඩ මහතාගේ පුරා හැටවසරක කලාදිවියට උපහාර පිදීමයි. ඊට සමගාමීව කන්ද උඩරටින් බිහිවූ තවත් කලාකරුවන් දෙදෙනකු වූ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර මහතා හා සංගීතවේදී ශාන්ත ජයලත් තිසේරා මහතාගේ ද කලාදිවිය ඇගයීම සිදුකරන ලදි.
“පියසටහන් ප්‍රසාංගික සැන්දෑව” සදහා මහා සංඝ රත්නය ද මෙරට කලා ක්ෂේත්‍රයේ විවිධ කලා අංශ නියෝජනය කරන ජ්‍යේෂ්ඨ හා ආධුනික කලාකරුවන් ද විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් ද විශ්ව විද්‍යාල ආචාරයවරුන් හා මහාචාර්යවරුන් ද හිටපු දේශපාලඥයන් කීපදෙනෙකු ද එසේම විශ්‍රාමික රාජ්‍ය නිළධාරීන් කීපදෙනෙකුම සැලකිය සහභාගිවීම කැපී පෙනේ.
“පියසටහන් ප්‍රසාංගික සැන්දෑව” සමස්ත බර කරටගෙන සංවිධානය කරන ලද්දේ ජ්‍යේෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා ප්‍රමුඛ සෙංකඩ මියැසිය විසිනි. ඔවුන් විසින් මෙය පවත්වන්නට දින යොදාගෙන තිබුණේ පසුගිය නොවැම්බර් 21 වැනිදින ය. ඊට හේතුව වූයේ විජේරත්න වරකාගොඩ මහත්ගේ අනුතුන්වැනි ( 92 ) ජන්මදිනය එදිනට යෙදී තිබුණු බැවිනි. එනමුදු රටේ සිදුවූ දිට්වා සොබාවික ව්‍යසනය හේතුවෙන් එය අවලංගු කරන ලදි.
“පියසටහන් ප්‍රසාංගික සැන්දෑව” ආරම්භ කරන ලද්දේ ප්‍රතිභාපූර්ණ වාදනශිල්පියකු හා ගායකයකු වන ජනනාථ වරකාගොඩ මහතා විසින් ගායනා කරන ලද “අපේ අප්පච්චී” යන ගීතයෙනි. එම ගීතය ඔහු විසින් කොතරම් හැඟුම්බරව ගායනා කළාද කිවහොත් එය සභාවේ සිටි ගිහි / පැවිදි සියල්ලන්ම හැඟුම්බර කොට දෙනෙත් අග කඳුලක් එක් කිරීමට සමත්විය. මට ද කුඩාකල අහිමිවී ගිය පිය-සෙනෙහස නැවත සිහිගන්වන ලදි.
අනතුරුව සෝමසිරි මැදගෙදර ගායකයාණන් විසින් ගීත කීපයක් ගායනා කරන ලදි. මෙහි තවත් එක් ආධුනික ගායිකාවක් විසින් ගීත කීපයක්ම ගායනා කරන ලද අතර මැය විසින් පසුගියදා මෙලොව හැරගිය ජ්‍යේෂ්ඨ ගායිකාවක් වූ කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ ගීත දෙකක් ද එතුමියට උපාහාර පිණිස ගායනා කරන ලදි. මැය නමින් ධාරා ගෝතමී සමරනායක ය. තවමත් යොවුන් වියෙහි පසුවන මැයට පැහැබර අනාගතයක් ඇතැයි කියා සිතේ. එසේ පැහැබර අනාගතයක් තිබෙන්නට නම් කටහඩ පෞරුෂය විතරක්ම මදි යැයි මට සිතේ. ඊට මැයට තමුන්ගේම ගීත ගායන කර අනන්‍යතාවක් ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය. තවත් අතකින් මැය මෙරට ව්‍යාජ ගායන තුරු පෝම්ප කරන රූපවාහිනී තරු ගායන වැඩසචහනකින් ගායන ක්ෂේත්‍රයට පැමිණි තැනැත්තියක් නොවීම ද විශේෂත්වයකි..මැයට දිගු ගමනක් පතමි !!
අප සහෘද නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා එදාමෙදාතුර මා දැන-හදුනාගෙන මසිටියේ ජ්‍යේෂ්ඨ ගුවන්විදුලි නිවේදකයකු වශයෙනි. එතුමා මාද කීපවතාවක්ම සම්මුඛ සාකච්ඡාවකට ලක්කර ඇත්තේ ය. එතුමා විසින් ද ගීත කීපයක්ම ගායනා කරන ලදි. මා මවිතයට පත්විය. ඒ නිවේදකයකු තුළ වූ ගායන පෞරුෂය කොතරම්ද කියා ය. එය මට නිවේදකයකු විසින් සැගවා ගනු ලැබූ ගායන පෞරුෂයක තරම කෙතරම්ද යන්න සිහියට නැගුණි. බැරි වේලාවත් එම ගායන පෞරුෂය මෙරට නැසීගිය අග්‍රගන්‍ය සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතාට හමුවූයේ නම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත යන චරිතය වර්තමානයේ මෙරට ගායන ක්ෂේත්‍රයේ කුමන තැනක හිඳියි ද යන්න අවධාරණය කරනු වටී.
“පියසටහන් ප්‍රසාංගික සැන්දෑව” සුවිශේෂී අවස්ථාව වූයේ ජ්‍යේෂ්ඨ කලාවේදී විජේරත්න වරකාගොඩ මහතාට උපාහාර පිදීම හා එතුමා විසින් තම මුල්ම ගීතය වන “මැණිකේ හිනහෙනවා” – 1960 ඇතුළුව තවත් ගීතයක් ගායනා කිරීමයි. ඊට අමතරව එතුමා විසින් මෙරට ඉතිහාසයේ දීර්ඝතම ගුවන් විදුලි නාට්‍ය වන “මුවන්පැලැස්සෙහි” – 1963 කෝරාලේ මහත්තයාගේ දෙබස් කීපයක් ද සභාව හමුවේ තැබීය. මෙය අපට අපේ ළමාකාලයේ ගුවන් විදුලි සංස්කෘතිය සිහිගන්වන ලදි.
මෙය මුලු සභාවම හැඟුබර කරන ලද තවත් අවස්ථාවක් විය. පුරා දශක හයකට ආසන්න කාලවකවානුව පුරා මෙරට කලාකෙත විවිධ අංශවලින් පෝෂණය කරන ලද එතුමා වර්තමානයේ තම උපරිම ආයුෂ වින්දනය කරයි. එවන් ජ්‍යේෂ්ඨ කලාකරුවකු විසින් සභාවක් පිනවීම යනු ඉතා කලාතුරකින් කලාකරුවකුට ලැබෙන අවස්ථාවක් සේම භාග්‍යයක් ද වන්නේ ය. එය වචනයි පරිසමාප්ත අර්ථයෙන්ම එය අතිශයින්ම විරල අවස්ථාවකි. එතුමාට තවත් කාලවකවානුවක් ආයු වින්දනය කිරීමට හැකිවේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
විජේරත්න වරකාගොඩ මහතා වර්තමාන ශ්‍රීලාංකේය සිනමාවේ ජීවමාන පුරාවෘත්තයකැයි අවංකව අප පිළිගත යුතුය. එනම් ඒ මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය වන හැටේ දශකයේ සිටි සිනමාශිල්පීන්ගෙන් වර්තමානයේ අපත් සමගින් ජීවත්වන නළු – නිළියන් දෙතුන්-දෙනා අතර ජ්‍යේෂ්ඨයකු වන බැවිනි. උදා : “ගම්පෙරළිය” – 1964 චිත්‍රපටයට සම්බන්ධ වූවන්ගෙන් වර්තමානයේ ජීවතුන් සිටින්නේ මෙතුමා හා පුණ්‍යා හීන්දෙනිය මහත්මිය පමණි. “පරසතුමල්” – 1967 චිත්‍රපටයට සම්බන්ධ වූවන්ගෙන් වර්තමානයේ ජීවතුන් සිටින්නේ මෙතුමා , පුණ්‍ය හීන්දෙනිය මහත්මිය හා අනුලා කරුණාතිලක මහත්මිය පමණි. “දෙලොවක් අතර”- 1967 චිත්‍රපටයට සම්බන්ධ වූවන්ගෙන් වර්තමානයේ ජීවතුන් සිටින්නේ මෙතුමා, අයිරාංගනී සේරසිංහ මහත්මිය , ජීවරාණී කුලකුලසූරිය මහත්මිය හා සුවිනීතා වීරසිංහ මහත්මිය පමණි. “ගොළු හදවත” – 1968 චිත්‍රපටයට සම්බන්ධ වූවන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ මෙතුමා, අනුලා කරුණාතිලක මහත්මිය හා ශ්‍රීයාණි අමරසේන මහත්මිය පමණි. “බිනරමලී” – 1969 චිත්‍රපටයට සම්බන්ධ වූවන්ගෙන් වර්තමානයේ ජීවතුන් අතර සිටින්නේ මෙතුමා හා සිරිල් වික්‍රමගේ මහතා පමණි.”තුංමංහන්දිය” – 1970 චිත්‍රපටයට සම්බන්ධ වූවන්ගෙන් වර්තමානයේ ජීවතුන් සිටින්නේ මෙතුමා හා ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය පමණි.
මෙරට එතෙක් මෙතෙක් නිර්මාණය වූ විශිෂ්ටතම චිත්‍රපටය වනුයේ “නිධානය” – 1972 . ඊට සහසම්බන්ධ වූවන්ගෙන් මගේ දැනීමේ හැටියට වර්තමානයේ අප අතර සිටින්නේ මෙතුමා පමණි.
එතුමාගේ චිත්‍රපට රංගන දිවියේ උපරිමය “අරුණට පෙර” – 1984 චිත්‍රපටය තුළින් සටහන් විය. එම දක්ෂ රංගනය වෙනුවෙන් එතුමාට 1985 වර්ෂයේ හොදම නළුවාට හිමි ජනාධිපති සම්මානය ද – වසරේ හොදම නළුවාට හිමි OCIC සම්මාන ද හිමිවිය.
“පියසටහන් ප්‍රසාංගික සැන්දෑව” කිසිදු ආරාධිත දේශනයක් නොවීය . එය විශේෂත්වයකි. වර්තමාන මෙරට ගමේ අවමංගල්‍ය උත්සවයේ සිට ජාතික උත්සවය දක්වාම කෙරෙන බොහෝ කතාබහ අමුම අමු විකාර බවට පත්ව ඇත්තේ ය. එවන්වූ වාතාවරණයක් හමුවේ මෙහි දේශන කියා කිසිවක් නොවූ අතර නීමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් කරන ලද ඇරයුමක් මත මවිසින් නියමිත අසුනේ හිඳ විජේරත්න වරකාගොඩ නැමති චිත්‍රපටය නළුවා හා ඔහු විසින් එදාමෙදාතුර තම රංගනයෙන් දායකත්වය දක්වන ලද චිත්‍රපට පිළිබඳව කෙටි අදහස් දැක්වීමක් කරන ලදි. එහි සාර්ථකත්වය පිළිබඳව මා නොදන්නා නමුදු අවසන විජේරත්න වරකාගොඩ මහතා මා හමුවට විත් වැඳ නමස්කාර කොට “අපේ … හාමුදුරුවනේ මගේ චිත්‍රපටය රංගනය පිළිබඳව කතාබහ කළාට බොහෝම පින්” කියා ඉතා හැඟුම්බරව කීය. ඒ පිළිබදව එතුමාගේ බිරිද හා පුතා ද මට පින්දෙන ලදි.
“පියසටහන් ප්‍රසාංගික සැන්දෑව” පිළිබඳව සමරු කලාපයක් හා පොතක් ජනගත කිරීම ද වැදගත් යැයි කිවයුතුය. ඒ අන් කිසිවක් නොව මෙම කර්තව්‍යයේ තතු අනාගතය උදෙසා සංරක්ෂණ කිරීමක් වශයෙනි.
මේ අතර තුර හිටපු මධ්‍ය පලාත් මහ ඇමතිවරයා වූ සරත් ඒකනායක මහතා මා අසල විත් සුවදුක් විමසා .. “මංගල හාමුදුරුවනේ මං දැන් ටෙලිනාට්‍යවල රඟපානවා, අනිවාර්යයෙන්ම නරඹන්න” යැයි කීය. ඒකත් “ජයසිරි මංගලම්” කියා මට සිතුණි.
මෙම කර්තව්‍යය පැවැත්වූයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ බව මා ඉහත දී සදහන් කරන ලදි. එනමුදු ඉතා කණගාටුවට කාරණය වනුයේ … මධ්‍ය පලාතේ දිස්ත්‍රික් ලේකම්වරයා ( දිසාපතිවරයා ) හෝ ඔහු නියෝජනය කරන කිසිවකු හෝ අඩුම තරමින් එම කාර්යාලය නියෝජනය කිසිවකු හෝ උත්සවයට සහභාගි නොවීමයි. හැබැයි .. ජපතාවගේ මුදල් කාබාසීනියා කර මෙරටේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයවල ප්‍රදර්ශනයට ආසන විශාල සංඛ්‍යාවකින් යුතු ශ්‍රවණාගාර හැටහුට හමාරක් ඉදිකර ඇත්තේ ය. කෙසේ නමුදු වර්තමාන මෙරට රාජ්‍ය සේවයේ බහුතලය කලාව යන විෂයය අරබයා සංවේදී නොවන කුලකයක් බව කිවයුතුය. එසේ ඔවුන් කලාව අරබයා සංවේදී වෙත්ද මෙරට කලාව මීට වඩා බොහෝ වෙනස් යැයි කියනු වටී.
මහනුවර යනු කොළඹට සාපේක්ෂව කලා කටයුතුවලින් දැඩි ඌණතාවයකින් පෙළන නගරයකි. එහි ශ්‍රවණාගාර පහ – හයක්ම තිබුණද අවුරුද්දෙන් දින තුන්සිය හැටක් පමණ ඒවා වේලෙන්නේ ය. ඊට කවුරු වගකිව යුතුද / නැද්ද යන්න මා නොදන්නා නමුදු කටුක සත්‍ය එයයි. මහනුවර වාර්ෂිකව පැවැත්වෙන්නේ කලා අංග දෙකක් පමණි. ඉන් එකක් හෙළයේ මහා කලා මංගල්‍යය වන උත්තම සිර දළදා පුද පෙරහැර වන අතර අනෙක වාර්ෂිකව KCC ආයතන කේන්ද්‍රගතව පැවැත්වෙන් වාර්ෂික පොත් ප්‍රදර්ශනය පමණි. ඉන් ඔබ්බට මොන කලා ඉටිගෙඩියක්වත් නැත.
කලා කටයුතු ඌණතාවයෙන් පෙලෙන මහනුවර නගරයට නව්‍යමය වූ කලා සංස්කෘතික අවශ්‍යතාව තදින්ම දැණේ. එසේ නොවෙත්ද මහනුවර කලාවෙන් හා එහි කටයුතුවලිනු වියුක්ත වූ නගරයක් බවට නොබෝ කලකින්ම පත්වනු ඇත. මෙන්න .. මෙම කාරණාව අතින් ද පියසටහන් ප්‍රසාංගික සැදෑව කිසියම් වූ වැදගත්කමක් ගනු ඇත. මගේ කියවීමට අනුව එය වියලි කතරට දිය පොදක් වැනිය. මෙවන් කලා වැඩසටහන් කවරෙකු විසින් හෝ අනිවාර්යෙන්ම ඉදිරියට රැගෙන යනු වටී.
පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : සංවිධානය කරන ලද ජ්‍යේෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා ප්‍රමුඛ සෙංකඩ මියැසියට බොහෝම පින් !! .

