වෙනිසියුලාව පිලිබඳ සටහන් 1:
වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීම සමග එරට විදේශ ප්‍රතිපත්තියේ සිදුව තිබෙන එක්තරා ආකාරයක හැරවුමක් පැහැදිලිව පෙන්නුම් කරන්නකි.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය සංවිධානය වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ නායකත්වය සහිත ‘බටහිර කඳවුර’ ලෙස හැඳින්විය හැකි බල හවුලේ ආධිපත්‍යය වටාය. ලෝකයේ ආර්ථික, දේශපාලන හා මිලිටරි ආධිපත්‍යය මෙම බල හවුල සතු විය. මීට යම් අභියෝගයක් වූ සෝවියට් සංගමය 1990 දී බිඳ වැටීමත් සමග මෙම බල හවුල අනබිභවනීය තත්වයකට එසැවුණි.
සෝවියට් සංගමයේ වැටීම සමග ඇති වූ නව ලෝක තත්වය තුල එක්සත් ජනපදය සිය ආධිපත්‍යය අභ්‍යාස කළේ බලහත්කාරය සහ දෘෂ්ටිවාදය යන දෙකම පාවිච්චි කරමිනි. නිදහස් වෙලඳාම, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්වාදය සමග නේටෝ හවුලේ මිලිටරි බලය ඒකාබද්ධ කෙරුණි. (මානව හිමිකම්වාදය යනු ‘මානව හිමිකම්’ නොවේ. මානව හිමිකම් පිලිබඳ දෙන ලද එක්තරා අර්ථ නිරූපණයක් සහ ඒ ආශ්‍රිතව සම්පාදනය කරන ලද කතිකාවකි).
නිදහස් වෙලඳාම මගින් සිදු කරන ලද්දේ ආර්ථික අතින් බලවත් බටහිර හවුලේ රටවල් මත යැපෙන තත්වයකට ලෝකයේ සෙසු රටවල් පත් කිරීමය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්වාදය මගින් බටහිර ලෝකය එනම් සුදු මිනිසාගේ ලෝකය ශිෂ්ට බවට වූ මතවාදය ස්වභාවිකකරණය කළ අතර සෙසු ලෝකයට තිබෙන එකම මග එම ලෝකයේ නායකත්වය අනුව ගමන් කිරීමට බවට තහවුරු කෙරුණි.
පසු සීතල යුද තත්වය තුල මෙම සුසුමාදර්ශය ගෝලීය සුසුමාදර්ශය බවට පත් වූ අතර ඊට යම් ප්‍රතිවිරෝධයක් දක්වන රටවල් මැඩ පැවැත්වීම සඳහා නේටෝ සංවිධානය සතු මිලිටරි බලය යොදා ගන්නා ලදී. මෙම මිලිටරි මැදිහත්වීම් සාධාරණීකරනය කරන ලද්දේ දුෂ්ට නායකයන් සිටින රටවල් ප්‍රජාතන්ත්‍රකරණය කිරීම (democratization) සහ මානව හිමිකම්වාදය යන දෘෂ්ටිවාදයන් යොදාගෙනය. ලෝකය තුල තිබෙන විවිධ ජාතීන් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් අගයන ‘හොඳ’ රටවල් (මෙම හොඳ රටවල් නිසගවම ගෝලීය උතුරේ රටවල්ය); හොඳ නොවන නමුත් උත්සාහ කලොත්, හොඳ මගට ආ හැකි රටවල් (එනම් බටහිර හවුලේ ආර්ථික හා දේශපාලන අධිකාරියට යටත් වීමට එකග රටවල්) සහ ලිබරල්-නොවන දුෂ්ට, අසමත් හා අසාර්ථක රටවල් ලෙස වර්ගීකරණය කෙරුණි. [මෙම ප්‍රභේදනය බුද්ධිමය වශයෙන් සූක්ෂම ලෙස සූත්‍රගත කොට තිබෙන ආකාරය සඳහා හොඳ උදාහරණයකි ජෝන් රෝල්ස්ගේ Law of the Peoples කෘතිය|
පශ්චාත් සීතල යුද පසුබිම තුල සිදු වූ සියලු මිලිටරි මැදිහත්වීම් මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කතිකාව ආශ්‍රයෙන් පැහැදිලි කෙරුණි. මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවසරය නොමැතිව නේටෝ සංවිධානය යුගොස්ලෝවියාවට බෝම්බ දැම්මේ ඒකාධිපති මිලොසෙවිච්ගෙන් සුලු ජාතික කොසෝවෝවරුන් බේරා ගැනීමටය ; ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම පසුපස එරට කාන්තාවන් පසුගාමී තලෙයිබාන් පාලනයෙන් මුදවා ගැනීම අරමුණ තිබුණි ; ඉරාකය, සිරියාව, ලිබියාව ආදී රටවල සිදු වූ හමුදා මැදිහත්වීම් එම රටවල සිටි ඒකාධිපතීන් වන සදාම් හුසේන්, මොහොමඩ් ගඩාෆි සහ අසාද් වැනි අයට එරෙහිව සිදු කල ඒවාය. මේ ආදී වශයෙනි.
මේ සියල්ල දෘෂ්ටිවාදාත්මකය. එනම් මෙම ආක්‍රමණ පසුපස තිබෙන සැබෑ අරමුණ වන, ගෝලීය දේශපාලන-ආර්ථිකයේ අධිකාරිය තර්ජනයකින් තොරව පවත්වා ගැනීම යන භෞතික හේතුවෙන් අපගේ අවධානය වෙනතකට යොමු කරන ; අවසාන විග්‍රහයේ දී එම අධිකාරිය ස්වභාවිකකරණය කරනු ලබන අදහස් හා විශ්වාස පද්ධතියක් ලෙස මෙම පැහැදිලි කිරීම් ක්‍රියාත්මක විය. කෙසේ වුවද, මෙහි වූ වැදගත් ලක්ෂණය නම් අධිකාරිය පවත්වා ගෙන යාම සඳහා නග්න බලය සහ දෘෂ්ටිවාදය යන පැතිකඩ දෙක කෙරෙහිම යොමු කොට තිබූ අවධානයයි.
අපට මේ වනවිට පෙනෙන්නේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය තුල වූ මෙම ආකෘතිය තීරණාත්මක අවසානයකට පැමිණ ඇති ආකාරයයි. දෘෂ්ටිවාදී ආවරණයක් රහිතව බලය අභ්‍යාස කිරීම ; එනම්, හෙජමොනික ව්‍යයාමයකින් තොරව, නග්න බලය මත ආධිපත්‍යය පවත්වා ගැනීම වෙත වූ පිම්මක් ලෙස මෙම සංසිද්ධිය වටහා ගත හැක.
වෙනිසියුලාවට එරෙහි ආක්‍රමණය යනු ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ පසුව ස්වෛරී රටකට එරෙහිව සෘජු ලෙස මිලිටරි මැදිහත්වීමක් සිදුකළ දෙවැනි අවස්ථාවයි. පලමු අවස්ථාව වූයේ පසුගිය වසරේ ඉරානයට එරෙහිව සිදුකළ සීමිත හමුදා මෙහෙයුමයි. මේ අවස්ථා දෙකම, අන්තර්ජතික නීතියේ එන වෙනත් රටකට එරෙහිව බලය යෙදවීම නොකල යුතු බවට වූ විධානය කඩ කෙරෙන, නිශ්චිත ලෙසම ආක්‍රමණකාරී ක්‍රියාවන්ය.
මෙම අවස්ථා දෙකේදීම දක්නට ලැබෙන පොදු ලක්ෂණය වන්නේ, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජතාන්ත්‍රීකරණය බඳු වූ ‘විශ්වීය’ හැගවුම් සහිත සාධාරණීකරනය කිරීමක් වෙනුවට, ‘ඇමරිකාවේ ජාතික අභිලාෂය’ යන පදනම මත එම මැදිහත්වීම් යුක්ති යුක්ත කෙරෙන ආකාරයයි.
නිදසුන් ලෙස වෙනිසියුලා සිදුවීම ගත්විට, අන්තර්ජාතික නීතිය උල්ලංඝණය කරමින්, එරට ජනාධිපති මධුරෝ පැහැර ගෙන ඒම යුක්ති යුක්ත කෙරෙන්නේ වෙනිසියුලා ආණ්ඩුව මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුක්ත බවට වූ චෝදනාව මතය. ‘මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන්’ (narco-terrorism) ‘ඇමරිකාව’ ගලවා ගැනීම තම අරමුණ බව ජනාධිපති ට්‍රම්ප් කියයි. එමතු නොව, වෙනිසියුලාවේ තෙල් සම්පත ඇමරිකානු සමාගම්වලට විවෘත කරගැනීමට තමුන් කටයුතු කරන බවට හේ විවෘතව ප්‍රකාශ කොට සිටී.
මේ අනුව, ප්‍රස්තුතය, අඩුම තරමින් වෙනිසියුලාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම හෝ එබඳු මූනිච්චාවට දක්වන කිසිදු කාරණාවක් නොවේ ; පැහැදිලි ලෙසම, එක්සත් ජනපදයේ ආධිපත්‍යය තහවුරු කිරීමය. ට්‍රම්ප් ආණ්ඩුව මෙය සගවන්නේ නැත.
2025 වසරට අදාලව ඇමරිකාව විසින් එලි දක්වන ලද ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය පසුබිම් කෙට ගෙන මෙම තත්වය දෙස බලන විට මෙය වඩාත් පැහැදිලි වෙයි. ඇමරිකාව ලෝකයේ ධනවත්ම, බලවත්ම, ශක්තිමත්ම හා සාර්ථකම රට ලෙස පවත්වා ගෙන යාම ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියේ පරම අභිලාෂය බව දක්වන එම ලියැවිල්ල මේ අනුව යමින් මොන්රෝ සිද්ධාන්තයට සමගාමී ට්‍රම්ප් උප සිද්ධාන්තයක් (Trump corollary) අනුගමනය කිරීම ඇමරිකාවේ අරමුණ බව පවසයි.
මොන්රෝ සිද්ධාන්තය යනුවෙන් හඳුන්වන්නේ 1823 දී ඇමරිකානු ජනාධිපති ජේම්ස් මොන්රෝ විසින් ප්‍රකාශයට පත් කළ, ලතින් ඇමරිකාව ඇතුලු බටහිර අර්ධ ගෝලය එක්සත් ජනපදයේ බල ක්ෂේත්‍රයට අයත් බවට වූ සම්මතයයි. මේ අනුව ඉතිහාසය පුරාවට ලතින් ඇමරිකාව සලකන ලද්දේ ඇමරිකාවේ පසුමිදුල (backyard) ලෙසටය. සමකාලීනව ලතින් ඇමරිකානු කලාපය තුල දක්නට ලැබෙන උග්‍ර ඇමරිකානු විරෝධී අදහස්වල පසුබිම වන්නේ ඓතිහාසිකව එක්සත් ජනපදය ලතින් ඇමරිකාව සම්බන්ධව දක්වන ලද මෙම අධිකාරිවාදී ප්‍රවේශයයි.
මෙලෙස මොන්රෝ සිද්ධාන්තය යලි විවෘතව ප්‍රකාශයට පත් කිරීම සමග ට්‍රම්ප් ආණ්ඩුව සැලකිය යුතු හැරවුමක් ගෙන ඇති බව කිව හැක. දෘෂ්ටිවාදාත්මක ආවරණය තවදුරටත් අදාල නැත. බලය යනු සත්‍ය්‍යයයි. සත්‍යය යනු බලයයි. මෙම සාහසික ආකල්පය ට්‍රම්ප් ආණ්ඩුව අතිශය පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
වෙනිසියුලාවට එරෙහිව මොන්රෝ සිද්ධාන්තය ලෙලවීම මගින් ට්‍රම්ප් ආණ්ඩුව යලිත් සියවසක් පසුපසට ගමන් කොට ඇත. හෙජමොනික බලය වෙනුවට නග්න බලය පාවිච්චි කිරීමට යොමු වීම මගින් පෙන්නුම් කරන්නේ කුමක්ද? වෙනිසියුලාවට එරෙහි ආක්‍රමණය බැලූ බැල්මට බලය පිලිබඳ ප්‍රදර්ශනයක් ලෙස පෙනී ගියත්, එය එක විටම ඇමරිකා එක්සත් ජනපදයේ දුර්වලතාවය පිලිබඳ ප්‍රකාශනයක්ද වෙයි. මෙය කදිම දයලෙක්තික මොහොතකි ; එනම් වෙනිසියුලා ආක්‍රමණය ඇමරිකාවේ බලය මෙන්ම දුබලතාවය ද එකවිට විදාරණය කරන්නකි.
එය දුබලතාවයක් වන්නේ කෙසේදැයි ඊලග සටහනේ දී විමසමු.

