ගීත ලතාව – යුගයක මනමෝහනීය ස්වරාලංකාරය

Share post:

සිංහල සිනමාව සහ සංගීතය අපගේ යෞවුන් කාලයේ අප මුසපත් කළ අංක එකේ කලාවයි. එකල තිබූ චිත්‍ර කතා පත්තර සහ ගුවන් විදුලිය දෙවන සහ තුන්වන තැන ගත්තේය. අදටත් පැරණි සිනමා ශාලාවක් අසලින් යද්දී චිත්‍රපට සිංදු වලින් අපගේ යොවුන් සිහින ලෝකය සිනමා අනුරාගයෙන් මන් මත්වේ.ආසියාවේ හින්දි සිනමාවෙන් ආරම්භ වූ චිත්‍රපට වලට සිංදු ඇතුලත් කිරීමේ අමුතුම කලාව සිංහල සිනමාව ද වෙලා ගත්තේය.
ලතා වල්පොල, එච්.ආර්.ජෝතිපාල, සුජාතා අත්තනායක, මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල, මිල්ටන් මල්ලවාරච්චි ආදීන්ගේ සුමියුරු ගීතයක් නැති චිත්‍රපටයක් ලෙහෙසියෙන් ජනප්‍රිය නොවූයේය. චිත්‍රපට සංගීතයෙන් අප මනමෝහනීය-ආනන්දජනක-සංගීතානුරගයෙන් පුරවන්නට ලතා සමත් විය.

ජාතික රූපවාහිනියට වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙන් බැඳුණු මාගේ එක් සිහිනයක් වූයේ කෙදිනක හෝ ලතා වල්පොල ගැන වැඩසටහනක් කිරීමත්, ඇයගේ චිත්‍රපට පසුබිම් ගීත ආශ්‍රයෙන් නව රූප රචනයක් කිරීමත්ය.

ඒ ආශාව ඉටු වූයේ ලතා වල්පොල ගැන පැයක පමණ ධාවන කාලයකින් යුත් “ ගීත ලතාව” නම් වූ වැඩසටහන නිසාය. ඒ වැඩසටහන ඉදිරිපත් කලේ මහේන්ද්‍ර පෙරේරාය. මා රූපරචනය කළ ගීත දෙක වූයේ එම්.එස්. ප්‍රනාන්දු සහ ලතා නෑදෑයෝ ( 1976) චිත්‍රපටයට ගායනා කළ එරන් කඳ පෙම් කඳ නම් ගීතයයි. එය ලියා තිබුනේ ජෝරජ් ලෙස්ලි රණසිංහ වන අතර සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙනි. දෙවන ගීතය වූයේ ලතා සහ රූකාන්ත ගායනා කරන සියුමැලී ගීතයයි. එයට රංගනයෙන් දායක වූයේ සේමිණී ඉද්දමල් ගොඩයි. එරන් කඳ පෙම් කඳ ගීතය මා රූගත කලේ මැදිරි අංක 03 දී EFP කැමරාවක් භාවිතා කරමින්ය. එකළ සිටි ඉංජිනේරු ලොක්කෙකු ඇස් උඩ තබාගෙන විමසා සිටියේ මැදිරි කැමරා (Studio) තිබිය දී බාහිර රූගත කිරීම් කරන කැමරාවක් මැදිරි රූගත කිරීමකට යොදා ගන්නේ ඇයිද යනුවෙනි? මන්ද මාගේ දැනීමේ එවැන්නක් කළ පළමු වතාව එයයි. කැමරාකරණය කළේ අප විශ්ව විද්‍යාල කාලයේ රූපවාහීනී අභ්‍යාස ආයතනයේ දී අප ඉගැන්වූ රූපවාහිනී සංස්ථාවේ සේවය කළ දැන් ඔ්ස්ට්‍රේලියාවේ සීටින ජනක ජයසේකරය. සියුමැලී ( 1995 චිට්ටි චිත්‍රපටය) ගීතය රූගත කෙරුණේ හොරණ අවට දිය ඇලි ඇති ප්‍රදේශයකය. කැමරාකරණය රංජන් ගුරුසිංහ ගෙනි. සංස්කරණය දිමුත් කුරුප්පුය, දිමුත් කුරුප්පුය. කෞෂල්‍ය පරණවිතාන සහ රංජන් ජයතිස්සය.

ලතා සමග වැඩසටහන රූගත කළ කාලය අතිශය සුන්දර එකක් වූයේ ඇයගේ කවුරුත් සිනහා ගන්නවන විවෘත සිනාමුසු- උපහාසය මුසු කතා නිසාය. එකල කලාවට කාන්තාවන් පිවිසීම ඉන්දියාවේ ද, ලංකාවේ ද සමාජය විසින් පිළිනොගත්, තහංචි දමා තිබූ එකකි. එය කොතරම් දැඩි සමාජ තහංචියක් ද යත් ඉන්දියාවේ ප්‍රථම සම්පූර්ණ ධාවන කාලයකින් යුත් කතා නාද චිත්‍රපටය වූ දාදා සහබ් පාල්කේඅධ්‍යක්ෂණ්‍ය කළ රාජා හරිස්චන්ද්‍ර Raja Harishchandra (1913) චිත්‍රපටයට එහි කාන්තා චරිතයට කාන්තාවක් සොයා ගැනීමට නොහැකි වූයේය. අන්තිමේ කාන්තා චරිතය රඟ පෑවේ පිරිමියකු විසිනි. ලතා ගේ පියා ලතාගේ මේ සංගීත ගමනට අකමැති වූයේය. එදා ලතා මව සියුලු බාදක සහ තහංචි වලට පයින් ගසා ලතා සමග ගෙදරින් නොයන්නට මෙවන් ගීත කෝකිලාවක් බිහි වන්නේනේ නැත.

1953 එදා රෑ චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායන ඇරඹු ලතා පල්ලියේ ගීතිකා ගැයීමෙන් ලත් රමණීය ස්වර සහ හඬ පසුබිමක් තිබුනාය. රීටා ජෙනවි ප්‍රනාන්දු නමින් වූ ඇයගේ ලතා යන නාමය එක් කරන ලද්දේ ඇය සමග මුල් කාලයේ ගී ගායනා කළ සුසිල් ප්‍රේමරත්නය. මෙතැන් සිට මා ඉදිරිපත් කරන්නේ මා මිත්‍ර සරවිය පත්‍රයේ හිටපු කර්තෘ, සිනමා විචාරක අරුණ ගුණරත්න ලතා ගැන තැබූ පූර්ණ රසවත් සටහනකින් සංස්කරණය කරන ලද සංක්ෂිපතයකි.

“එදා රෑ චිත්‍රපටයේ ගී ගැයීමට පෙර ඇයට පසුබිම් ගායනයෙහි ආරාධනාව ලැබෙනුයේ සුජාතා චිත්‍රපටය උදෙසාය. මෙරට ජනාකර්ශනීය සිනමාවේ හැරවුම් ලක්ෂයක් වූ සුජාතා චිත්‍රපටයේ පසුබිම් ගායනයට ලතා ඉදිරිපත්වූයේ නම් ඉන්දියානු ගායිකාවනගෙන් අප ඇසූ ප්‍රේම ගඟේ මැණික්, සොමිබර පෙම්රැළි, ප්‍රේමා ලෝකය නිවි ගියා වැනි ගී ඇයගේ හඬන් අපට අසන්නට ඉඩ තිබිණ. මෙම ගී ගායනය සඳහා ඇය ඉන්දියාවට ගෙන යාමට නිෂ්පාදක කේ.ගුණරත්නම් නියෝජිතයකු නොඑවා තමා ම ගෙදරට පැමිණි බව ඇය ගේ ජීවන වෘත්තාන්තය ඇතුළත් ලතා හෙළ ගී රැජින ග්‍රන්ථයේ සඳහන් ය. රදළ පිළිරුව උදෙසා ඇය සේලම් නගරයේ පිහිටි එවකට දකුණු ඉන්දියාවේ තිබුණු ඉහළම චිත්‍රගාරයක් වූ මොඩර්න් චිත්‍රගාරයට ගියාය.

ඇය ගේ මුල්ම සංගීතවේදියා මොහමඩ් ගවුස් වුවද චිත්‍රපට සංගීතයෙහි ස්ථාවර වනුයේ ආර්. මුත්තුසාමි ගේ සංගීත නිර්මාණයන් සමඟය. මුත්තුසාමි අනුකරණ මෙන්ම ස්වතන්ත්‍ර ගී තනු රැසක් චිත්‍රපට උදෙසා නිර්මාණය කළ අතර එයින් මුල් යුගයේ බහුතරයක් ගැයීමේ වරම ලතාට හිමිවූව මාතලන් චිත්‍රපටයට ඇතුළත් ගී 12 න් 8 ක් ම ගායනා කරනුයේ ඇය විසින්ය. මේ ගී සියල්ල ස්වතන්ත්‍ර ගීතයන්ය. එහි ඇය ක්ලැරිස් ද සිල්වා වෙනුවෙන් මෙන්ම රත්නා කුමාරි වෙනුවෙන් ද ගී ගය්නනීය.

ඇය ගේ මුල් චිත්‍රපට ගී අතර ඇයගේ ප්‍රතිභාව විමසා බැලිය යුතු අතිශය විශිෂ්ට ගීතාවලිය සං‌දේශයට ඇුතළත්ය. සුනිල් ශාන්ත ගේ තනු අනුව ආර්. මුත්තුසාමි විසින් සංගීතවත් කළ එහි එන ගී හතෙන් හතරක්ම ලතා ගේ ගායනයෙන් හැඩ වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එහි විටෙක නළඟනක ලෙසත් සෙබල මුළුවක ධෛර්ය වඩමවමින් ද තවත් විටෙක ලයාන්විත දරු නැලවිල්ලකට ද ඇය යොමුවෙයි.යෞවන මදය සමඟ රෑන ගිරා හා පුන්සද ඒළියයි ගයන ඇය හාත්පසින් වෙනස් රැජිණ මමයි ගයන්නීය. විශිෂ්ටතම දරු නැළවිල්ලක වූ සුදට සුදේ වලාකුළයි ගයන්නීය. එයට පෙර සුනිල් ශාන්තයන්‌ ගේම තනුවට බී.එස්.පෙරේරා ගේ සංගීතයට රේඛාව චිත්‍රපටය උදෙසා ඇය ගයන සීගිරි ළඳකගේ මල් වට්ටිය දරු නැලවිල්ල ද සංදේශයේ දරුනැලවිල්ල ද ඇයගේ ගායන පරාසය පිළිබඳ කදිම උදාහරණයන්සේ ගත හැක්කේය.

තවත් පසුකලෙක ඇය විසින් ගයනු ලබන ආදරයේ රන් විමනේ ,(සැනසුම කොතැනද) හීන හතක් මැද, (ගැටවරයෝ) රොන් සොයා පියඹන සමනලියක සේ (ආවා සොයා ආදරේ ) වැනි ප්‍රේමය ද විරහ වද ගෙන එන ගීතාවලියේ ඇයගේ හඬ විමසා බැලිය යුතුය. ඇය රඟපාන්නීද නැතහොත් නිළිය එමඟින් රඟපාන්නේදැයි උක්ත රූප රාමු හා ශබ්දය ද එකිනෙක විමසා බැලීම අතිශය ප්‍රමාණවත්ය. එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයේ එන සමාජ ශාලා නළඟනක් ( හෙලන් කුමාරි) වෙනුවෙන් ගයන මා පාවී යයි ගීය සමඟ රූපය විමසා බලන්න. ශෘංගාරය මතුවනුයේ හෙලන් ගේ නර්තනය හෝ ලෙනින් මොරායස් එය රූ ගත කළ නිසාම නොවේ. ලතා ගේ හඬ ඉස්මතු කරන රාගාශ්‍රිත ස්වරය නිසාය. හතර දෙනාම සූරයෝ එන පැත්ම් මල්ලකී ජීවිතේ ගීතය ද කදිම උදාහරණයකි. එය මුල් ගීය වන ඉක්තෙකාම් චිත්‍රපටයේ එන ලතා මංගේෂ්කාර් ගේ හඬ පරදා යන ස්වරයකි. ලතා චිත්‍රපට පසුබිම් ගීයෙහි අතිශය ජනප්‍රිය ගීතාවලිය හා ඒ් පිළිබඳ සැසදිම පුවත්පතක පිටු කිහිපයකට සීමා කළ හැක්කක් නොවේ. එය පිටු දහස් ගණනක නිබන්ධනයකි” – අරුණ ගුණරත්න (අරුනගේ සම්පූර්ණ ලිපියේ ලින්ක් එක පහත දක්වා ඇත)

1934 නොවැම්බර් මස 11 වැනි දින උපත ලද ලතා මිය යද්දී 91 වන වියේ පසුවූවාය. ඇයගේ ගීතාලංකාරය කොතරම් අප සැනසුවේ ද යත් මම ඇයට නිවන් සුව නොපතමි. නැවත අප අතර ඉපදී ඇයගේ අති සුමියුරු ගීත ලතාවෙන් අප වෙලා ගන්නට ප්‍රාර්ථනා කරමි.

අතුල දිසානායක

2025.12.28

Related articles

දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම !

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ මහා හානියෙන් පසු රජය ජීවිත, රැකියා සහ යටිතල පහසුකම් නැවත ගොඩනඟමින් සිටී. ජනාධිපති...

තරුණ ජනමාධ්‍යවේදීන් පොලිස්පතිට නීතිය මතක් කර දෙයි !

අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට පොලිසියට බලය නැති තත්ත්වයක් තුළ, අම්බුළුවාව පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමට...

නිර්ලජ්ජිත උත්සාහයන් අත්හැර මාධ්‍ය නිදහස වෙනුවෙන් වැඩ කරන්න – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට කියයි !

පොලිස් රාජ්‍යයක බලය ස්ථාපිත කිරීම තුළින් මාධ්‍ය මර්දනයේ ආණ්ඩුවේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහයන්ගෙන් වැළකී මේ රටේ...

මහවැලි ගං කොමළිය තම සුපුරුදු ගමන්මග හෙළිපෙහෙළි කරගෙන ද ?

පසුගිය ඉරිදින ( 2025 - 12 - 21 ) සැදෑවේ අපි තවත් සහනාධාර ද්‍රව්‍ය -වගයක් බාරදීම පිණිස ගන්නෝරුවේ...