කොස්ගොඩ සුජීගේ සහ කරන්දෙනියේ සුද්දාගේ ඝාතන කොන්ත්‍රාත්තුව කළ සැකකරුවන් හිටියේ දේශබන්දුගේ නිවසක – පොලිසිය තවම ප්‍රකාශයක් අරන් නෑ !

302

පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගර සභාව සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ හිරාන් කෝසලට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු සහ වෙඩික්කරුට පළායෑමට උපකාර කළ යතුරුපැදිකරු සැඟව සිට ඇත්තේ ඉවත් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් නිවසක බව අනාවරණය වී තිබුණද, මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කර නැත.

මේ පිළිබඳව විමසීමේදී වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් පැවසුවේ ඊට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයට බාර දී ඇති බවත්, එම අංශයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් ය. කෙසේ වෙතත් තමන් දන්නා පරිදි මෙතෙක් දේශබන්දු තෙන්නකෝන්ගෙන් ඊට අදාළ ව ප්‍රකාශයක් ලබාගෙන නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සැකකරුවන් සැඟව සිට ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ට අයත් බව කියන මහනුවර පිහිටි නිවසක බව මේ වන විට අනාවරණය වී තිබේ. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බල­කායේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් එම නිවස වටලා සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට මෙහෙ­යු­මක්ද සිදු කර ඇති නමුත්, ඒ වන විට සැක­ක­රු­වන් දෙදෙනා එම නිවසෙන් පළාගොස් සිට ඇත.

කෙසේ වෙතත්, අදාළ සැක­ක­රු­වන් දෙදෙනා දෙසැම්බර් 07 දා සිට එම නිවසේ රැඳී සිට ඇති බව මුර­ක­රුගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇති බවත්, දෙසැම්බර් 22 දා හිරාන් කෝස­ලට වෙඩි තැබී­මෙන් අන­තු­රුව ද ඔවුන් පළා­ගොස් ඇත්තේ අදාළ මහ­නු­වර, අම්පි­ටියේ පිහිටි දේශ­බන්දු තෙන්න­කෝන්ගේ බව කියන මේ නිව­සට ම බව අනා­ව­ර­ණය වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර සැකකරුවන් පළා ගිය නමුත් නිව‍සේ මුර­ක­රුගේ තොර­තුරු මත සැක­ක­රු­වන් රැඳී සිටි කාම­රය පරීක්ෂා කිරී­මේදී එහි තිබී සැකකට­යුතු සිම් කා­ඩ්පත් කිහි­ප­යක් ද වි‍ශේෂ කාර්ය බල­කාය විසින් සොයා‍ගෙන ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කරයි. දේශ­බන්දු තෙන්න­කෝන්ට අයත් මෙම නිවස ඇතුළු දේපොළ රැසක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීති විරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය විසින් මුදල් විශු­ද්ධි­ක­ර­ණය යටතේ විම­ර්ශ­න­යට ලක්කර ඇති බවත්, ඒ අනුව මෙම නිවස දේශ­බන්දු තෙන්න‍කෝන්ට අයත් එකක් බව පැහැ­දි­ලි­වම හඳුනා ගැනී­මට හැකි වූ බවත් පොලිස් විශේෂ කාර්ය බල­කාය සඳ­හන් කරන අතර, ප්‍රදේ­ශයේ ග්‍රාම නිල­ධා­රි­ව­ර­යා­ගෙන් විදුලි බිල්පත් සහ ජල බිල්පත් මඟින් ද නිවසේ හිමි­කරු හිටපු පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් බව තහ­වුරු කර­ගැ­නී­මට පොලිස් විශේෂ කාර්ය බල­කාය පිය­වර ගෙන ඇති බවද සඳහන් ය.

හිරාන් කෝස­ලට වෙඩි තබා ඝාත­නය කර ඇත්තේ ඔහු සමීප සම්බ­න්ධ­කම් පැවැත්වූ පාතාල අප­රා­ධ­ක­රු­වන් දෙදෙ­නකු වන කොස්ගොඩ සුජී සහ කර­න්දෙ­ණිය සුද්දා විසින් ලබාදුන් කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව බවට ද විම­ර්ශ­න­යේදී තොර­තුරු අනා­ව­ර­ණය වී ඇති අතර, වෙඩි­ක්කරු සහ යතු­රු­පැ­දි­කරු සැඟවී සිටි බව අනා­ව­ර­ණය වන දේශ­බන්දු තෙන්න­කෝන්ට අයත් බව කියන මහ­නු­වර පිහිටි නිවසේ වහ­ලයේ අලු­ත්වැ­ඩි­යා­වක් සිදුකර­මින් ඇති බවත්, එම අලු­ත්වැ­ඩි­යාව පිටු­පස සිටින්නේ ද කර­න්දෙ­ණිය සුද්දා බවත් විම­ර්ශ­න­යේ දී තොරතුරු අනා­ව­ර­ණය වී තිබෙන බව දිනමිණ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

ඒ අනුව මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් හිරාන් කෝස­ලගේ ඝාත­නයේ විම­ර්ශන කට­යුතු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මුළු­ම­නින්ම පැව­රී­මට පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය පසුගිය 27දා පියවර ගත්තේය.

මෙම ඝාත­නය සම්බ­න්ධ­යෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී කාන්තා­වක් ඇතුළු සැක­ක­රු­වන් 08 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බල­කාය, දකුණු දිසා අප­රාධ කොට්ඨා­සය සහ අම්බ­ල­න්ගොඩ පොලී­සිය මගින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, හිරාන් කෝස­ලට වෙඩි තැබී­මට යොදා ගත් රිවෝ­ල්ව­රය සහ පිස්තෝ­ලය ද කාන්තා­ව­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වූ තොර­තුරු මත සොයාගැනී­මට සමත්ව තිබේ.