පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්ගොඩ නගර සභාව සඳහා සමගි ජන බලවේගය පක්ෂයෙන් කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ හිරාන් කෝසලට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු සහ වෙඩික්කරුට පළායෑමට උපකාර කළ යතුරුපැදිකරු සැඟව සිට ඇත්තේ ඉවත් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් නිවසක බව අනාවරණය වී තිබුණද, මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කර නැත.
මේ පිළිබඳව විමසීමේදී වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි මිනුර සෙනරත් පැවසුවේ ඊට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයට බාර දී ඇති බවත්, එම අංශයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් ය. කෙසේ වෙතත් තමන් දන්නා පරිදි මෙතෙක් දේශබන්දු තෙන්නකෝන්ගෙන් ඊට අදාළ ව ප්‍රකාශයක් ලබාගෙන නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ සැකකරුවන් සැඟව සිට ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ට අයත් බව කියන මහනුවර පිහිටි නිවසක බව මේ වන විට අනාවරණය වී තිබේ. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් එම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්ද සිදු කර ඇති නමුත්, ඒ වන විට සැකකරුවන් දෙදෙනා එම නිවසෙන් පළාගොස් සිට ඇත.
කෙසේ වෙතත්, අදාළ සැකකරුවන් දෙදෙනා දෙසැම්බර් 07 දා සිට එම නිවසේ රැඳී සිට ඇති බව මුරකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බවත්, දෙසැම්බර් 22 දා හිරාන් කෝසලට වෙඩි තැබීමෙන් අනතුරුව ද ඔවුන් පළාගොස් ඇත්තේ අදාළ මහනුවර, අම්පිටියේ පිහිටි දේශබන්දු තෙන්නකෝන්ගේ බව කියන මේ නිවසට ම බව අනාවරණය වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර සැකකරුවන් පළා ගිය නමුත් නිවසේ මුරකරුගේ තොරතුරු මත සැකකරුවන් රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී එහි තිබී සැකකටයුතු සිම් කාඩ්පත් කිහිපයක් ද විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කරයි. දේශබන්දු තෙන්නකෝන්ට අයත් මෙම නිවස ඇතුළු දේපොළ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයට ලක්කර ඇති බවත්, ඒ අනුව මෙම නිවස දේශබන්දු තෙන්නකෝන්ට අයත් එකක් බව පැහැදිලිවම හඳුනා ගැනීමට හැකි වූ බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන අතර, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් විදුලි බිල්පත් සහ ජල බිල්පත් මඟින් ද නිවසේ හිමිකරු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බව තහවුරු කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන ඇති බවද සඳහන් ය.
හිරාන් කෝසලට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඔහු සමීප සම්බන්ධකම් පැවැත්වූ පාතාල අපරාධකරුවන් දෙදෙනකු වන කොස්ගොඩ සුජී සහ කරන්දෙණිය සුද්දා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බවට ද විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇති අතර, වෙඩික්කරු සහ යතුරුපැදිකරු සැඟවී සිටි බව අනාවරණය වන දේශබන්දු තෙන්නකෝන්ට අයත් බව කියන මහනුවර පිහිටි නිවසේ වහලයේ අලුත්වැඩියාවක් සිදුකරමින් ඇති බවත්, එම අලුත්වැඩියාව පිටුපස සිටින්නේ ද කරන්දෙණිය සුද්දා බවත් විමර්ශනයේ දී තොරතුරු අනාවරණය වී තිබෙන බව දිනමිණ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
ඒ අනුව මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් හිරාන් කෝසලගේ ඝාතනයේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුළුමනින්ම පැවරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පසුගිය 27දා පියවර ගත්තේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය, දකුණු දිසා අපරාධ කොට්ඨාසය සහ අම්බලන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, හිරාන් කෝසලට වෙඩි තැබීමට යොදා ගත් රිවෝල්වරය සහ පිස්තෝලය ද කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත සොයාගැනීමට සමත්ව තිබේ.

