කතන්දර පොතින් මතුවන කතන්දරය

Share post:

ළමා නිර්මාණ සෘජුවම ළමා මනෝවිද්‍යාව හා සම්බන්ධ වූවක් වන අතර එය අධ්‍යාපන මූලධර්මයන්ට ද අදා‍ළ ය. ළමුන් වෙනුවෙන් නිර්මාණයන් කිරීමේ දී ළමා මානෝවිද්‍යාව පිළිබඳ අවබෝධයක් පැවතීම වැදගත් ය. එකිනෙකාගෙන් අසා දැනගැනීමෙන් සහ පොතපතින් පමණක් නොව තම අත්දැකීම්, ක්‍රියාකාරකම් සහ ගැටලු විසඳීම මගින් ද ළමුන් දැනුම ගොඩනගා ගනී යන මූලික අදහස ඉදිරිපත් කරන ලද මනෝ විද්‍යාඥ ජින් පියාජේට අනුව දරුවන්ගේ ක්‍රියාකාරි චින්තන අවධිය වන්නේ වයස 7 සිට 11 කාලයයි. දරුවා‌ගෙ තාර්කික චින්තනය වර්ධනය වන්නේ මේ කාලයේදී වන අතර මෙය දරුවන්ගේ චින්තය ප්‍රබෝධමත් වන වකවානුව ද වේ. එහෙයින් ම ළමා නිර්මාණ යන්න දුෂ්කර සහ සීරුවෙන් කළ යුත්තක් වන්නේ ය. ළමුන්‌‌ගේ ආකල්ප, කුසලතා සහ පෞරුෂ වර්ධනය එතුළින් කළ යුතු ය. පෞරුෂ වර්ධනයේ පරිසමාප්ති කාර්යය වන්නේ, සංකීර්ණ සමාජ රටාවක් තුළ සමාජීය සහ ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණ, ශක්තිමත්, සියලු අභියෝගයන්ට ඔරොත්තු දෙන අකම්පිත නැණ ගුණය ය. ‘හොඳ නරක’ පිළිබඳ සංකල්පය ද ඊට අයත් ය. එය උපදෙස් දීමක්වත් ආගමික අර්ථයෙන් ගතයුක්තක්වත් නොවේ. ඒ තුළ ගැබ්වන සදාචාර සංකල්පය පොළඹවනු ලබන්නේ දරුවා තුළ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම වැනි පුළුල් ගොඩනැංවීමක් සඳහා ය. සෝවියට් ලේඛක මායාකොවුස්කි ද “හොඳ කුමක්ද? නරක කුමක් ද?” යනුවෙන් ළමා කෘතියක් රචනා කරන්නට ඇත්තේ එකී සංකල්පයේ වන ප්‍රබලත්වය නිසා වන්නට ඇත.

‍ළමා සාහිත්‍ය යනු ළමුන්ට උපදෙස් දෙන්නක් නොවිය යුතුය. ඒ තුළ ප්‍රධාන වශයෙන් සිදුවිය යුතුතේ යුක්තිගරුක පුරවැසියකු බිහිකිරීමට සමත් ආකල්ප වර්ධනය කිරීම ය.

ළමා ලෝකය චමත්කාරජනක ය. සත්තුන්ට, මල්වලට, ඉරට, හඳට පෙම් බඳින ඔවුන්ගේ ලෝකයේ ඒවායේ පැවත්ම ද ඔවුන්ට අනුව ජීවමානය. ළමා සාහිත්‍ය තුළින් සිදුවිය යුත්තේ මායාව වෙත නොගොස් යථාර්ථය තුළ පිහිටා ළමයාට චමත්කාරය විඳිමට ඉඩ සැලැස්වීම ය. එහෙත් අද දවසේ දරුවන් වෙනුවෙන් බිහිවන බෝහෝ නිර්මාණ දරුවන් යොදාගෙන වැඩිහිටියන්ට ආමන්ත්‍රණය කරන ඒවා හෝ දරුවන් වෙත උපදෙස් සපයන ඒවා ය.
එවැනි සංදර්භයක් තුළ “කතන්දර පොත” ළමා වේදිකා නාට්‍යය වෙත අපගේ වෙසෙස් අවධානය යොමු විය. එය නිලංක දහනායකගේ රචනයක් වන අතර නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය චන්දන අලුත්ගේගෙනි. ළමුන්ට උපදෙස් සැපයීමක්, විධාන දීමක්, ළමුන් සුමගට ගැනීම උදෙසා දරන තැතක් නාට්‍ය තුළ මුණ ගැසෙන්නේ නැත. නාට්‍ය ආරම්භ වන්නේ රෑ දොළහට වදි තැබීමට හේතුව මතක් කරයි.

“ මට මතක් වුණා මට මතක් වුණා
වෙලාව තිබ්බේ ඇයි මතක් වුණා….”

“ඔරලෝසුවේ ඉලක්කං දොළහයි
අවුරුද්දට මාස දොළහයි
පාට පෙට්ටියේ පාට දොළහයි
අදට මගෙ වයස දොළහයි

සිද්ධිය පැහැදිලි ය. ඇයට වසය දොළහ සම්පූර්ණ වී ඇත. ඇය ද ඇය සමග තව මොහොතකින් එක්වන මිතුරියන් කැළ ද ඒ හා සමාන වයස්වල විය යුතු ය. වයස ‘දොළහ’ යන්න නිකන් ම නොකියා ඔරලෝසුවෙ ඉලක්කම්, අවුරුද්දේ මාස, පාට පෙට්ටියේ පාට, වැනි දේ ගැන දරුවාට මතක් කොට දීමක් සිදු කිරීම විචිත්‍ර ය. එක අතකින් එය දරුවන්ගේ අධ්‍යාපන ඉලක්කයක් වෙත යාමකි.

ඉන්පසු කියවෙන්නේ උපන්දිනය දා කන කේක් රස කර කර කෑම ගැන ය.

“ කේකුත් නැති තෑගිත් නැති
හැඩ වැඩ ගවුමක් ඇඳ නැති
මේ ලෝකේ කොහේම හරි
ළමයෙක් ඇති මං වාගේ
උපන් දිනය සමරනු බැරි…”

එය අතිශය සංවේදී ය. ඉන් ගම්‍ය වන ‘මට තිබුණට නැති අය ඉන්නවා’ යන අදහස ළමයා අනෙකා කෙරෙහි සංවේදි වීමට කරනු ලබන පෙළඹවීමකි. ආත්මාර්ථයෙන් පිරි පරපුරක් වෙනුවට අනෙකා ගැන සංවේදි වීම කෙරෙහි යොමු කරවන්නකි.

අම්මාගෙන් ලැබෙන කේක්, මල්ලි සහ ඇයගේ මිතුරියන්ගේ පැමිණීම, තෑගි බෝග ලැබීම ආත්තම්මාගේ පැමිණිම ඉන් පසු සිදු වේ. අත්තම්මා ගෙනැවිත් ඇත්තේ කතන්දර පොතකි. එය විශේෂ පොතකි. එහි ඇති කතන්දර සජීව බවට පත්වේ. එහෙත් එහි අවසාන පිටුව පෙරළීම තහනම් ය.
ළමයි කතන්දර පොත පෙරළති. ළමුන් දන්නා චමත්කාරජනක කතන්දරවල චරිත වේදිකාව මත මැවේ. ප්‍රේක්ෂාකාගාරය ම රස ආකරයක ගිලෙති. එපා කියන දේ කිරීමට දරුවෝ රුසියෝ ය. ඔවුහු එපා කී පිටුව පෙරළති.

නිවස වෙනුවට වේදිකාවේ මැවෙන්නේ වෙනත් පරිසරයකි. දරුවන් අභිමුවට එන මිනිසෙකි.

“ තියෙනවා පොතක
අන්තිම පිටුවක
කොහෙදෝ තැනක
පාට පාට යායක
වලාකුළු කුට්ටියක
ලස්සනලන්තය
හැබැයි….
ගෙදරින් හුඟක් ඈතක ..”

ළමුන් අහන්නේ ගෙදර යන්න මොනවද කරන්න ඕන කියා ය. කළ යුතු දෙය ඔහු කියයි. දරුවන්ට මුහුණ පාන්නට වන අභියෝග ගැන ඔහු කියයි; මේ වන ගමනේදි දරුවන්ට මුණ ගැසෙන්නට නියමිත උදවිය ගැන කියයි. මකුළුවන්, කිඹුලන්, ඌරන් සහ සමනලුන් ඒ අය ය. ඔවුන්ගේ හැසිරීම්, බියවැද්දීම්, මුළාකරවීම්, රැවටීම් ඉදිරියේ බුද්ධිමත්ව කටයුතූ කළොත් ගෙදර යන්නට හැකිවන බව ඔහු පවසයි. ඔවුන් අභිමුවට එන ආගන්තුකයන් හඳුන්වා දෙන ගීත ඛණ්ඩ රමණීය ය. ඒවා සරලය; සුන්දරය.

“ වැනි වැනි ඉන්නේ
ලස්සන තැන්නේ
කරකැවි බලන්නේ
මකුලු කැකුළු කැකුළියොනේ”

“ ලස්සනට හැඩවෙලා
ඔන්න ඔහෙ ඇල වෙලා
කට ඇරං අක්කලා
කිඹුල්ලුනෙ එයාලා”

“ වටකරං කෑම ගොඩ
‌ ලෝකෙ ඇති ලොකුම බඩ
වැතිරිලා ඒක උඩ
ඌරා ගිලිනවා මඩ “

“ පාට පාට හැඩැති මල්වත්තකි
රොනින් වෑහෙනා පැණි මිහිරකි
එහි හැංගුණු තිත්ත ඇත්තකි
ඉගෙලෙනා සමනල්ලු රොත්තකි”

මේ ලුහන්සාටත්. මදාරාටත්, සිනෙලිටත්, සබීනාටත සිනෙලිගෙ මල්ලිටත් මුනගැසීමට සිදුවන්නට නියමිත බාධකයන් ය. ඔවුන් යා යුත්තේ මොවුන්ගෙ බසට නොරැවටී ලස්සනට ආශා නොකොට බිය නොවී නිර්භීතව උපක්‍රමශීලි ලෙස ස්ථානෝචිත ප්‍රඥාව වඩවා ගෙන ය.

කතන්දරය සඳහා තෝරාගෙන ඇති සතුන්ගේ ද විශේෂයක් ඇත. සමනලුන්ට දරුවෝ ආදරය කරති. සිලි ක්‍රොකඩයිල් කාටුනයෙන් කිඹුලා ද පෙපාපිග් කාටුන්හි හි ඌරන් ද ස්පයිඩර් මෑන්හි මකුළුවන් ද දරුවන්ගේ මනස් අපූරු සිත්තමකින් හැඩ ගන්වන සතුන් ය. ඔවුන්ට හුරු පුරුදු සතුන් සමග වෙනත් ගනුදෙනුවක් වේදිකාව මත සිදු වේ. එය අපූරු සිතුවමක්ව දරුවන් නිර්මාණය හා බැඳ තබයි.

ප්‍රශ්න ඇසීම් ඒවාට පිලිතුරු දීම්, ආශා හිතෙන තැන්වල වශීවීම්, ඊට එරෙහි වීම්, රස කෑම ඉදිරියේ හසුවීම්, හසු වන අයවත් බේරාගෙන පලා ඒම් ආදි බොහෝ වික්‍රම නාට්‍ය පුරා සිදුවෙයි. දරුවන් තීරණ ගන්නා විට තමන් ඇසුරු කරන පරසරය තුළින් දරුවන් ගොඩනංවාගෙන ඇති ගොඩනැංවීම් ඔවුන්ගේ තීරණ ගැනීමට ඉවහල් වන ආකාරයත් පෙන්නුම් කරයි. පොත පත තුළින් උගන්වා නැති පරිසරය හා ගැටෙමින් ලබා ගත් අත්දැකීම් තුළින් ඔවුන් තමන්ගේ අභිප්‍රාය සාක්ෂාත් කරගැනීමට සමත් වෙයි.

නාට්‍යයෙහි ඇති දෙබස් සරල ය. ඒවායේ පද ගැළපීම් කාව්‍යාත්මක ය. එහෙයින් ඒවා වහා සිත් බැඳ ගනියි.

‘ කෑවොත් බඩට නොකෑවොත් ඇඳට. මේ ඔක්කොම ඔයාලගෙ හොඳට’
‘මොකද බොලේ ඔය හෑටි කලබලෙ” උදාහරණය.

රංගවස්ත්‍ර නිර්මාණය ද ඒ සඳහා යොදා ඇති වර්ණ ද සෞම්‍ය ය. දරුවන් ඇදබැඳ තබා ගැනීමට තරම් සුන්දරත්වයක් වේදිකාව පුරා මතුවෙයි. සියල්ලන්ගේ ම රංගනය ප්‍ර‍ශස්ත මට්ටමක පිහිටා ඇති අතර කිසිවෙකු අධිරංගයක් වෙත ගමන්කරන්නේ නැත.

ළමුන්ගේ චමත්කාර ලෝකයේ මල්වලට, සතුන්ට, ගස්වලට කතා කරන්නට හැකි ය. ඒ චමත්කාරය දරුවා තුළ රඳවමින් මායා ලෝකයක් වෙත දරුවා රැගෙන නොගොසින් මහපොළව මත තබන්නට නාට්‍යකරු දරන තැත ප්‍රශංසනීය ය.

අවසානයේ දි සියලු අභියෝග ජයගෙන දරුවන් හිටි තැනට ම පැමිණෙයි. නාට්‍ය ආරම්භ වූ ගෙදර පරිසරයෙන් ම නාට්‍ය අවසන් වෙයි.
නාට්‍ය ඇත්තේ පැයකුත් මිනිත්තු දහයක් වැනි කාලයකි. දරුවකුට අවධානය එක තැනක රඳවාගැනීම‌ට එය සුදුසු කාලයකි. නාට්‍ය පුරා වැඩිවශයෙන් ගීත භාවිත වෙයි. ඒ ගීත ළමුන්ව ආකර්ශනය කිරීමට සමත් තනුවෙන් සහ සංගීතයෙන් යුතු ය. “කතන්දර පොත” කතා කරන්නේ ළමුන්ටම ය. කිසිම තැනකදි ළමුන් හට උපදෙස් දීමක් ළමුන් සුමගට ගැනීමට දරන තැතක් එතුළින් සිදු නොවෙයි. දරුවන්ගේ පෞරුෂ වර්ධනය උදෙසා නාට්‍යයෙන් මහත් පිටුබලයක් සපයයි.

අප බහුතරයක් මුහුණ දෙමින් සිටින්නේ අනන්‍යතා අර්බුදයකට ය. අද දවසසේ වැඩිපුර ම ඉන් බැට කන්නේ ළමුන් ය. එවන් තත්වයක් තුළ අනන්‍යතාවක් කෙසේවත් නොමැති ළමුන්ට අන්‍යතාව ලබා දීම “කතන්දර පොතින්” සිදුවන විශේෂම දෙය වෙයි.

හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ

Related articles

ළහිරු දෙද්දුවකුමාරගේ “සංස්පර්ශ”

අපේක්ෂා දනවන කවියකුගේ ආගමනය. මෙතෙක් අන් විවිධ මාධ්‍යවලින් අපට මුණගැසුණ ළහිරු දෙද්දුවකුමාර කවියා, දැන් සිය ප්‍රථම කාව්‍ය එකතුව පාඨකයන්ට...

“දැන් කවුරුහරි මට එයාගෙ දෑත් දිගු කළොත් මම පොඩි දරුවෙක් වගේ වැලපෙයි” – ඇල්බෙයා කැමූ

වයස අවුරුදු 17දී ඔහුට ක්ෂය රෝගය හැදුණා. ඒ නිසා ජීවිත කාලෙම ඔහු පසුවුණේ දුර්වල සෞඛ්‍ය තත්වයකින්. හැබැයි ඔහු...

තැන්නේ ඤානානන්ද හිමියන්ගේ ‘පන්සලේ මල්සරා’ ගැන වචනයක්

සිංහල සාහිත්‍ය ගැන කතා කරන විට අපට යතිවර දායකත්වය අමතක කළ නොහැකි දෙයකි. සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස...

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...