ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයකු සිය රාජකාරි ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබිණි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔවුන් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත. මේ සැකකාර කොස්තාපල්වරයාට ආධාර සහ අනුබල දුන් බවට තවත් පොලිස් කොස්තාපල්වරයකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සෙනසුරාදා දිනයේ සිය රාජකාරි ගිනිඅවිය ද සමග ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අතුරුදන් වීමේ සිදුවීමක් වාර්තා වූ අතර, මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ඩුබායි බලා පිටත් ව ගොස් ඇති බවයි.
මේ සිදුවීමට මව සහ පියා ආධාර අනුබල ලබාදී ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකිය. කෙසේ වෙතත් පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදී වාර්තා වූයේ එසේ සම්බන්ධයක් නැති අවස්ථාවලදී ද පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවයි. මීට අදාළ මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වේ. මීට අදාළ තීන්දු ගණනාවක් ද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇත. මේ ලිපිය ඒ සම්බන්ධයෙනි.
සහෝදරයා වෙනුවට සහෝදරිය රඳවා ගැනීම
සැකකරුවකු පොලිසියට පැමිණෙන තුරු ඔහුගේ සහෝදරියක පොලිසියේ රඳවා තබාගැනීමට උත්සාහ කිරීමෙන් කොට්ටාව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි වරක් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එම නිලධාරීන් දෙදෙනාගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂය බැගින් අදාළ කාන්තාවට ගෙවන ලෙස ද අධිකරණයෙන් නියෝග කෙරිණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් මේ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. 2012 වසරේ අගෝස්තු 09 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සිදුවූ මේ සිදුවීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම එම වසරේ ම ගොනුකර තිබිණි. කෙසේ වෙතත් පෙත්සම විභාගයට ගෙන තිබුණේ ඊට වසර 09කට පසු 2021 අගෝස්තු 09 වැනිදා ය.
කොට්ටාව පොලිසියේ එවකට සේවය කළ කොළොම් මුහන්දිරම්ගේ සිසිර නම් සංවර්ධන සහකාරවරයෙක්, දිසානායක මුදියන්සේලාගේ උපාලි සෙනරත් දිසානායක නම් කොට්ටාව පොලිසියේ එවකට වැඩ බලන ස්ථානාධිපතිවරයා, නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාලිය ද සිල්වා, හෝමාගම දකුණ සහකාර පොලිස් අධිකාරි සේනාපති, පොලිස්පති සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටියහ.
මේ පෙත්සම ඉදිරිපත් කර ඇති කාන්තාව කොස්වත්තේ පදිංචිකාරියක වූ අතර, එවකට ඇය හත් හැවිරිදි දරුවකුගේ මවක් වූවාය. 2012 අගෝස්තු 09 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පස්වරු පහට පමණ මෙම කාන්තාවට දුරකතන ඇමතුමක් පැමිණ ඇති බවත්, තමන් කොට්ටාව පොලිසියේ නිලධාරියකු ලෙස ඔහු හඳුන්වා දුන් බවත්, කාන්තාවගේ සහෝදරයා හදිසි අනතුරකට මුහුණ දීම නිසා රෝහල් ගත කළැයි ඔහු ප්‍රකාශ කළ බවත් මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වී තිබේ.
සහෝදරයාගේ තත්ත්වය විමසූ විට ඒ ගැන නිශ්චිත යමක් ප්‍රකාශ නොකළ අදාළ නිලධාරියා, සහෝදරයාගේ පසුබිම් විස්තර විමසා, රෝහලට නොගොස් පොලිසියට පැමිණෙන ලෙස කාන්තාවට දැනුම් දී තිබේ. ඒ සමග ම ඇය ඥාතියකුට මේ බව දැනුම් දී ඇති අතර, සහෝදරයා කතා කර පවසා ඇත්තේ තමන් අනතුරකට ලක්නොවූ බවයි. සහෝදරයා ගැන විමසුවේ ඇයි දැයි දුරකතන ඇමතුම දුන් පොලිසියේ යැයි හඳුන්වාගත් නිලධාරියාගෙන් විමසූ විට, ඔහු කියා ඇත්තේ පස්වරු හය පසුවීමට පෙර පොලිසියට පැමිණෙන ලෙසයි.
තමන්ට අපහසුතා ඇති බැවින් හය වන විට පැමිණීමට නොහැකි බව ඇය දැනුම් දී තිබේ. එවිට පොලිසියේ යැයි හඳුන්වා ගත් පුද්ගලයා දැනුම් දී ඇත්තේ පොලිසියට නොපැමිණියහොත් ඇගේ සහෝදරයාට සහ පවුලේ සාමාජිකයන්ට අපහසුතාවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි. ඒ ගැන බියට පත්වූ කාන්තාව පස්වරු 5.30ට පමණ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි තම දරුවා ද රැගෙන පොලිසියට ගොස් තිබේ.
ඇය පොලිසියට ගිය පසු පළමුවැනි වගඋත්තරකරු ලෙස සඳහන් පොලිසියේ යැයි හඳුන්වා ගනිමින් දුරකතන ඇමතුම දුන් පුද්ගලයා පවසා ඇත්තේ සහෝදරයාට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඔහු කඩිනමින් පොලිසියට ඉදිරිපත් කරන ලෙසයි. පෙත්සම්කාර කාන්තාව ඒ සඳහා පසු දිනය තෙක් කල් ඉල්ලා ඇති අතර, සහෝදරයා පැමිණෙන තුරු ඇය පොලිසියේ රඳවා තබාගන්නා බවට තර්ජනය කර ඇත.
‘මල්ලි පොලිසියට අරගෙන එනකල් අපි යන්න දෙන්නෙ නැහැ. දන්නවානෙ මේක පොලිසිය. මල්ලිව ගෙනාවෙ නැත්නම් පස්සෙ හුඟක් කරදර වෙන්න වෙයි’ යනුවෙන් පළමුවැනි වගඋත්තරකරු තර්ජනය කළ බව පෙත්සම්කාර කාන්තාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වෙයි. සහෝදරයා සොයාගැනීම සඳහා ජීප් රියේ යෑමට පැමිණෙන ලෙස පළමුවැනි වගඋත්තරකරු දැනුම් දුන් බවත්, එම අවස්ථාව වන විට දෙවැනි වගඋත්තරකරු පොලිස් ස්ථානයේ සිට ඇති බවත් පෙත්සමේ සඳහන් ය.
පොලිසියෙන් ලැබුණු දුරකතන ඇමතුම ගැන දැනුම් දුන් මෙම කාන්තාවගේ ඥාතියා නීතිඥවරියක කැඳවාගෙන පොලිසියට පැමිණ ඇති බවත්, කාන්තාව පොලිසියේ රඳවා තබාගැනීමට හේතුව නීතිඥවරිය විමසූ විට ඇය කැමැත්තෙන් පොලිසියේ සිටි බවට වගඋත්තරකරුවන් ප්‍රකාශ කළ බවත්, ඇයට එරෙහිව පැමිණිල්ලක් ඇත්දැයි විමසූ විට පැමිණිල්ලක් නැති බව පොලිසිය ප්‍රකාශ කළ බවත්, පසුව නීතිඥවරිය ඇය පොලිස් ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවත් පෙත්සම සහ නීතිඥවරියගේ දිවුරුම් ප්‍රකාශය උපුටා දක්වමින් නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.
පළමුවැනි වගඋත්තරකරු කොට්ටාව පොලිසියට අනුයුක්තව සේවය කළ සංවර්ධන සහකාරවරයකු බවත්, ඔහුට කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට බලයක් නැති බවත්, ඔහුගේ රාජකාරිය වී ඇත්තේ පැමිණිලි ලැබුණු පසු පොලිස් ස්ථානයේ විමර්ශන කරන පොලිස් නිලධාරීන් වෙත ඒවා යොමුකිරීම පමණක් බවත් වගඋත්තරකරුවන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ව ඉදිරිපත් කළ ලේඛනවල සඳහන් වේ.
එසේ තිබියදී ඔහු නීතිය ඉක්මවා කටයුතු කර ඇති බව මූලික අයිතිවාසිකම් පෙත්සම් තීන්දුවේ සඳහන් වෙයි.
දෙවැනි වගඋත්තරකරු පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වී ඇත. පොලිස් ස්ථානය භාරව කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ සියලුම කාර්යයන් සඳහා පෞද්ගලිකව වගකිව යුතු බව උක්වත්ත එදිරිව මාරසිංහ සහ තවත් අය නම් පැරණි තීන්දුවක් උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි.
පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස නීතිමය විශ්ලේෂණයක් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, අවසන් වශයෙන් තීන්දු කර ඇත්තේ එම වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(1) යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්කාර කාන්තාව විෂයයෙහි උල්ලංඝනය වී ඇති බවයි.
සැකකරු වෙනුවට බිරිඳ සහ දරුවා රැගෙන ඒම
මේ අතර පාඨලී චම්පික රණවක හිටපු ඇමැතිවරයාගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් වර්ගින්ටන් ද සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙදරාලලාගේ අජිත් ශාන්ත මෙත්තානන්ද යන දෙදෙනා එම රියදුරුගේ බිරිඳගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ද මෙවැනි සිදුවීමක් සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩු විභාගයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඒ අනුව එම කාන්තාවට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙසත්, ඇයට තවත් රුපියල් දස දහසක් රජය වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති අරමුදල්වලින් ගෙවන ලෙසත් නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වාට සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත මෙත්තානන්ද යන දෙදෙනාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළේය.
එසේම මෙම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයක් ගන්නා බව තම තීන්දුවේ සඳහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, ජාතික පොලිස් කොමිසමට උපදෙස් දී ඇත්තේ පොලිසියේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් සිල්වා අධිකරණයේ කළ ප්‍රකාශයක් ගැන මෙහිදී සඳහන් කර ඇති අධිකරණය අවධාරණය කර ඇත්තේ මෙවැනි නිලධාරීන්ගේ ප්‍රකාශ මගින් පෙන්නුම් කරන්නේ නිලධාරීන් තුල ඇති භයානක ආකල්ප බවයි.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා වන අතර, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එම තීන්දුවට එකඟත්වය පළකර තිබේ.
රාජගිරිය ප්‍රදේශයේ දී 2016 වසරේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඇමැති පාඨලී චම්පික රණවකට සහ ඔහුගේ රියදුරට එරෙහිව 2019 ජනාධිපතිවරණයෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කළේය. විදුලිබල මණ්ඩලයට අනුයුක්තව සිටි දිලුම් තුසිත කුමාර 2016 වසරේ දී පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙස කටයුතු කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්වී මාසයකට පමණ පසු, එනම් 2019 දෙසැම්බර් 15 වැනිදා නිල ඇඳුම් සහිත සහ සාමාන්‍ය ඇඳුම් සහිත කොළඹ අපරාධ කොට්ඨාසයට සහ ඉමදූව පොලිසියට අනුයුක්ත යැයි ප්‍රකාශ කළ පොලිස් නිලධාරීන් පිරිසක් එම දිලුම් තුසිත කුමාරගේ බිරිඳගේ මවගේ නිවසට ගොස් තිබේ. ඒ වන විට බිරිඳ තම අවුරුදු දෙකක් පමණ වන සිඟිත්තා සමග මවගේ නිවසේ සිටියාය.
රාත්‍රී 9.30ට පමණ නිවසට ගිය එම පොලිසියේ යැයි කියන පිරිස බිරිඳට දැනුම් දී ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයාගෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බවයි. ඔහු නිවසේ නැති බව ප්‍රකාශ කළ විට ඔහුට දුරකතන ඇමතුමක් ලබා ගන්නා ලෙස ඔවුන් දැනුම් දී තිබේ. ඒ අනුව සැමියාට දුරකතන ඇමතුමතක් ගත් විට තම දුරකතනයෙන් පොලිසිය ඔහු සමග කතා කළ බවත්, තමා බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ සිටින බවට සැමියා පොලිසියට දැනුම් දුන් බවත්, ඊට පිළිතුරු දෙමින් ‘ඔයාගෙ වයිෆ් සහ ළමයා පව්’ යනුවෙන් ප්‍රකාශ කර ඔහු ප්‍රකාශය ලබාදීමට පැමිණෙන තෙක් ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක කර තබන ලෙසට පොලිසිය දැනුම් දුන් බවත් පෙත්සම්කාර බිරිඳ තම පෙත්සමේ සඳහන් කර තිබේ.
පොලිසිය සහ රියදුරුගේ දුරකතන සංවාදය අතරතුර රියදුරුගේ දුරකතනයේ බැටරි අවසන් වී ඇමතුම විසන්දි වී ඇති අතර සැමියා දුරකතනය හරහා සම්බන්ධ කර ගැනීමට නොහැකි නිසා ඇයට කොළඹට යාමට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දී ඇත. තම කුඩා දරුවා නිවසේ දමා තමාට කොළඹ යෑමට පැමිණිය නොහැකි බව ඇය පොලිසියට දැනුම් දුන් පසු පොලිසිය යළිත් දැනුම් දී ඇත්තේ දරුවා රැගෙන කොළඹ යාමට පැමිණෙන ලෙසයි. තම සිගිත්තා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනා බැවින් දරුවා කැටුව යාමට නොහැකි බව ඇය යලිත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් පොලිසිය තමන් සමග යාමට පැමිණෙන ලෙස ඇයට බලෑම් කර ඇති අතර අවසානයේ ඇය තම මව සහ දරුවා කැටුව පොලිසිය සමග ගොස් ඇත.
ඒ අනුව මධ්‍යම රාත්‍රී 12.45ට පමණ ඔවුන් කැටුව පොලිසිය පිටත්ව ගොස් ඇති අතර අලුයම 4.30ට පමණ බත්තරමුල්ල ජයන්තිපුරට ළඟා වී ඇති බව පෙත්සමේ සඳහන් වේ. එතැන් සිට පැය තුනක් පමණ ජයන්තිපුර නතර කර තිබූ පොලිස් වාහනය උදෑසන 7.45ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගොස් තිබේ. ඉන් පසු උදෑසන 10ට පමණ යළිත් වරක් මෙම පිරිස රැගෙන දෙමටගොඩින් පිටත්ව දහවල් 12ට පමණ ඉමදූවේ ඔවුන්ගේ නිවසට ළඟවී ඇති පොලිසිය පසුව ඔවුන් නිවසින් බස්සවා පිටව ගොස් ඇත.
මෙවැනි සිදුවීම් නීතියේ ආධිපත්‍යය නොව නිල ඇඳූම් ආධිපත්‍යය පිළිබඳ බරපතළ සිදුවීම් වන අතර, ඒවා වෙනස් කිරීමට වගකිවයුතු සියල්ලන් මැදිහත් විය යුතුය.
- ශාලික විමලසේන