මනුෂ්‍යත්වය ඉහළ දැමීම වෙනුවෙන් ලිවීම

Share post:

දේවි ගාල්ලගේ ලිවීමේ කලාව ජීවන කලාවෙහි මුඛ්‍යාංගයක් බවට පත් කරගත් ලේඛකයෙකි. කවිය, පරිවර්තන සාහිත්‍යය සහ ගීතය යනාදී ක්ෂේත්‍ර කිහිපයක ඔහු තම ප්‍රතිභාව විශද කරයි. එමෙන්ම ඔහු සාහිත්‍ය වැඩසටහන් සඳහා තම දායකත්වය ලබාදෙන දක්ෂ සංවිධායකයෙකි. පූරකයෙකි. හිත හොඳ මිතුරෙකි.
“මනුෂ්‍යත්වය ඉහළ දැමීම”ඔහුගේ නවතම කෘතියයි.

මේ කෘතියෙහි අන්තර්ගත වන්නේ එතෙර ලේඛකයන්ගේ නිබන්ධ සමුච්චයක සිංහල පරිවර්තනයි. පොත්පත් කියවීම, සාහිත්‍ය පරිශීලනය, දැනුම හා බුද්ධිය,තාක්ෂණය යනාදී වශයෙන් වෙනස් තේමා සේ පෙනෙන එහෙත් එකිනෙකට සම්බන්ධයක් ඇති විෂය ක්ෂේත්‍ර මේ ලිපිවලට ප්‍රස්තුත වෙයි. ලේඛක ලේඛිකාවන් 12 දෙනකුගේ නිබන්ධ මෙහි අන්තර්ගත වෙයි. මෙයින් දෙදෙනෙකු හැර සෙසු අය දිවමන් ව සිටීම වැදගත් වෙයි.
ඉංග්‍රීසි ජාතික කතුවරයෙකු වන නීල් ගයිමන් කියවීම පිළිබඳ ලියූ ලිපියෙහි මෙසේ සඳහන් වෙයි.

“ප්‍රබන්ධ දෙයාකාරයක ප්‍රයෝජනයක් දරයි. ප්‍රථම ව එය කියවීමට ප්‍රවේශය සදන මත්ද්‍රව්‍යයකි. ඊළඟට සිදුවන දේ දැනගැනීමට ඇති වන පෙලඹීම, පිටුව පෙරළීමට ඇති වුවමනාව, ඉදිරියට යෑමේ අවශ්‍යතාව, වෙහෙසකර වුව ද ප්‍රබන්ධයේ චරිතයක් අර්බුදයක පැටලී සිටින හෙයින් එහි අවසානය කුමක් වනු ඇත්දැයි දැනගැනීමේ උනන්දුව….එය ඉතා සැබෑම සැරුමකි, පරිශ්‍රමයකි.එය ඔබට නව වදන් ඉගෙනුමට,නව සිතුවිලි සිතන්නට නොනැවත යෑමට බල කරයි..
(13)පිටුව
කලාව කලාව සඳහා ය යන මතයෙහි පිහිටමින් තම සාහිත්‍ය භාවිතය සාරවත් කළ ඊ.එම්.පෝස්ටර් ලියූ “කලාව කලාව සඳහා”මැයෙන් මෙහි ඇතුළත් නිබන්ධය මෙම විෂය සම්බන්ධයෙන් විවාදාපන්න අදහස් දරන පාඨක මනදොල සපුරාලන්නකැයි සිතමි.ඔහු මෙසේ ලියයි.
“කලාව, කලාව සඳහා යන්නෙන්, වැදගත් වන්නේ කලාව පමණක් ය යන්න ගම්‍යමාන නොවන අතර, එබඳු ම තවත් අදහස් කීපයක් ප්‍රතික්ෂේප කරන්නට මම කැමැත්තෙමි. ඒවා’කලාවේ ජීවිතය’,’කලාව සඳහා ජීවත් වීම’,හා ‘කලාවෙි මහා මෙහෙය’වැනි දේය. ඒවා අප අවුලටත් නොමඟටත් හෙළයි.
(80 පිටුව)
2012 වසරේ බොල්ගොඩ පැවති මකරන්ද සාහිත්‍ය උලෙළ සඳහා මහා භාරත මාතාව නියෝජනය කරමින් පැමිණි මහාචාර්ය මම්තා ජී.සාගර් කළ දෙසුම ද මේ කෘතියට ඇතුළත් ය.එම වැඩසටහනේ පූරක කාර්යට ද දායක වෙමින් පරිවර්තන වගකීම ඉටු කළ දේවි,
මම්තාගේ විවරණය මේ කෘතියට එක් කිරීම පාඨකයකු හැටියට මගේ සන්තුෂ්ටියට ද හේතු වෙයි.
මෙහි ඇතුළත් ඔස්ට්‍රෙිලියානු ලේඛිකා ඇන්ටෝනියෝ කේස් අන්ර්ජාලයට ලියූ “ඔබේ ජීවිතය ඔබයි, අන් කිසිවක් නොවෙයි”මැයෙන් යුත් නිබන්ධය සුවිශේෂ වන්නේ විව්ධ සාහිත්‍ය න්‍යාය සහ දර්ශනවාද හැදෑරීමෙන් අලුත්වුණු චින්තනනය ඔස්සේ කරුණු දැක්වීම සහ එයින් උත්පාදිත නැවුම් අදහස් අනුව ය.
“ජීවිතය යනු තෝරාගැනීම් මාලාවක් ය. මේ තේරීම් ජීවිතය අර්ථ සම්පන්න කරන්නේ ය. (හෝ නොකරන්නේ ය.)යන කියකගාඩ්ගේ තර්කය සාංදෘෂ්ටිකවාදයේ පදනම් ගලකි. වගකීම සමාජය හෝ ආගම මත හෝ පටවනවා වෙනුවට,තමන්ගේ ජීවිතය අර්ථවත් කර ගැනීම හා සත්‍ය ලෙස ම ඒ ජවිතය ගෙවීම සෑම පුද්ගලයෙකුගේ ම එකලා වගකීම වන්නේ ය.
(73පිටුව)

මෙය දේවි ගාල්ලගේ ලියූ 16 වැනි කෘතියයි. ඔහු කාලය අපතේ නොයවන, සූක්ෂ්මාත්මතාගුණ සම්පන්න ලේඛකයෙකි. මේ කුඩා සටහන ඔහුගේ කැපවීමට ආදරය කරමින් කෘතිය කියවීම සඳහා ඔබට කරන ඇරියුමකි.

තිඹිරියාගම බණ්ඩාර

තිඹිරිගෙදරදී ය.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...