අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු තවදුරටත් එම ධුරයේ සිටීමෙන් අධිකරණයට සිදුකරන බලපෑම කෙබඳු ද?

Share post:

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ගත් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 12දා තීන්දු කළේය.

2024 වසර මුලදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩුවක් ඇතිවිය. එය පිරවීමට එවකට සිටි අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ නමක් නිර්දේශ කර ව්‍යවස්ථා සභාවට යොමු කළේය. ඒ සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නම නිර්දේශ විය. රනිල් වික්‍රමසිංහ එම නිර්දේශය 2024 ජනවාරි මාසයේ අග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළේය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එය ප්‍රතික්ෂේප කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද විනිසුරුවරයාට එරෙහි චෝදනා කිහිපයක් ගැන ඒ වන විට කතාබහක් නිර්මාණය වී තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිර්මාණය වී ඇත්තේ කතානායකවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායක, විපක්ෂ නායකවරයාගේ නිර්දේශය පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, විපක්ෂයේ සෙසු පක්ෂවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සිවිල් සාමාජිකයන් තිදෙනකුගෙනි. පසුගිය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවට විපක්ෂයේ සෙසු පක්ෂවලින් කෙනකු පත් කර නොතිබිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එවූ නිර්දේශයට එවකට ව්‍යවස්ථා සභාවේ සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපතිගේ නියෝජිත නිමල් සිරිපාල ද සිල්වා සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සාගර කාරියවසම් යන පිරිස පක්ෂව ඡන්දය ලබා දුන් අතර, විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් සහ සිවිල් නියෝජිතයන් තිදෙනා වන දිනේෂා සමරරත්න, පී. රාමනුජන්, අනුලා විජේසුන්දර යන පිරිස රනිල් වික්‍රමසිංහගේ යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ. ඒ අනුව බහුතර තීන්දුවෙන් රනිල් වික්‍රමසිංහ එවූ නාමය ප්‍රතික්ෂේප විය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිර්දේශය ව්‍යවස්ථා සභාව අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට සුදුසු වෙනත් අයකුගේ නමක් ව්‍යවස්ථා සභාවට යොමු කිරීමයි. කෙසේ වෙතත් එතැන් සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු කිහිපයක් ඇති වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනත් යමක් යෝජනා කර යැවීම සිදු කළේ නැත.

අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව සඳහා නිර්දේශ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරන ලද නිර්දේශය සාධාරණ හේතු නොමැතිව ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, එමගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවත් කියමින් නීතිඥවරයකු ද වන බුළුගහ පතිරන්නැහැලාගේ සරිත් මහීපුත්‍ර පතිරත්න නම් පුද්ගලයා පෙබරවාරි 14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ජනාධිපතිවරයාගේ නිර්දේශය දෙවරක්ම ව්‍යවස්ථා සභාව ප්‍රතික්‍ෂේප කර තිබූ බව ද එමගින් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති සැමට සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම් එනම් 12 (1) ව්‍යවස්ථාව අනුව හිමිකම් දී ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ද පෙත්සමේ සඳහන් විය.

මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අදාළ පුරප්පාඩුව සඳහා වෙනත් විනිසුරුවරයකු පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා තිබිණි. මෙම නිර්දේශය කර ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම සියලු‍ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බවත්, එසේ තිබියදීත් එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමෙන් ව්‍යවස්ථාදායක සභාව අධිකරණයේ ස්වාධීනත්වයට යම්කිසි බලපෑමක් කර ඇති බවත් පෙත්සමේ සඳහන් විය.

ව්‍යවස්ථා සභාවේ මෙම තීරණය හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ද ඉල්ලා තිබිණි.

මෙම පෙත්සම අප්‍රේල් 30 වැනිදා කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ අතර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් අගවිනිසුරු ධුරය හැර අනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් පත්කිරීම හෝ ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කිරීම වළක්වමින් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අදාළ පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු එකී අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක විය යුතු බවට ද එම අතුරු තහනම් නියෝගය පරිදි කටයුතු කරන්නැයි ව්‍යවස්ථා සභාවට ද නියෝග කෙරිණි. එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

එදින පෙත්සම්කාර නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ ශහීඩා බාරී, මෙරාන් කරීම්, අමිල පෙරේරා සහ නවීන් මහරච්චිගේ සමග ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනීසිටියහ. ජනාධිපතිවරයා වෙනුවෙන් නම් කර ඇති නීතිපතිවරයා වෙනුවෙනුත්, කතානායකවරයා, අගමැතිවරයා, ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා සහ ආණ්ඩුවේ නියෝජිතයා වෙනුවෙනුත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා පෙනීසිටියාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙනුවෙන් නීතිඥ අර්මිසා ටීගල් සමග ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් පෙනී සිටි අතර, ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා වෙනුවෙන් ආචාර්ය ජනාධිපති නීතිඥ කනගීෂ්වරන්, ජනාධිපති නීතිඥ විරාන් කොරයා, නීතිඥ ලක්ෂ්මන් ජේ. කුමාර් සහ නීතිඥ අර්මිසා ටීගල් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

ඉන්පසු ජුනි 25 වැනිදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතරමැදි පෙත්සම්කරුවන් වශයෙන් ආචාර්ය මහීම් මෙන්ඩිස් සහ දඹර අමිල හිමි ඇතුළත් කිරීමට ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සහ ජනාධිපති නීතිඥ ඩැනියෙල් පිලිප් ඉල්ලා සිටි අතර ඒ අනුව ඊට ද අවසර ලැබිණි.

පෙත්සම විභාගයට ගැණුනේ ප්‍රීති පත්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ ය. ජූලි 25 වැනිදා නඩුව විභාගයට ගෙන අවසන් කෙරිණි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ පසුගිය 12 වැනිදා ය. තීන්දුව ලබාදෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශයට ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබානොදීම මගින් කිසිවකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී නැතැයි ශේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර, පෙත්සම නිශ්ප්‍රභ කිරීමට ද නියෝග කළේය. රනිල් වික්‍රමසිංහ ව්‍යස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නිවැරදි තීරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම යහපත් චේතනාවෙන් ඉදිරිපත් කළ පෙත්සමන් නොවන බවත්, මෙය මහජන ශුබසිද්ධියට සම්පූර්ණයෙන් පටහැනි පෙත්සමක් බවත් තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනාට රුපියල් ලක්ෂ පහ බැගින් ලක්ෂ 15ක නඩු ගාස්තු ගෙවන ලෙස පෙත්සම්කාර නීතිඥවරයාට නියෝග කළ අතර රජයට රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද නියෝග කළේය.

මෙම තීන්දුව ලබාදීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය, ව්‍යවස්ථා සභාවේ බහුතර සාමාජිකයන් විසින් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් කළ හේතු ගැන දීර්ඝව සාකච්ඡා කර තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම සඳහා යෝජනා කර යැවූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එල්ල වූ එක් චෝදනාවක් වූයේ පාස්ටර් ජෙරම් ප්‍රනාන්දුගේ රිට් නඩුවක් ඉල්ලා අස්කරගෙන තිබියදී එම කරුණටම අදාළ ව තවත් නඩුවක් තමන් ඉදිරියට ගැනීමයි. තමන් අයීසීසීපීආර් හෙවත් දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලමින් පාස්ටර් ජෙරම් ප්‍රනාන්දු රිට් පෙත්සමක් ගොනු කර තිබුණු අතර, එය කැඳවීමට ලැයිස්තු ගත කර තිබුණේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ ය. කෙසේ වෙතත් අදාළ දිනයේදී නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයාට රාජකාරි කටයුත්තකට විදෙස් ගත වීමට සිදුවී තිබුණු බැවින් වැඩබලන සභාපති විනිසුරු ලෙස සිටි වෙනත් විනිසුරුවරයකු ඉදිරියේ පෙත්සම කැඳවිණි. මෙය හදිසි නඩුවක් ලෙස මුලින් කියා තිබුණද 2023 ජුනි 21 වැනිදා වැඩබලන සභාපති විනිසුරු ඉදිරියේ පෙත්සම කැඳවූ අවස්ථාවේ කිසිදු හේතු දැක්වීමකින් තොරව එම නඩුව ඉල්ලා අස්කරගෙන තිබිණි.

පසුව එම කාරණය සම්බන්ධයෙන්ම තවත් රිට් පෙත්සමක් එම පෙත්සම්කරු ම, එනම් පාස්ටර් ජෙරම් ප්‍රනාන්දුම ගොනු කර තිබුණු අතර එය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ ලැයිස්තු ගත කර ඔහු ඉදිරියේදීම කැඳවන ලදී. එහිදී මෙම පෙත්සමෙහි සඳහන් කරුණු ගැන මීට පෙර පෙත්සමක් ගොනු කර ඉල්ලා අස්කර ගත් බවත්, මේ කරුණම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවත් කියමින් නීතිපතිවරයා විරෝධය පළ කළේය. එම විරෝධය නොතකමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයා පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදුන්නේය. ඒ අනුව මෙය රනිල් වික්‍රමසිංහ නාම යෝජනා කළ විනිසුරුවරයාටම එම නඩුව ඇසීම සඳහා විනිසුරු මඩුලු‍ වෙනස් කර ගැනීමේ උපක්‍රමයක් ලෙස නීතිපතිවරයා කර ඇති ප්‍රකාශය මෙම නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය බරපතළ ලෙස සැලකිල්ලට ගෙන තිබේ.

ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලිමන් ගොනු කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයා ලියූ නඩු තීන්දුවේ බහුතර කොටස් ලිඛිත දේශනවලින් ‘කොපි-පේස්ට්’ කර ඇති බවට ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන්වීම ද මෙම තීන්දුවේදී සැලකිල්ලට ලක් කර තිබේ.
මෙවැනි චෝදනා එල්ල වන විනිසුරුවරයකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කරද්දී ව්‍යවස්ථා සභාව ඒවා සලකා බැලීම සහ ඒවා සලකා බලා එම පත්කිරීම අනුමත නොකිරීම ව්‍යවස්ථානුකූල බව අධිකරණ තීන්දුවේ පැහැදිලිව සඳහන් වේ.

මෙම පෙත්සම මහජන ශුබසිද්ධියට අදාළ යැයි ප්‍රකාශ කළ ද එය මුළුමනින්ම මහජන ශුබසිද්ධියට විරුද්ධ පෙත්සමක් බව ද, පෙත්සම යහපත් චේතාවෙන් ගොනු කර නැතැයි ද අධිකරණය මෙහිදී සඳහන් කර තිබේ.

  • www.medialk.com

Related articles

මනුෂ්‍යත්වය ඉහළ දැමීම වෙනුවෙන් ලිවීම

දේවි ගාල්ලගේ ලිවීමේ කලාව ජීවන කලාවෙහි මුඛ්‍යාංගයක් බවට පත් කරගත් ලේඛකයෙකි. කවිය, පරිවර්තන සාහිත්‍යය සහ ගීතය යනාදී ක්ෂේත්‍ර...

පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව

මෙම ඡායාරූපය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය සම්බන්ධ ඊයේ නිකුත්වූ වීඩියෝ දර්ශණයක් ඇසුරින් උපුටා සමාජ මාධ්‍යයන්හි පලවන...

IIHS ආයතනය නව අධ්‍යාපන වැඩසටහන් රැසක් තුළින් සෞඛ්‍ය වෘත්තිකයන් බලගන්වයි !

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්...

අන්තර්ජාතික ප්‍රජාවේ සහාය දිනාගැනීමේ ආණ්ඩුවේ අභියෝගය !

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සතියේ සිය පළමු විදෙස් සංචාරය ඉන්දියාවේ සිදුකරමින් සිටී. ඉන් අනතුරුව ඔහු, කඩිනමින් චීනයේ සංචාරයකද...