ට්‍රම්ප්ගේ සාර්ථකත්වයට වඩා කමලා හැරිස්ගේ අසාර්ථක බව ඉස්මතු වූ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලය සහ ලංකාවේ පාර්ලිමේන්තු ඡන්දය !

Share post:

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් යළිත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. ඒ, රිපබ්ලිකන් පක්ෂයෙනි. ඒ අනුව එරට 47 වැනි ජනාධිපතිවරයා වන්නේ ට්‍රම්ප් ය.

මෙහිදී ට්‍රම්ප්ගේ ඇති විශේෂ ම කරුණ වන්නේ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කොට, ජනාධිපතිවරණයක් පරාජයට පත්වී, ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමයි. ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ මෙවැනි තවත් එක් අවස්ථාවක් ඇත. 1885 වසරේදී එරට ජනාධිපති ධුරයට පත්වූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ස්ටීවන් ග්‍රෝවර් ක්ලෙව්ලෑන්ඩ් ය. 1889 ජනාධිපතිවරණයෙන් ඔහු පරාජයට පත්වූ අතර, යළිත් 1893 සිට 1897 දක්වා එරට ජනාධිපති ධුරය දරන ලද්දේ ක්ලෙව්ලෑන්ඩ් ය.

එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වීමට එරට පවතින ක්‍රමය අනුව ඡන්ද විද්‍යාල 270ක් ජයග්‍රහණය කළ යුතුය. ට්‍රම්ප් මේ මැතිවරණයෙන් ඡන්ද විද්‍යාල 295ක ජයග්‍රහණය ලබාගත් අතර, ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඩිමොක්‍රටික් පක්ෂයේ කමලා හැරිස් ලබාගත්තේ ඡන්ද විද්‍යාල 226ක ජයග්‍රහණය පමණි. 2020 ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබාගත හැකි වූයේ ඡන්ද විද්‍යාල 232ක බලයයි. එහිදී ප්‍රතිවාදී ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 306ක් ජයග්‍රහණය කළේය. 2016 වසරේ සිට 2020 දක්වා ද එරට ජනාධිපති ධුරය දැරුවේ ට්‍රම්ප් ය. ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෙවරක් ජනාධිපති ධුරය දැරිය හැකිය.
ට්‍රම්ප් ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස තෝරාගත්තේ ජේ.ඩී. වෑන්ස් ය. ඔහු ද ට්්‍රම්ප් මෙන්ම ජාතිකවාදී අදහස් දරන්නෙකු ලෙස ප්‍රකට ය. තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉතා ඉක්මනින් රුසියන් – යුක්‍රේන යුද්ධය අවසන් කරන බව ඔහු කියා තිබිණි. ඊශ්‍රායල් – පලස්තීන ගැටුමේදී තමන් ඊශ්‍රායලයට සහාය පළකරන බව ද ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතු අතර ප්‍රසිද්ධියේ කීවේය. උතුරු කොරියාව සමග සාමකාමී සම්බන්ධතා පවත්වන බව ද ඔහු කී තවත් කතාවකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 වසරේදී සිය පළමු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ආකාරයත්, 2024 වසරේදී සිය තුන්වැනි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ආකාරයත් සංසන්දනය කිරීම මෙහිදී වැදගත් වේ.
2012 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ බැරක් ඔබාමා ය. එහිදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වූයේ මිට් රොම්නි ය. රොම්නි මෙහිදී ජයග්‍රහණය කරනු ඇතැයි බහුතරය අපේක්ෂා කළ ද, ඩිමොක්‍රටික් අපේකෂකයා ය, ජයග්‍රහණය කළේ. එහි උපක්‍රමයක් තිබිණි. එනම් ඔවුන් පුළුල් සන්ධානයක් ගොඩනැගීමයි. එම සන්ධානය යනු ලංකාවේ මෙන් දේශපාලන පක්ෂ එකතු කොට ගොඩනැගූ සන්ධානයක් නොවේ. එය පුරවැසි කණ්ඩායම්වලින් ගොඩනගන ලද සන්ධානයකි. සුළුතර ජනවාර්ගික කණ්ඩායම්, ග්‍රාමීය කණ්ඩායම්, ආගමික කොටස් ආදී වශයෙන් විවිධ පුරවැසි සමූහයන් මේ සන්ධානය නියෝජනය කළේය. ඔබාමාගේ ජයග්‍රහණයෙන් පසු රිපබ්ලිකන් පක්ෂය මේ උපක්‍රමය පිළිබඳව පුළුල් ව සාකච්ඡා කළේය.

මේ සාකච්ඡාව අතරතුර ට්‍රම්ප් හඳුනාගත් දුර්වලතාවක් රිපබ්ලිකන් පක්ෂයේ විය. එනම් රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් විශාල පිරිසක් ඡන්දය පිළිබඳ වැඩි අවධානයක් නොදැක්වීමයි. එම නිසා ඔවුන්ගේ ඡන්ද වැටෙන්නේ නැත. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ට්‍රම්ප් කළේ ඔවුන්ට සෘජුව ආමන්ත්‍රණය කිරීමයි. ඔබාමා 2012දී කළාක් මෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ සැලසුමක් 2016දී රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයකට තිබුණද, ට්‍රම්ප් කළේ නිහඬ ඡන්දවලට ආමන්ත්‍රණය කිරීමයි. එහිදී ඔහු ජාතිකවාදී උපක්‍රම අනුගමනය කළේය. ඔහුගේ වැඩේ හරි ගියේය.

2024දී ද ට්‍රම්ප් මේ උපක්‍රමය ම භාවිත කළේය. උදාහරණයක් ලෙස සංක්‍රමණිකයන්ට එරෙහිව ඔහු 2016දී අනුගමනය කළ ප්‍රතිපත්තිය ම 2024දී ද අනුගමනය කළේය. ට්‍රම්ප් මෙහිදී සුළුතර කණ්ඩායම්වලට වැඩි නැඹුරුවක් දැක්වූ අතර, එම සුළුතර කණ්ඩායම් වූයේ ද සංක්‍රමණිකයන් ය. එහෙත් ඔවුන් මීට පරම්පරා කිහිපයකට පෙර ඇමෙරිකාවට සංක්‍රමණය වූවන් ය. ට්‍රම්ප් ඔවුන් අතරට ගියේ ඔවුන්ට හිමි රැකියා ඇතුළු අනෙකුත් වරප්‍රසාද නීතිවිරෝධී සංක්‍රමණිකයන් හේතුවෙන් අහිමි වන ආකාරය පෙන්වමින් ය. ජෝර්ජියා, උතුරු කැරොලිනා වැනි ප්‍රාන්තවල ජීවත් වන කළු ජාතිකයන්ට ද මේ ආකාරයට ම ට්‍රම්ප් ආමන්ත්‍රණය කළේය. මෙවරත් ට්්‍රම්ප්ගේ තනි උපක්‍රමය සාර්ථක විය.

ට්‍රම්ප් සාර්ථක වීමට බලපෑ තවත් විශේෂ හේතුවක් වූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක කමලා හැරිස්ගේ දුර්වලතා ය.

පසුගිය ජූලි මාසයේදී ජෝ බයිඩ්න් ජනාධිපතිවරණ සටනින් ඉවත් විය. ඉන්පසු එම තැනට පැමිණි කමලා හැරිස් වැඩි වශයෙන් අවධානය යොමු කළේ තමන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට සුදුස්සා ය යන්න ඔප්පු කිරීමට වඩා ට්‍රම්ප් ඊට නුසුදුසු ය යන්න ඔප්පු කිරීමට ය. හැරිස්ගේ පාර්ශ්වය ට්‍රම්ප්ගේ භයානක මුහුණුවරක් පිළිබඳව අනාවැකි පළකළහ.

ට්‍රම්ප්ගේ පැත්තෙන් ඊට පිළිතුරු දුන්නේ කමලා හැරිස්ගේ සුදුසුකම් විමසීමෙනි. රිපබ්ලිකන් ක්‍රියාකාරිකයකු වන චාලි කර්ක් දිගින්-දිගටම සිදු කළේ කමලා හැරිස් සිදු කළ දේවල් පිළිබඳව විමසීමයි. කමලාගේ පැත්තෙන් ඊට සාර්ථක පිළිතුරක් දෙන්නට සමත් වූ බවක් පෙනුණේ නැත.
එසේ ම දේශපාලන විචාරකයන් පෙන්වා දෙන ආකාරයට ප්‍රශ්න මගහැරීමත්, සම්මුඛ සාකච්ඡා මගහැරීමත් කමලා හැරිස්ගේ පරාජයට මූලික හේතුවක් විය. ඇයගේ අනාගත ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම ජෝ බයිඩ්න්ගේ පාලනයෙන් ඇයගේ පාලනය වෙනස් වන්නේ කෙසේද යන්න සාර්ථකව පැහැදිලි කිරීමට ලැබුණු අවස්ථා ඇය ප්‍රයෝජනයට ගත්තේ අඩුවෙනි. ඒ වෙනුවට ඇය අනුගමනය කළේ ට්‍රම්ප් විරෝධී අදහස් දැක්වීම ය. ට්‍රම්ප් විසින් කමලා හැරිස්ව හඳුන්වන ලද්දේ දුර්වල සහ අකාර්යක්ෂම අයකු ලෙසයි.ිහැරිස් ජනාධිපති කරන්නේ ඇයි’ යනුවෙන් ඔහු ඡන්දදායකයන්ගෙන් විමසීය.

මේ අතර හැරිස් සහාය දිවීමේ ඉසව්වක මෙන් බයිඩ්න්ගෙන් ඉතිරි වූ කොටස් ඉදිරියට ඇදගෙන යෑමට ගත් උත්සාහය ද ජනතාව එතරම් අනුමත කළ බවක් මැතිවරණ ප්‍රචාරක කාලයේදී ම පෙනුණේ නැත. එම නිසා ඇයගේ ආරම්භය ම රළු, පරාජිත එකක් බව පෙනෙන්නට තිබිණි. නීතිවිරෝධී සංක්‍රමණ සම්බන්ධයෙන් පක්ෂ දෙකේ විවාදය ඡන්දදායකයන්ගේ වැඩි ම අවධානය දිනාගත් මාතෘකාව විය. ට්‍රම්ප් එහිදී පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කළ අතර, තමන් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ඔහු රටට කීවේය. කමලා හැරිස් ට්‍රම්ප්ගේ මේ සංක්‍රමණිකයන් කණ්ඩායම් වශයෙන් පිටුවහල් කිරීමේ ක්‍රමය දැඩි ව විවේචනය කිරීම විවාදවලදී දැකිය හැකි විය.

ට්‍රම්ප්ගේ උප ජනාධිපති ධුර අපේක්ෂකයා මැතිවරණයට පෙර පැවැති අවසන් විවාදයේදී පැවසුවේ සැබෑ ඇමෙරිකානුවන්ට වඩා නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ප්‍රමුඛතාව ලබාදෙන කමලා හැරිස් ජනාධිපති ධුරයට පත්කළ යුතු දැයි ප්‍රශ්න කළේය. ඇයගේ අසාර්ථක දේශසීමා ප්‍රතිපත්ති පිළිබඳ සැලසුම් ඔහු විවේචනය කළේය. ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇති අපරාධකරුවන්ගේ සංඛ්‍යාව එක්සත් ජනපද නාවික හමුදාවේ සාමාජිකයන් ප්‍රමාණයට වඩා වැඩි බව ඔහු කීවේය. ඒවාට සාර්ථක පිළිතුරු දෙන්නට කමලා හැරිස්ගේ පැත්ත සමත් වූ බවක් පෙනුණේ නැත.

ඡන්දදායකයන් මෙවර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී අවධානය යොමු කළ තවත් මාතෘකාවක් වූයේ උද්ධමනයයි. රොයිටර් ප්‍රවෘත්ති ඒජන්සිය කළ මත විමසුමකට අනුව ප්‍රාන්ත හතක ජනතාවගෙන් සියයට 68ක් පවසා තිබුණේ රටේ ආර්ථිකය වැරදි මාවතක ගමන් කරන බවයි. ආර්ථික කළමනාකරණය පිළිබඳව සැලකීමේදී හැරිස්ගේ සැලසුම් සහ ප්‍රතිපත්ති සමීක්ෂණයට ලක්වූ ඇමෙරිකානුවන්ගෙන් සියයට 37ක් අනුමත කර තිබූ අතර, ට්‍රම්ප්ගේ සැලසුම් සහ ප්‍රතිපත්ති අනුමත කර තිබූ ප්‍රතිශතය සියයට 47ක් පමණ විය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සහ ලංකාවේ සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සංසන්දනය කළ හැකි අතර, එහිදී ද අනෙකාගේ දුර්වලතා වෙනුවට ජනතාව වැඩි වශයෙන් සලකා තිබුණේ ඇවිත් කරන්නේ කුමක්ද යන්න පිළිබඳවයි. එය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට ද අදාළ බවක් පෙනෙන්නට තිබේ.

  • ශාලික විමලසේන

Related articles

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව විද්‍යාල සම්ප්‍රදාය තුළ පමණක් නොව ඊටත් වඩා ඉන් පරිබාහිරවත්...

2025 මුල් මාස 4ට ආණ්ඩුවෙන් හදපු අතුරු සම්මත ගිණුමෙන් වැඩිම මුදල් බිමල්ගේ අමාත්‍යංශයට !

2025 මුල් මාස 4 සඳහා රජයේ අතුරු සම්මත ගිණුමෙන් පෙන්නුම් කරන්නේ, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය ණය සේවාකරණය...

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බලගන්වන IIHS ආයතනයේ 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ !

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි,...

තරුණ පරපුර බලගැන්වීමට IIHS ආයතනය Young Entrepreneurs Hub දියත් කරයි !

ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ අනාගතය නව මාවතකට යොමු කිරීමේ අරමුණෙන් Institute of Health Sciences (IIHS) තරුණ ව්‍යවසායකයන්ගේ එකමුතුව (Young...