මං ජයසිරිව පළමු වතාවට හැබැහින් දකින්නෙ ජෝන් ද සිල්වා වේදිකාව මත 1987 දී (බවයි මතක)… අදාළ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සුගතපාල ද සිල්වාගේ මරා-සාද් නාට්‍යය රංගගතකළ වෙලාවේ, අපේ කෝපයට හේතුවුණු, ඒ විතරක් නෙවෙයි අපිට මොන ජාතියෙ යකෙක්ද කියල තේරුම්ගන්නත් බැරිවුණු ‘සාද්’ට ආරූඪවෙලා ඉද්දි.
එදා ඉස්කෝලෙ ඇරිලා සුදු ඇඳුම් පිටින්ම ජයසිරිලව හැබැහැට දකින් මං ගියෙ තවත් සුවිශේෂී යාළුවෙක් එක්ක. (ඉස්කෝලෙ කට් කරලා ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම්ස් බලන්න යන්න එදා අපට සෑහෙන්න යාළුවො හිටියත්, රාජ්‍ය නාට්‍ය උළෙල හරි මරාසාද් හරි බලන්න යන උණ තිබුණෙ එකා දෙන්නටයි. ඒ උණ තදේටම තිබුණු එකෙක් තමයි මං මේ කියන සහෝදරයා.)
එදා, ලංකාවේ පළමු විධායක ජනාධිපතිගේ මර්දනකාරී පාලනය පැවැති කාලවකවානුවක, මාත් එක්ක මරාසාද් බලන්න ගියේ, ඊයේ ලංකාවේ නවවැනි ජනාධිපති හැටියට දිවුරුම් දුන් අනුර දිසානායකගේ දේශපාලන පක්ෂය වූ ජවිපෙ වෙනුවෙන් ශිෂ්‍යයකු ලෙස අසීරු, සටන්කාමී දේශපාලනයක් කරපු, ඒ හේතුවෙන්ම 88-89 භීෂණ සමයේ කිසිදු සලකුණක් නොතබා අතුරුදහන් කරපු දහස් ගණනක් තරුණ ජීවිත අතරට එක්වුණු තුෂාර දීපාල් සිල්වා නම් ඩී එස් ශිෂ්‍යයා. (මං මේ නම සහ ඔහු අතුරුදහන් වූ බව කිසියම් ම ප්‍රසිද්ධ තැනක සටහන් කරන පළමු අවස්ථාව)
දෙවැනි වතාවට මට ජයසිරිව හමුවෙන්නේ ඒ මහා භීෂණ සමයත් නිමවෙලා, ඇතැම් සහෝදරවරු අතුරුදහන්වෙලා හෝ ඝාතනයවෙලා, අපි කොහොමින් හෝ අපේ ජීවිත තව ඉදිරියට ගෙනයා යුතුයි කියන ‘ස්වභාව ධර්මයේ තීරණයත්’ ලැබිලා පත්තරකාරයෙක් වෙලා ඉන්න අතරතුරේ. අර පළමු සිද්ධියෙන් අවුරුදු 6කට විතර පස්සේ.
අපි ඒ කාලේ ‘ලංකාදීපයට’ කරපු ‘බදාදා පිළිසඳර’ නම් බෙහෙවින් ජනප්‍රිය විශේෂාංගයට මං ධර්මසිරි බණ්ඩාරනායක ඉන්ටර්විව් කරන්න දාගන්නවා. අපි හමුවෙන්න යොදාගන්නේ Rotunda Gardens හි පිහිටි අවන්හලක. ඒ හමුවට ධර්මසිරි එන්නේ ජයසිරිත් එක්ක.
ජයසිරි ඔය මෑතකාලෙ පින්තූරවල වගේම තොප්පියක් දාගෙන කුඩා හතරැස් මේසේ මායි ධර්මසිරියි එක්ක වාඩිවෙලා හිටිය රූපරාමුව මට අදවගේ මතකයි.
ඔය කාලේදි, සාක්කි තබාගතයුතු තරම් ගැටලු සහගතයි කියා හිතෙන ඒවායේදී හැර කිසිම ඉන්ටර්විව් එකකට මං රෙකෝඩරයක් භාවිතා කළේ නෑ. මගේම රිද්මයකට ඉන්ටර්විව් එකක් ලියන්න රෙකෝඩරය මට බාධාවක් වුණා වගේම, ඒක අහ අහා ලියනවා කියන්නේ ලියැවිල්ලත් දියාරු කරන, කාලෙත් කන වාත වැඩක්.
ඔය කියන සම්මුඛ සාකච්ඡාවට මං කරදාසි මිටියක් අරගෙන ගියත්, මුළු සාකච්ඡාව පුරාම ඒ කරදහි මිටියේ ලියාගෙන තිබුණේ වචන දෙකයි. (ඒකත් වැඩකට ඇති වචන දෙකක් නෙවෙයි.) මුළු සාකච්ඡාවම රෙකෝඩ් වුණේ මගේ ඔළුවේ. ධර්මසිරිට නම් මේක ගැන කල්පනාවක් තියෙන්න නැතුව ඇති. කොහොමත් ධර්මසිරි කතාකරන්න ගියාම ඒ කතාවට ඇතුළෙන්ම සමවදින, අදහස් පණ පිහිටුවල, වෙනම තානයකින් කියන මනුස්සයෙක් නේ. ඒත් ජයසිරි හිටියේ උකුස්සෙක් වගේ අපි දෙන්නා වටා ඇස් කරකවමින්.
ඊට ආසන්න දවසක කොහේ හෝ හමුවුණාම ජයසිරි මට කිව්වා, “මචං අර ඉන්ටවිව්එක ටොප්!” කියලා. ඒ විතරක් නෙවෙයි අර අමුතු හිනාව දාලා ඌ ඇහුවා
“උඹ අර කරදහි බණ්ඩලයක්ම අරං ආවට ඒවයෙ මොකුත්ම ලියාගත්තෙ නෑ නේද?” කියලා.
එතැන් පටන් මං ඔහු එක්කත් ඉන්ටර්විව් ගණනාවක්ම කළා. ඊට අමතරව, ලංකාවෙන් පිටවෙන තුරුම ජයසිරි මට විවිධ තැන්වලදී හමුවුණා. ඒ බොහෝ තැන් මධුබඳුන් ගැටුණු තැන්. ජයසිරිගේ කටකැඩිච්ච කතා දෝරෙගලපු තැන්.
නිර්මාණවලින් මං දැකලා තිබුණු ජයසිරියි, ඇත්ත ජීවිතේ හමුවුණු ජයසිරියි අතරේ මට ලොකු වෙනසක් දැනුණේ නෑ. ඌ නිර්මාණවලත් ඉන්නේ මේ ඉන්න හැටියටම නේද කියලා තමයි හැම විටම වගේ හිතුණේ.
අවුරුදු 15කින් විතරම භෞතිකව සම්මුඛ වෙන්න අවස්ථාව නොලද ජයසිරි මට ඒ කාලය තුළ හමුවෙන්නේ මේ අවකාශයේ. ඌ වරින් වර මා ලියන ඒවාටත් වචනයකින් දෙකකින් යමක් කීවා. අවසන් වරට එහෙම කියලා තියෙනවා දැක්කේ මා පසුගිය ජනාධිපතිවරණය ගැන ලියූ සටහනට.
ඌ වරක් උගේ කලා ජීවිතයේ අත්දැකීම් ලියන්න පටන්ගෙන ඇතිබව මා දැක්කා. හැකි හැමවිටම මා ඒවා කියෙව්වා. ජයසිරි කියන්නේ එක් අති විචිත්‍ර ඉතිහාස පදාසයක, අති සුවිශේෂ මනුස්ස පරාණ අතර ගැවසෙමින් ‘වැඩක්’ කරපු එකෙක් නිසා ඒ අත්දැකීම් කොච්චර වටිනවද කියන එක මට කල්පනා වුණා. උගෙ ඒ ලියැවිල්ල දිගටම කරගෙන යන්න කියලා පොඩි උනන්දු කිරීමක් කළයුතුමයි කියා කිහිපවරක් හිතුණත්, ඉඳහිට ගොඩවන්නකු ලෙස මිස මේ අවකාශයට කවදාවත් ‘ඇබ්බැහි වෙන්න’ බැරිවෙච්ච මං අතින් ඒක සිදුවුණේ නෑ.
ඒ තරම් දිගු කාලයක් නොදැක හිටපු නිසා බොහොමයක් දෙනෙක් වගේ ජයසිරිත් මගෙ හිතේ ඇඳිල හිටියේ වසර 15කට පෙර ගණීභවනය වුණු රූපකායක් විදියට. මේ අවකාශයේ තිබුණු අජීවී සේයාරූවලට හෝ මගේ ඒ ගල්ගැහුණු රූපය වෙනස් කරන්න බැරිවුණා. ඒ නිසා මට කීයටවත් හිතුණෙ නෑ ජයසිරි මේ විදියට හදිසියෙන් නික්ම යයි කියලා.
මං ජයසිරිව පළමු වතාවට හැබැහින් දකිද්දි ඒ රඟහලේ මගේ අල්ලපු පුටුවේ හිටි සහෝදරයා දිවි කැපකළ ව්‍යාපාරය ප්‍රමුඛ බලවේගය ලංකාවේ ජනාධිපති තනතුර කරා ලංකාවේ පුරවැසියන් අතින් ඔසවා තැබෙන විට, ඒ දේශපාලනයේ දිගටම නොසිටි නමුත් මේ ඓතිහාසික වෙනස වෙනුවෙන් තීරණාත්මක මොහොතේ පෙනීසිටි ජයසිරි ඒ ජයග්‍රහණය අත්පත් වුණු දවසේ ම නික්ම ගියේ ඒ වෙනස සිදුවූ බව නොදැනමදැයි මා දන්නේ නෑ.
ඇත්තටම ජීවිතය නාට්‍යයක් තමයි!
පහුගිය කාලෙම ජයසිරිට මෙහි වැඩිපුර ලියන්න වුණේ තමන්ගේ සගයන්ගේ වෙන්ව යාම් ගැන ඉතා කෙටි සටහන් බවයි මට මතක. ඒ කියන්නේ උගේ පරම්පරාව වේගයෙන් නික්මයමින් හිටියා. (හෙට එන්නේ අපේ පරම්පරාවේ වාරය වෙන්න පුළුවන්. දැනටමත් ඒක හෙමි හෙමින් ඇවිදින්.) ඒ හැම එකකම වගේ ජයසිරි මියගිය සමීපතමයාට පැතුවේ ‘සුබ සිහින දකින දිගු නින්දක්’ මිස නැවත හමුවීමක් නොවේ. ඒ අනුව යමින් මාත් මේ සටහනට තිත තබනවා.
පරම්පරා වෙනසක් නොදැක, පරම්පරා හරහා නිදැල්ලේ ඇවිදගිය සදාකාලික තරුණය! අප යළි කිසිදින හමු නොවනු ඇත. උඹට සුබ සිහින දකින සදාකාලික වූ සාමකාමී නින්දක්!