උපරිම රූපණය ප්‍රති අර්ථ කල බේලා ටර්ගේ කාල පීඩන සිනමාව

Share post:

Bela Tarr’s Time Pressure Cinema Reinterpreted as Maximum Imagery
බටහිර ඉවුරේ දර්ශනය කණ්ඩායම විසින් සංවිධානය කරන බේලා ටර් ගේ සිනමා ප්‍රදර්ශනය හා කථිකාවේ තුන්වන දිනය වන ගිය ඉරිදා (2024-09-01 )බේලා ටර්ගේ Weckmeister Harmonies කියන සිනමා පටය ප්‍රදර්ශනය කල අතර, වංගීස විසින් සිනමා කෘතිය ගැන කල දාර්ශනික අර්ථකථනය ලංකාවේ සිනමා විචාරය හා සිනමාව ගැන කියවීමට නව මානයක් එක් කරමින් සිටින අතර, එය අළුතින් සිනමා නිර්මාණය කරන්න ඉන්න බොහෝ දෙනෙක්ට මේ කථිකාව ඉතාමත් වැදගත් වනු ඇත. මම මගේ චිත්‍ර කලා විචාරයේදී නිතරම කියන දෙයක් තමයි චිත්‍ර ශිල්පියෙක් තමන්ගේ කැන්වසයට ගහන පින්සල් පහරට පිටුපසින් චින්තනමය අවකාශයක් තිබෙන්නට අවශ්‍යයි කියන කාරණය. ඒ වගේම තමයි සිනමා කරුවෙකුට කෙතරම් දියුණු තාක්ෂණයෙන් යුත් කැමරාවක් හා නවීන සිනමා උපකරණ තිබුනත් වැඩක් නැහැ, ඒ කැමරා උපකරණ මෙහෙය වන සිනමා කරුවා පිටුපසින් චින්තනමය අවකාශයක් නැතිනම් කියන කාරණය. ඒ නිසා ලෝකයේ හොඳම නවීන කැමරාවක් තිබුනට වැඩක් නැහැ ඒ සිනමා කරුවට ලෝකය ගැන, ලෝක දේශපාලනය ගැන, සාහිත්‍යය, කවිය, චිත්‍රය හා දර්ශනය Philosophy පිළිඹඳ කියවීමක් හා ජීවිතය ගැන සංවේදී බවක් නැතිනම්. බේලා ටර්ගේ සිනමා කෘති නරඹද්දී අපිට තේරෙනවා බේලා ටර් ට මේ සියළුම දේවල් සම්බන්ද මොන තරම් කියවීමක් තියෙනවාද කියලා සහ ඔහුට ජීවිතය හා මිනිසුන්ගේ මානසික අවිඥානය ගැන කෙතරම් කියවීමක් තියෙනවාද කියලා. ජීවිතය හා ලෝකය ගැන ගැඹුරු කියවීමක් සහිත සිනමා කරුවන් අතරින් Andrei Tarkovski, Ingmar Bergman, Paolo Passolini, Jean -Luc Godard, Robert Guediguian, Jean -Pierre Melville සහ Terrence Malik වගේ සිනමා කරුවන් කීපදෙනෙක්ම සඳහන් කරන්න පුළුවන්. මේ සියළුම සිනමා කරුවන්ට තමන්ගේ සිනමාත්මක ප්‍රකාශනයක් තමන්ට අන්‍යන්‍ය ආකාරයෙන් තමන්ගේ සිනමා කෘති නිර්මාණය කර ඇති අතර, ඒ සෑම සිනමා කරුවෙකුගේ කැමරාවට පිටුපසින් තමන්ට පුළුල් චින්තනමය අවකාශයක් තිබෙනවා. එම නිසා එම සිනමා කෘති ඉතාමත් ගැඹුරින් සහ දාර්ශනිකව විශ්ලේෂණය කරන්න පුළුවන් අවකාශයක් ගොඩ නැගෙනවා වගේම, ප්‍රේක්ෂකයින්ට ලෝකය ගැන, ජීවිතය ගැන හා සිනමාත්මකව සිතන්නට පුළුවන් අවකාශයක් ගොඩනැගෙනවා වගේම, මිනිස් චින්තනයේ ගැඹුරුම කලාපයෙන් පාලනය වෙන අවිඥාණික තර්කණය තුලට ප්‍රේක්ෂකයාව රැගෙන යනවා.

බේලා ටර්ගේ සිනමාව සුවිශේෂී වන්නේ සාමාන්‍යයෙන් අනෙකුත් සිනමාවට සාපේක්ෂව කෙටි රූප රාමුවල චලන ව්‍යුහයන් වෙනුවට ඉතාමත් දීර්ග නිසොල්මන් දර්ශන හරහා අර්ථ විරහිත පැවැත්මේ අක්‍රීයත්වය හා ක්‍රියාකාරීත්වය නාට්‍යරූපී ලෙස ජීවිතය විදහා දක්වන විසංයුක ස්වරුපයෙන් Abstract Form දෘශ්‍ය ලක්ෂණයන් පුනරාවර්තනය කරමින් Repetition සිනමාත්මක කොටස් අතර ඇති සබඳතාවයන් සිනමාත්මකව උපරිපථන ක්‍රියාවලියකට Overlapping Action ගෙන ඒමයි. උපරිපථන ක්‍රියාවලියක් කියන්නේ කාලය ප්‍රසාරණය කරමින් සිනමා දර්ශනයට නාටකීය බවක් ඒක කර එයට ගැඹුරු ගාම්භීරත්වයක් එක් කිරීම කියන එකයි. බේලා ටර්ගේ සියළුම සිනමා කෘති මෙම නාටකීය බවේ ගාම්භීරත්වය පෙන්වන සිනමා කෘති නිසා, බේලා ටර්ගේ සිනමා කෘති අර්ථකථනය කිරීම දාර්ශනික තලයට අයත් වන්නේ එම නිසයි.

අදවන විට තාක්ෂණික ධනවාදය තුල IMAX (Maximum Image, උපරිමය රූපණය ) තාක්ෂනය හරහා නිර්මාණය කරන චිත්‍රපටි ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන අතර, එම සිනමා කෘති රසවිඳිය හැක්කේ IMAX තාක්ෂණික සිනමා ශාලාවල නැරඹිමෙනි. IMAX තාක්ෂනය හරහා නිර්මාණය කල Avengers, Infinity War, Interstellar, Transformers Age of Extinction සහ Oppenheimer වගේ සිනමා කෘති උපරිමයෙන්ම රස විඳිය හැක්කේ IMAX තාක්ෂණය සහිත සිනමා ශාලාවල නැරඹිමෙනි. ඒත් එම සිනමා පට උසස්ම තාක්ෂණයෙන් යුත් චිත්‍රපටි වුවත් තාක්ෂනය උපරිමයෙන්ම අත්වින්දත්, එය ජීවිතයේ ඇති ගැඹුරු යතාර්ථයන් එම සිනමා තාක්ෂණය හරහා ජීවිතය දැනෙන්නේ නැහැ සහ එය තාක්ෂණික රසයක අත්දැකීමක්‌ පමණයි. බේලා ටාර් වැනි සිනමා කරුවන් ජයගන්නේ මෙන්න මේ යතාර්ථයයි. සම්මත සිනමා ධූරාවලිය බිඳ දමා මිනිසාගේ සත්‍යය වූ පරමාර්ථය කරා ගෙන යමින් ජීවිතය දෙස කැඩපතකින් දකින්නටත්, ජීවිතය පිළිඹඳ යතාර්ථය පණගැන්වීමටත් ඉඩ සැලැසීමයි. බේලා ටර්ගේ සිනමාව හරහා කරන්නේ උපරිම රූපණ IMAX සිනමාව වෙනුවට කාල පීඩනය හරහා සිනමාව ප්‍රති අර්ථ කිරීමයි.

ටර්ගේ සිනමා කෘති අතරින් සුවිශේශී සිනමා කෘතියක් වන Turin Horse සිනමා පටය එන 7 වෙනි සෙනසුරාදා සවස 4.30 ට SLIDA ආයතනයේදී ප්‍රදර්ශනය කරන අතර, චිත්‍රපටිය ගැන වංගීස විසින් කරන දාර්ශනික විවරණය සමග කතාබහක් කරන්න කැමති හැමෝම එන්න. එය ඔබගේ චින්තනමය මනස අස්වද්දන අත්දැකීමක්‌ වේවි.

සාලිය ඉඳුරුවිතාන

Related articles

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...

වැදගත්ම ආර්ථිකය : නීතිය ඊට පස්සෙ : අපේක්ෂකයන්ගෙ ජනවර්ගය අදාළ නෑ : පවුලේ කැමැත්ත පස්සට දමයි – වෙනස් හැඩයේ සමීක්ෂණයක ප්‍රතිඵල මෙන්න !

ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කියූ සැණින් අපට මතක් වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය පිළිබඳ ඉලක්කම් කිහිපයකි. මෙවැනි සමීක්ෂණ...