බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් 14,988ක නිල ලැයිස්තුවක් : වින්දිතයන්ගේ විශ්වාසය රකින්න අතුරුදන්වූවන්ගේ කාර්යාලය සමත් ද?

Share post:

බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30ට (අදට) යෙදී තිබේ. 2018 වසරේදී පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්වාධීන ආයතනයක් ලෙස බලතල රැසක් සහිතව අතුරුදන්වූවන් සබම්න්ධයෙන් ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් අතුරුදන්වූ පුද්ගලයන්ගේ ඥාතීන් ප්‍රමුඛ වින්දිතයන්ට මේ කාර්යාලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇත්තේ හොඳ සහ නරක මිශ්‍ර වූ අදහසකි. කාර්යාලයට පවරා ඇති වගකීම් ඉටුකිරීමේදී මුහුණ දෙන බාධා මොනවාද, මෙතෙක් කාර්යාලය කළේ මොනවාද යන්න සම්බන්ධයෙන් එහි වර්තමාන සභාපති මහේෂ් කටුලන්ද සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සකස් කෙරිණි.
මහේෂ් කටුලන්ද

අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් වින්දිතයන්ට විශ්වාසය තැබිය හැකිය. ඊට හේතුව 2018 පනතකින් පිහිටවූ මේ කාර්යාලය මේ වන විට සාර්ථක ඉදිරි ගමනක් පැමිණ තිබීමයි. ස්වාධීන ආයතනයක් ලෙස පිහිටවූ මෙහි මූලික වගකීමක් වන්නේ ජනතාව තුළ බලාපොරොත්තු ඇතිකිරීමයි. එසේම අන්තර්ජාතික ප්‍රඥප්ති, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන සමග කටයුතු කරමින් මෙරට තවදුරටත් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ඇති ඉඩ අවම කිරීම කාර්යාලයේ මූලික වගකීමකි. අතුරුදන්වූ පුද්ගලයන්ට සිදු වුණේ කුමක්ද, එම අතුරුදන් වූ පාර්ශ්වවල වින්දිතයන්ට සහන සැලසීම ද අපේ වගකීමකි.
නමුත් කනගාටුදායක ලෙස මේ ඉලක්කවලට යෑමට කාර්යාලයට මුල් කාලයේදී නොහැකි විය. මේ වන විට කාර්යාලය පිහිටුවා වසර 06කි. සභාපතිවරුන් සිව්දෙනෙකි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙහි මුල් ම සභාපතිවරයා වූ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කිරීම සඳහා ඔහු ඉවත් විය. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න සභාපති ධුරයට පත්වූ අතර, පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මා ඊට පත්කරන ලදි. මේ වන විට ගතවන්නේ මගේ දෙවැනි සභාපති ධුර කාලයයි.

මුල් කාලයේදී අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ විමර්ශන පැවැත්වීම අවම අගයක තිබිණි. ඊට හේතු වූයේ අවශ්‍ය කාර්යමණ්ඩලය නොමැතිවීමයි. සේවකයන් 255 දෙනෙක් බඳවාගැනීමට අවශ්‍ය වුවද, රුපියල් බිලියනයකට වැඩි මුදලක් වෙන්කෙරුණද, ඇතැම් දුර්වලතා සහිතව ය, ඉදිරියට ගියේ. කාර්යාලයේ දෙවැනි සභාපතිවරයාගේ ධුර කාලයේදී ජාත්‍යන්තර සංවිධාන සහ වෙනත් පාර්ශ්ව අතර තිබූ සම්බන්ධතාවල ප්‍රමාණය ද අවම විය. එහිදී අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල් සමග ද තිබුණේ දුරස් සම්බන්ධතාවකි. ඊට හොඳම උදාහරණය වන්නේ එම කාලයේදී පැමිණිලි 67ක් පමණක් ලැබීමයි.

කෙසේ වෙතත් කාර්යාලයට ලැබුණු පැමිණිලි, ත්‍රිවිධ හමුදාවට ලැබුණු පැමිණිලි, රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවලට ලැබුණු පැමිණිලි, පරණගම කොමිසම වැනි කොමිෂන් සභාවලට ලැබුණු පැමිණිලි සියල්ල එකතු කළ විට අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ පැමිණිලි 62,000කට අධික ප්‍රමාණයක් ලැබී තිබිණි. මේ පැමිණිලි විශ්ලේෂණය කිරීමේදී අපට ගැටලු මතු විය. අතුරුදන් වූ එක් තැනැත්තකු සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී තිබිණි. එය මවගෙන්, බිරිඳගෙන්, දරුවන්ගෙන් ආදී වශයෙන් විය. කෙසේ වෙතත් මේ පැමිණිලිවල ගැටලු සහගත සියල්ල ඉවත් කොට ගත් පසු, පැමිණිලි 14,988ක් විය. එය කොටස් 03කට වර්ග කෙරිණි. මුල් කොටස 2000 වසරේ සිට 2023 වසර දක්වා විය. එම කාලයට අදාළ පැමිණිලි ප්‍රමාණය 6,025කි. දෙවැනි කොටස 1990 සිට 1999 දක්වා විය. එම කාලයට අදාළ පැමිණිලි ප්‍රමාණය 3,597කි. තුන්වැනි කොටස ලෙස හඳූන්වන්නේ 1989ට පෙර සිදු වූ සිදුවීම් පිළිබඳ පැමිණිලි ය. එම ප්‍රමාණය 5,366කි. මීට අමතරව රාජකාරියේ යෙදී සිටියදී අතුරුදන් වූ ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් නාවික හමුදාවේ 452ක්, යුද හමුදාවේ 3,257ක් සහ ගුවන් හමුදාවේ 34ක් ආදී වශයෙන් පැමිණිලි ලැබී ඇත.

ලංකාවේ සිදු වී ඇති අතුරුදන් වීම් ප්‍රමාණය මීට වඩා වැඩි බව සියල්ලන් දන්නා කරුණකි. එහෙත් මේ විමර්ශන සහ විධිමත්ව යම් හෝ සහනයක් සැලසීමේ ක්‍රියාවලිය කොතැනින් හෝ පිළිවෙලකට ආරම්භ කළ යුතුය. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එය සිදුකරමින් සිටී.

තවමත් කාර්යාලයට අවශ්‍ය නිලධාරි සංඛ්‍යාව සම්පූර්ණයෙන් ලබාගැනීමට හැකියාවක් ලැබී නැත. මේ වන විට අපට අවශ්‍ය නිලධාරි සංඛ්‍යාව බඳවාගැනීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබේ. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ විශ්ලේෂණාත්මකව සොයාබැලීම සහ ගවේෂණය කිරීමේ ඒකකය, ආරක්ෂණ ඒකකය, දත්ත ඒකකය, නීති අංශය, වින්දිත පවුල්වලට සහන සැලසීමේ සහ සුබ සාධන කටයුතු සිදුකිරීමේ ඒකකය ආදී වශයෙන් කාර්යාලයේ සියලු අංශ මේ වන විට විධිමත්ව ක්‍රියාත්මක වේ. ඒ සමග ම රට පුරා ප්‍රාදේශීය කාර්යාල 05ක් ද ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත් කාර්යාලය සහ වින්දිත පවුල් සමග පවතින සම්බන්ධතාව පිළිබඳ ප්‍රශ්න මෙන්ම එම සන්නිවේදනය පිළිබඳ ගැටලු ද ඇතැම් පාර්ශ්ව විසින් මතුකෙරෙනු දැකිය හැකිය. එහෙත් කාර්යාලයේ වර්තමාන ප්‍රධානියා වශයෙන් මට එය පිළිගත නොහැකිය. අපට ලැබුණු පැමිණිලි සියල්ල විශ්ලේෂණාත්මකව සකස් කර අවසන් ය. 14,988ක් අවසාන ලෙස සකස් කර ඇත්තේ එම ලැයිස්තුවයි. මේ අතරින් හය දහසකට ආසන්න වින්දිත පවුල් සාමාජිකයන් පිරිසක් කාර්යාලයේ නිලධාරීන් මුහුණට-මුහුණ හමුවී අවසන් ය. ඔවුන්ගේ ගැටලු පිළිබඳ නිර්දේශ කර තිබේ. ඒ අතරින් 3,700කට ආසන්න ප්‍රමාණයකට අප කාර්යාලයේ නිර්දේශ යටතේ හානි පූර්ණ කාර්යාලය මගින් රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා අවසන් ය. එසේ ම අතුරුදන් වූවන් පිළිබඳ සහතිකය ද අප සැලකිය යුතු ප්‍රමාණයක් නිකුත් කර තිබේ. එම සහතිකය නොමැතිව බැංකු ගනුදෙනු, දේපොළ පිළිබඳ කටයුතු සිදුකර ගැනීමට නොහැකිව සිටි අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් විශාල පිරිසකි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරීන් මගින් අප කාර්යාලය තවදුරටත් කටයුතු කරමින් සිටින්නේ සියලු තොරතුරු රැස්කර ගැනීමටයි. මාධ්‍යවලින් ද අපට ඒ සඳහා සහාය අවශ්‍ය වේ. මෙතෙක් කාලයක් අප කාර්යාලය පිළිබඳ සැකයක් මත හෝ අවිශ්වාසයක් මත කටයුතු කළ, තොරතුරු ඉදිරිපත් නොකළ සියලුදෙනා එකතු කිරීමට අපට අවශ්‍ය ය. එහි අරමුණු දෙකකි. එකක් රාජ්‍ය ඔබ ව අමතක කර නැත යන පණිවුඩය ඔවුන්ට ලබාදිය යුතුය. අනෙක් පැත්තෙන් ඔවුන්ට කළ හැකි උපරිම සාධාරණයක් ඉටුකිරීමට අප මැදිහත් විය යුතුය. එය අපට පාර්ලිමේන්තු පනතකින් පවරා ඇති වගකීමකි.

මේ කටයුතු සඳහා අපට දැනට ඇති බලතල අතිශය ප්‍රමාණවත් වේ. අධිකරණ නියෝගයක් නොමැතිව අපට යම් අතුරුදන් වීමේ සිදුවීමකට ප්‍රවේශ විය හැකිය. රජයේ ආයතනවලින් ඒවාට අදාළ තොරතුරු ලබාගත හැකිය. මෑතකදී ත්‍රීකුණාමලයේ එවැනි සිදුවීමක් සඳහා අප කාර්යාලය මැදිහත් වී සාධාරණ විසඳූමක් ලබාදුන්නේය. අතුරුදන්ව සිටි එවැනි අයෙකු අප සොයාගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවේ සිටියදී ය. ඒ සඳහා ලිපි 28ක් රාජ්‍ය ආයතන වෙත යොමුකිරීමට අපට සිදු විය.

පසුගිය කාලයේදී අපට රාජ්‍ය ආයතන සමග කටයුතු කිරීමේ ගැටලු තිබිණි. එය බොහෝ විට සන්නිවේදනය පිළිබඳ ගැටලු විය. මේ වන විට එම ගැටලු සෑහෙන දුරට විසඳාගැනීමට අප කාර්යාලය සමත් වී තිබේ. ස්වාධීන කාර්යාලයක් ලෙස අපට බලතල ලැබී තිබේ. එමගින් ජනතාවට අවශ්‍ය සාධාරණය ඉටුකර දීමට අප මැදිහත් විය යුතුය. රාජ්‍ය බුද්ධි අංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය, පොලිසිය, ත්‍රිවිධ හමුදා, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අපට සෘජුවම අවශ්‍ය තොරතුර ැසහ පහසුකම් සැපයීමට කටයුතු කරමින් සිටී. අතුරුදන්වූවන්ගේ කාර්යාලය නමින් අපට මේ සාමූහික ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට ඔවුහු සහාය වෙති.

අනෙක් පැත්තෙන් රාජ්‍ය නොවන සංවිධාන සමග ද පෙර තිබූ යම්-යම් අනවබෝධයන් දුරුකර ගනිමින් අපි සාර්ථකව කටයුතු කරමින් සිටිමු. අතුරුදන්වූවන් පිළිබඳ කටයුතු කරන සංවිධාන සහ ක්‍රියාකාරිකයන් 60කට අධික පිරිසක් අප සමග එක්වී සිටී. එම රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් අප කාර්යාලයේ නිලධාරීන්ගේ දැනුම වැඩි කිරීම සඳහා ද ඔවුහු සහාය වෙති. ස්වාධීන ආයතනයක් ලෙස අපගේ ක්‍රියාකාරිත්වය ඉදිරියට ගෙනයමින් සිටින්නේ එසේ ය. මේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලින් ද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අගය කිරීමට ලක්විය. එහිදී අගය කිරීමට ලක්වූයේ අප නොවේ. අප අනෙකුත් සියල්ලන් සමග එක්ව සිදුකරන සාමූහික ක්‍රියාවලියයි.
සමහර කටයුතුවලදී සිදුකරන දේශපාලන මැදිහත්වීම් පිළිබඳ අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත් මීට එවැනි බලපෑමක් මෙතෙක් නැත. ස්වාධීන ආයතනයක් ලෙස අපට ජනතාවට සාධාරණයක් ඉටුකිරීමට නීතිමය හෝ ප්‍රායෝගික බාධා නැති බව කිව යුතුය. එම නිසා අපට ඇත්තේ වැඩ කිරීමට ය.

  • සාකච්ඡා සටහන – ශාලික විමලසේන

Related articles

‘ලයිටරේ සුළඟට විසිකළා’ – අනුසාර මාහිංගොඩ

වසර කිහිපයකට පෙර දිනෙක එක් සරසවියක මා මිතුරු මහාචාර්යවරයෙකු සමගින් සිටින විට ඔහුලේ පිහිට පතා පැමිණි සිසුවියක් කී...

ඉහළ ඌවේ ,ගැමි දිවිසැරිය හෙවත් ,හර්දයාංගම ආත්ම විවරණය -‘කල්කාර’

'නිග්‍රොයිඩ්-යුරොපියොයිඩ් මානව විද්‍යා ආකෘති හමුවන තවත් ප්‍රදේශයක් නම් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවයි.මෙහි ද්‍රාවිඩියන් හා සමාන...

“සංස්කෘතික කොදෙව්වෙන් සොරාගත් ජීවිත X – ray කිරීම” – සාරි ඇඳපු පිරිමි

ලාංකේය නුතන නවකතාව තුළ හමුවන දුර්ලභ ගණයේ කතා වස්තුවකින් වැසුණු අපුරු නවකතාවක් මෑතකදී කියවන්නට ලැබුණි. ඒ විෂ්ණු වාසුගේ...

එදා වේල මේකට හරියන්නෑ : අපේක්ෂකයන්ගේ විදේශ ප්‍රතිපත්තිය රහසක් වෙන්න බෑ – ආචාර්ය ශම්මික ලියනගේ

ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී විද්වත් සංවාදවලදී නිරන්තරයෙන් මතුවන මාතෘකාවකි, රටක විදේශ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද යන ප්‍රශ්නය. ජනාධිපතිවරණයට...