තව දින කිහිපයකින් එළඹෙන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම මහජන නැගිටීමෙන් වසර දෙකකට පසුව මහජන මතයේ හැඩරුව පරික්ෂාවට ලක් කෙරෙන ඓතිහාසික හා තීරණාත්මක ජනාධිපතිවරණයකි.
බලගතු විධායක ජනාධිපතිවරයකු නෙරපා දැමූ මුත් ව්‍යවස්ථාදායකයේ ප්‍රභූ දේශපාලන කුමන්ත්‍රණය ඉදිරිපිට අපගේ ‘ගෝල්ෆේස් මූලික අරගලයේ’ එක්තරා අවසානයක් බාරගැනීමට අපට සිදුවිය. ඉන් පසුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හා ඔහුගේ විකෘති ආණ්ඩුවට එරෙහිව විවිධ විරෝධතා ක්‍රියාමාර්ග සිදුකළ ද ඒ සදහා පොදු බලවේගයක් ගොඩනගා ගැනීමට විපක්ෂ පාර්ශවයන් අසමත් විය. එපමණක් නොව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇතුළු අලුත් ආණ්ඩුව ද පන්නා දැමූ පසු ‘ඊළගට කුමක්ද’ යන අවිනිශ්චිතාවයත්, මහජන නැගිටීමේ කූඨප්‍රාප්තියකින් පසු එහි ආවේශය යම් නිශ්ක්‍රීයත්වයකට ලක් කෙරී තිබීමත්,ඊට සමාන්තරව කුප්‍රකට IMF වැඩසටහන ආර්ථික අර්බුදයට ඇති එකම විකල්පය ලෙස ජනමතයට කාවැද්දවීම (ඊට එරෙහිව පෙසප හා ජන අරගල වාමාංශය හැර ජවිපෙ/ජාජබ ඇතුළු විපක්ෂයේ සැලකිය විරෝධයක් එල්ල නොවීම හා ඊට විකල්පයක් යෝජනා කිරීමට අසමත් වීම) යන සාධක හරහා උද්ඝෝෂණාත්මක මහජන අරගලය නිශ්චිත යටපත් වීමකට ලක් විය.
බංගලාදේශ අරගලයේ ‘සිසු-ජන ව්‍යාපාරය’ එරට ඊළග අන්‍තර්වාර පාලනය තීරණය කිරීමේ නායකත්ව භූමිකාව අත්කර ගැනීම දක්වා ගමන් කළ සටන්කාමී දුර අපට ගමන් කළ නොහැකි විය.
එනම් අපගේ ‘අරගලය’ සැබවින්ම අවසන් වීද ? ගෝඨාභය නෙරපා හැරීම හැර ‘අරගලයේ’ සාධනීය ප්‍රතිඵලයක් නොවීද ?
නිශ්චිතවම කිවහොත් අප තවමත් සිටින්නේ එම ‘අරගලය’ තුළමය.
රටක් ලෙස අප මුහුණ දෙන ආර්ථික-දේශපාලන ව්‍යසනයට පැහැදිළි චූදිතයන් වන පක්ෂ,බලවේග හා පාර්ශවයන් අයත් දක්ෂිණාංශික කදවුර අද පොල් මලක් පොලේ ගැසුවා සේ සීසීකඩ විසිරී ඇත. ඔවුන් අද දේශපාලනය නාමයෙන් අසරණ හා ලැජ්ජා සහගත විපරීත රංගනයක් ප්‍රදර්ශනය කරමින් සිටියි. එය නිසැකවම මහජන අරගලයේ ප්‍රතිඵලයකි.
‘අරගලය’ යනු පැහැදිළිවම ලංකා ඉතිහාසයේ ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක ඇති තීරණාත්මක වැදගත්කම දැවැන්ත ලෙසම පෙන්නුම් කළ සිදුවීමකි. එම ජන නැගිටීම පසුව බැස ගියද එකී අරගලයේ ජන සහභාගී ප්‍රජාතාන්ත්‍රීය අභිලාෂයන් අවසන් වූයේ නැත. එම නැවුම් අත්දැකීම කල්පවත්නා සක්‍රීය පුරවැසි බලවේගයක් ලෙස ගොඩනැගීම සදහා මහජන කවුන්සිල් හා ජන අරගල ව්‍යුහයන් ගොඩනැගීමේ විකල්ප දේශපාලන අභ්‍යාසය ද එකී මහජන අරගලයේ ප්‍රතිඵලයකි.
මහජන අරගලය නිසා ලාංකේය සමාජ පොළවේ යටිපෙළ තුළ සිදුවූ ගැඹුරු පරිවර්තනය සුළු පටු එකක් නොවෙයි. මෙතෙක් පැවැති දේශපාලන ක්‍රමය හා එහි ප්‍රභූ සංස්ථාපිතය කෙරෙහි ඇති තීව්‍ර විරෝධය නව දේශපාලන සාක්ෂරත්වයකින් කුළුගැන්වී නිහඩව ගලායමින් තිබෙයි. මෙයද නිසැකවම මහජන අරගලයේ ප්‍රතිඵලයකි.
ඉදිරි ජනාධිපතිවරණය තුළත් එම පෙරළිකාරී මහජන මතය පරාවර්තනය විය යුතුව ඇත. එසේ පරාවර්නය විය යුතු නැතැයි සිතන අරගලකරුවෙකු හෝ මහජන ප්‍රේමියෙකු ගැන නම් මට සිතා ගත නොහැකිය.
ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනවා යනු අරගලයෙන් නිපන් ජනතාව හුදු ද්‍රව්‍යාත්මක අභිලාෂ පමණක් ඇති ප්‍රයෝජ්‍යතාවාදී මිනිස් අහිනක් ලෙස පෙන්නුම් කිරීමකි.
ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරනවා යනු පැවතුණු ගතානුගතික තට්ටු මාරු ප්‍රභූ දේශපාලන ක්‍රමයම බහුතර ජනතාව විසින් අනුමත කර තිබේය යන්නයි.
එසේනම් කවර සීමාවන් හා විචාරයන් මධ්‍යයේ වුවද අරගලයෙන් දැල්වූ ‘ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වෙනසක්’ පිළිබද බහුතර මහජන අභිලාෂයන් ජනාධිපතිවරණයේ ජයග්‍රහණයක් ලෙස පිළිඹිබු විය යුතුව ඇත. එය අරගලයේම අඛණ්ඩතාවයක් ජනාධිපතිවරණය තුළත් සහතික කිරීමකි.
ඇතැම් විට අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් ඉදිරියේදී එම ජනතා අභිලාෂයන්ට සාධාරණයක් ඉටු නොකරනු ඇතැයි සිතුවද-දේශපාලනයේ පූර්ව සූදානමකින් යුතුව අප එසේද උපකල්පනය කර සිටිමු.
එසේ යැයි සිතුවද,
මෙවර ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක පරාජය වීම යනු මෑත මතුවූ මහජන අරගලයේ ද තීරණාත්මක පරාජයක් සලකුණු වීමකි.