ලොවට රහසේ චේ ට අසීමිතව පෙම්කල තමරා භුන්කේ (ගරිල්ලා ටානියා)

Share post:

ලොව ගරිල්ලා සටන් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් තැබූ ශ්‍රේෂ්ඨ කොමියුනිස්ට්වාදිනියක් ලෙස ” ටානියා “හැඳින් විය හැක. ලොව පුරා විප්ලවවාදීන් අතර ඇය ජනප්‍රියත්වයට පත් වුයේ ටානියා නමින් වුවද ඇයගේ සැබැ නම හයිඩී තමරා බුන්කේ බීඩර් වේ.

ටානියා උපත ලද්දේ ලොව අග්‍රගන්‍ය ගරිල්ලා සටන්කාමියා වූ චේ උපත ලද ආජන්ටිනාවේය. 1937 නොවෙම්බර් 19 වන දින ආජන්ටිනා අගනගරය වන ‘බුවනොස් අයර්ස්’ හී නැගෙනහිර ජර්මානු කොමියුනිස්ට් ක්‍රියාකාරිකයෙකු වූ එරික් බුන්කේ හා නාදියා බීදර්ට දාව උපත ලැබීය. අයගේ මව පෝලන්ත සම්භවයකින් පැවත එන්නෙකි.

සිය පියා ජර්මානු කොමියුනිස්ට් පක්ෂය තුල උද්යෝගිමත් ක්‍රියාකරුවෙකු විය. නැගී එන නාසි වාදයට එරෙහිව බර්ලින් නගරයේදී ජනතාව අමතමින් නාසිවාදය යනු මනුෂ්‍ය වර්ගයා මත හෙලන පාපිෂ්ට අක්ෂයක් බව සනාත කරමින් කොමියුනිස්ට් රැලි ගණනාවක් ඇමැතීය. ඉන් මාරාවේශ වූ නාසිවාදීන් එරික් බුන්කේ කෙසේ හෝ මරා දැමිය යුතු බවට තීරණය කළේය. වරින් වර ඔහු සිටින අනිවසට කඩා වැදුණු ගෙස්ටා ෆෝ පොලිසිය ඔහු ගැන තොරතුරු සොයම්න් විමසිලිමත් විය. නාසීන් බලයෙන් ඉදිරියට එන විට කොමියුනිස්ට් සංහාරයද ඒ සමග ඇරඹුණි . එකම විසදුම ජීවිතය බේරා ගැනීම යයි සිතා ඔහු හා සිය බිරිඳ , ටානියා ගේ වැඩිමහලු සොහොයුරු ඔලොෆ් සමග හොර රහසේම 1933 දී ආජන්ටිනාව බලා නැව් නැග්ගේය. එහි ප්‍රතිපලයක් වශයෙන් ඔවුහු ආජන්ටිනාවේ පදිංචියට පැමිණියේය.

එරික් බුන්කේ ආජන්ටිනාවට පැමිණි විගසම එම රටේ කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්දවිය. ඉන් පසු සිය පව්ලේ වර්ධනය සම්පුර්ණ වාමාංශික දේශපාලන පරිසරයක් මැද ගෙවී ගියේය. සිය නිවස ආජන්ටිනානු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන නායකයන් රැස්වූ සාකච්චා සභාවක් බඳු විය. ඒ අතර දේශපාලන සරනාගතයන්ද , ආණ්ඩුවේ මර්ධනයට ලක් වූ කොමියුනිස්ට් හිතවාදීන්ගේ රහසිගත නවාතැනක්ද විය. රහසිගතව එක් රැස් කළ අවි පවා ගබඩා කරන ලද්දේ ඇයගේ නිවාස තුළය. මේ අභාෂය තුල ටානියා ගේ ළමාවියේ සිට තුරුණු විය තෙක් ක්‍රමිකව දේශපාලන හැඩ ගැස්මකට හුරු විය.

සිය පාසැල් අධ්‍යාපනයටද ඉතා දක්ෂකම් පෑ ඇය පාසලේ අති දක්ෂ කෙටි දුර ධාවන ශූරියක්ද විය. ඇය ආජන්ටිනානු ජන සංගීතයට ඉමහත් ආදරයක් දැක්වීය. ටානියා තුරුණු වියට එළඹීමත් සමගම දෙමාපියන් නැවත නැගෙනහිර ජර්මනියට පදිංචියට ඒමට 1952 තීරණය කළේය. ඉන් පසුව ඔවුන් සියලු දෙනාම ස්ටාලින්ස්ටඩ් නගරයේ ජීවත් විය. ( එම නගරය පසුව ආයිසේන්හුටන්ස්ටඩ් නමින් හැඳින්විය)

අධ්‍යාපනයට සහජ හැකියාවන් තිබු ටානියා සිය උපාදි නිබන්දනයට තෝරාගත්තේ දේශපාලන විද්‍යාවයි. නැගෙනහිර බර්ලිනයේ හම්බෝල්ඩ් සරසවියේ ඇය ඉගනුම ලැබීය. සරසවිය තුල ඉගනුම ලබන අතර තුර ජර්මානු සමාජවාදී එක්සත් පක්ෂය හා සම්බන්ධ විය. අනතුරුව එහි තරුණ අංශයේ ප්‍රබල ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කළේය. ඒ පක්ෂයට සම්බන්දිත තරුණ ව්‍යාපාරයක් වන නිදහස් ජර්මානු තරුණයෝ ව්‍යාපාරයේ පුරෝගාමී නායිකාවක් විය. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය නියෝජනය කිරීමට ටානියා හට අවස්ථා කිහිපයක්ම පක්ෂය විසින් උදා කර දුනි. ඒ අනුව ඔස්ට්‍රියා , චෙකොස්ලෝවැකියා , මොස්කව් හා කියුබාවේ හවානා හි පැවැතු තරුණ සම්මේලන වලට සහභාගී විය. ටානියා චතුර කතිකාවියක් විය. රුසියන් , ස්පාඤ්ඤ , ඉංග්‍රීසි, හා ජර්මානු බස පිලිබඳ මනා හැකියාවක් තිබීම මත ඇයට ට ලොව නං දෙසින් පැමිණි වාමාංශික සහෝදර සහෝදරියන් ආමන්ත්‍රණය කිරීමේ අවස්තාව ලැබුණි. ඇයගේ බුද්ධිමත් භාවයත් , නිපුන හැකියාවත් හඳුනා ගත් ලෝක තරුණ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනය ටානියා හට එහි ඉහල නිලයක් පිරිනැමුණි. ඉන් පසුව ඇය බොහෝ සමාජවාදී රටවල සංචාරය කිරීමේ අවස්ථාව ලැබුණි. කියුබාවට කිහිපවරක්ම පැමිණි පැමිණි ටානියා විප්ලවීය නායකයන් සමග දේශපාලන කතිකාවක් ඇති කර ගත්තේය.

1960 දී ටානියා ලොව අග්‍රගන්‍ය වාමාංශික සටන්කාමියෙක් වන අර්නෙස්ටෝ චේ ගවේරා මුණ ගැසුණි. එම හමුව සිදු වුයේ චේ ගවේරා ගේ නැගෙනහිර ජර්මානු සංචාරයේදීය. ලෙයිප්සිග් නගරයේ පැවතී වෙළඳ සමුළුවකට චේ සහෝදරයා පැමිණිනි. ටානියාගේ දේශපාලන ලොව තුල වීරත්වයට පැමිණ සිටි චේ හට ජර්මානු භාෂාව පරිවර්තනය කිරීමේ අවස්තාව හිමි විය. ය ඒ අත්දැකීම ජීවිතේ ලද මහඟු අවස්තාවක් ලෙස පසු කලෙක පැවසුවාය. ඒ වන විට ලොවපුරා විප්ලවවාදීන් කියුබානු විප්ලවයේ විජයග්‍රහණයෙන් හා චේ ගේ විප්ලවීය සටන්කාමීත්වයෙනුත් උද්දාමයට පත් වී සිටි යුගයයි. අනතුරුව දීර්ග දේශපාලන සාකච්චාවකින් පසුව චේ ටානියා හට කියුබාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

අහිනව විප්ලවීය රජය සමග සම්බන්දවී වැඩ කිරීම් අවස්ථාව හිමිවීම ටානියාගේ ජීවිතයේ ලැබූ තෘප්තිමත් කාලයක් විය. ස්වෙච්චා සේවිකාවක් ලෙස පාසල් ඉදිකිරීමෙදීත් , නිවාස ඉදිකිරීමෙදීත් ඇය උරෙන් උර ගැටී වැඩ කළේය . එයට අමතරව ටානියා ගුරුවරියක් ලෙස විවිද භාෂා ඉගැන්වීමටත් , ශාක්ෂරතාවය නොදත් වැඩිහිටියන්ට ඉගැන්වීමටත් ඉතා කැපවීමෙන් කටයුතු කාලේය. ඇය බොහෝ විට තෝරා ගනු ලැබුවේ කියුබානු අති දුෂ්කර ප්‍රදේශයි.
ටානියා ගේ දේශපාලන චරිතය තුල තිබු කාර්යක්ෂමතාවය , දැඩි විනය හා අධිස්ටානශීලිත්වය පිලිබඳ පැහැදුනු කියුබානු විප්ලවීය නායකත්වය ඇයට වගකීම් එකින් එක පිරිනැමීය. කියුබානු ශ්‍රම හමුදාව තුලත් , මිලිටරි සේවය තුලත් ඇයට හිමි තැන දීමට කියුබානු පාලනය මැලි නොවීය. රට තුල අධ්‍යාපන ප්‍රතිෂන්ස්කරණය තුලින් රටේ ජනතාවගේ දැනුම හා කුසලතාවයන් වර්ධනය කිරීමට ඇරඹි කියුබානු ශාක්ෂරතා ඔප නංවන වැඩමුළුවේදී කැපී පෙනෙන කාර්යක් ඉටු කිරීමට ටානියාට හැකි වීම විශේෂිත කරුණකි. ඉන් පසුව ඇයට අධ්‍යාපන අමාත්‍යංශයේ ඉතා වගකිව යුතු තනතුරක් පිරි නැමීය. විවිධ ක්ෂේස්ත්‍රයන් ඔස්සේ පිය නගමින් විප්ලවීය ජයග්‍රහණයන්ට උර දුන් තරුණ ටානියා කියුබානු කාන්තා සම්මේලනයේද සමාරම්භක සාමාජිකාවක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවවාදිනියක් වූ ටානියා සිය භාවිතාවෙන් එය ඔප්පු කළේය.

චේ ගේ විශේස අවදානය දිනාගත් ටානියා ඔහුගේ ඔපරේෂන් ෆැන්ටස්මා නොහොත් මහද්වීපික විප්ලවය වෙනුවෙන් තෝරා ගන්නා ලදී. ආජන්න්ටිනා, පැරුගුවේ , බ්‍රසිල්, චිලි , බොලිවියා ඇතුළු ලතින් ඇමෙරිකාව තුල ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව තවත් වියට්නාමයක් කිරීමේ දැවැන්ත අරගල සැලසුමට චේ විසින් ටානියාගේද සහයෝගය ලබා ගත්තේය. කියුබානු බටහිර වෙරල තීරයට ආසන්නව පිහිටා තිබු පිනාර් දෙල් රියෝ ප්‍රදේශයේ රහසි ගත මිලිටරි පුහුණු පාසලක් චේ විසින් ආරම්බ කරන ලදී. එය දාරියල් ඇලර්කොන් රමිරස් නම් ශ්‍රේෂ්ට ගරිල්ලා නායකයා ගේ මග පෙන්වීම මත සියලු පුහුණුවීම් සිදු කරන ලදී. එයට ටානියා ඇතුලත් වී මනා ගරිල්ලා සටන් පිලිබඳ පුහුණුවක් ලබා ගත්තේය. එමෙන්ම සන්නිවේදන කටයුතු පිලිබඳ තාක්ෂණික පුහුණුවක්ද ලැබීය. රහසි ගත පණිවුඩ හුවමාරුව ගරිල්ලා සටනකදී අත්‍යාවශ්‍ය සාදකයකි. ටානියා එම තාක්ෂනය මනා ලෙස උකහා ගත්තේය. එම පුහුණුව අවසානයේදී චේ විසින් ඇයට ” ටානියා ” යන ආරුඩ නාමය තබන ලදී. මේ අතර චේ ගේ නායකත්වයෙන් ගොඩ නැගුනු කියුබානු බුද්දි අංශයට ද ටානියා ඇතුලත් කරගත්තේය. ඇය සතු බුද්දිමය හැකියාවන් හා කැපවීම් තුලින් චර පුරුෂ සේවයට ටානියා සුදුසු බව චේ නිගමනයකට පැමිණුනි. කුලුපගකම, කරුණාවන්තකම , රූමත් කම මෙන්ම දැඩි බව එකම චරිතයතුල දිස් වීම ටානියා රහස් තොරතුරු සේවයට අනුයුක්ත කිරීමට හේතු වුවා විය හැක. එම නිගමනයන් තුලින් ඇය බොලිවියානු සන්නද්ද අරගලය ආරම්බ කිරීමට පෙර බොලිවියාවේ ලාපාස් නගරයට යැවීමට කියුබානු ගරිල්ලා නායකත්වය තීන්දු කළේය

1964 ඔක්තෝම්බර් මස දිනක ඉතා රහසිගතව ටානියා බොලිවියාවට ඇතුළු වුයේ ලාවුරා ගුටියරෙස් බවුයර් යන ආදේශ නාමයෙනි. චේ ගවේරාගේ බොලිවියානු ගරිල්ලා සටනට පුර්ව සුදානමක් ඇති කිරීම ඇගේ ඔත්තු සේවාවේ ප්‍රධාන අරමුණ විය. සිය දිවිය දෙවැනි කොට සමාජවාදී විප්ලවය වෙනුවෙන් හැඩ ගැසුණු දේශපාලන අරමුණක් තුල ටානියා ගමන් ගත්තේය. ඇය ඉතා සුක්ෂම ලෙස බොලිවියානු දේශපාලන අධිකාරිය තුලට රිංගා ගත්තේය. ධන කුවේරයන්, රජයේ ඉහලම නිලධාරීන් හා කුළුපග ඇසුරක් ගොඩ නගා ගැනීමට ටානියාට ගත වුයේ කෙටි කළකි. අයගේ චතුර බාෂා හැසිරවීමේ විලාශයත් , හැඩකාර කමත් එයට කදිම සහයක් ගෙන දුන්නේය. ඒ අතර ටානියාගේ විමසිලිමත් දෑස යොමු වුයේ බොලිවියානු මිලිටරි ශක්තිය පිලිබඳ සොයා බැලීමටය .. ඒ වෙනුවෙන් රජයේ හමුදාවන්හී ඉහලම නිලදාරීන් ගැවසෙන අවන් හල් , සුපිරි හෝටල් තුල සැරිසරමින් තොරතුරු එක්රැස් කළේය. ඇගේ සියලු පෞත්ගලික දිවියම පොදු අරමුණක් වෙනුවෙන්ම කැප කරන ලදී. අවසානයේ ටානියා බොලිවියානු ජනාධිපති රේනේ බරියන්ටෝස් ගේ විශ්වාසය පවා දිනා ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් ඇය අජන්ටිනානු දක්ෂිනාංශික ක්‍රියාකාරිනියකගේ චරිතයට පන පෙවීමට සිදු විය. වරෙක ජනාධිපති වරයා සමග පේරු රාජ්‍යයේ සංචාරයක පවා නියැළුණි. සියලු තතු රහස්‍ය සංකේත භාවිතයෙන් චේ දැනුවත් කරන ලදී. දිගු කලක් බොලිවියාව තුල නතර වීමේ අවස්යතාවය මත බොලිවියානු සංගීත ශිල්පියෙකු හා විවාහ වීමට පවා ඇයට සිදු විය. අනතුරුව ටානියා හා විවාහ ගිවිස ගත් තරුණයා සමග ලතින් ඇමෙරිකානු ජන සංගීත තැටි නිෂ්පාදනාගාරයක් ආරම්බ කරමින් ලාපාස් නගරයේ පදිංචි විය.

සිදුවීම් මෙසේ සිදුවන විට චේ හා අනෙකුත් ගරිලා භටයන් ක්‍රමිකව බොලිවියාව වෙත පැමිණෙමින් සිටියේය. එසේ පැමිණෙන සටන් කාමීන්ට නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් ආදී සියල්ලන්ම සුදානම් කිරීමේ වගකීම චේ විසින් පවරා තිබුනේ ටානියා වෙතට. ඇය ඒ සියල්ලම ඉතා රහසිගතව අකුරටම ඉටු කරන ලදී .

ඇය නතරවී සිටි නිවසේ බිත්තියක ඉතා රහසිගතව සඟවා තිබු රේඩිඕ උපකරණ මගින් චේ හා පිදෙල් අතර පණිවිඩ හුවමාරුව සිදු විය. ඒ අතර වනගතව සිටින අනෙකුත් ගරිල්ලා භටයන්ගේ තොරතුරුද , ඔවුන්ගේ ඔනෑ එපාකම්ද සොයමින් ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන ලදී.

1966 දිනක ටානියා ගරිල්ලා හමුදාව වනගතව සිටින නන්චාහුවාසු ප්‍රදේශයට ගියේය. ඇයගේ ජීප් රථය .නතර කර තිබු නිවස අත්අඩංගුවට ගත් ගරිල්ලා භටයෙක් විසින් පාවාදෙන ලදී. එම ජීප් රථය තුල ඇගේ එක රහස් ලියවිල්ලක් අමතකව ගොස් තිබිණි. එය බොලිවියානු රජයේ අත්අඩංගුවට පත්වීම ඉතා විනාශ කාරී ආරම්බයකට මග පෑදුනි. ඉන් පසුව ටානියා පිළිබඳව සියලු තතු බොලිවියානු අධිකාරියට දැනගන්නට ලැබුණි. ඉන් අනතුරුව ලාපාස් නගරයේ ගතකල රහස් ජීවිතයෙන් මිදී චේ ගේ ගරිල්ලා හමුදාව සමග එක වීම හැර විකල්පයක් ඇයට නොතිබිණි. චේ විසින් ටානියා සන්නිවේදන හා ආහාර සැපයුම් අංශය බාර දෙමින් බොලිවියාව තුලද අරගලයේ ඉතා වැදගත් වගකීමක් පවරන ලදී. වනගත ජීවිතය තුල ඇය වරින් වර රෝගාතුර විය. විටෙක උන රෝගය නිසා ඇය මාරාන්තික තත්වයට පත් විය. නැවත සුවය ලබමින් සටන් කාමී සෙබළියකගේ අප්‍රතිහත දෛර්යෙන් සටන් වැදුනි. ටානියාගේ එකම අරමුණ ලතින් ඇමෙරිකානු සමාජ වාදී විප්ලවයේ ජයග්‍රාහී ඉලක්කය විය.. ඇය නිර්මල ජාත්‍යන්ත්‍රවාදිනියකි. සිය ජීවිතයේ කෙටි කලක් තුල යා හැකි උපරිම දුරක් ගෙවමින් මිනිස් වර්ගයා වෙනුවෙන් ජනිත වුන අනුරාගයෙන් සිය දිවියම පිරී තිබුණි. අයුක්තිය අසාදාරනය ඉදිරියේ කගපතක් මෙන් තියුණු වූ ටානියා මානව සංහතිය වෙනුවෙන් ඒ එඩිතර බව සටන්කාමී සෙබළියකගේ තත්වයට පත් කර තිබුණි.

බොලිවියානු සටන මැද 1967 අගෝස්තු 31 වෙනි දින උදැසන 5.30 ට පමණ ඇය නායකත්වය දුන් ගරිල්ලා භට කණ්ඩායම සමග රියෝ ග්‍රන්දේ ගංගාව තරණය කළේය. එය පිහිටා තිබුනේ බොලිවියාවේ වාදෝ ඩෙල් යෙසෝ ප්‍රදේශයේය. ටානියා ඇතුළු 17 දෙනෙක් ඒ අවස්ථාවේ ගංගාව තරණය කරමින් සිටියේය. සැඟවී සිටි බොලිවියානු හමුදාවන් ටානියා හා තවත් ගරිල්ලා භටයන් 7 දෙනෙකුට වෙඩි වරුෂාවකට මුහුණ දීමට සිදු විය.. ටානියා මිය යන්නේ සිය රායිෆලය හිසට උඩින් ඔසවා ගඟ තරණය කරන අවස්ථාවේය. සටන් බිමකදී නම් කිසි සේත්ම එක වෙඩි පහරකින් මරා දැමීමට සමත් ගරිල්ලා යුද සෙබළියක් නොවීය. ඇගේ හිසට තැබූ වෙඩි පහරින් ගලා ගිය රක්ත වර්ණ ලේ දහරාවෙන් රිඕ ග්‍රන්දේ නදිය ලෝහිත පැහැයට හැරුණි. ලොව අග්‍රගන්‍ය මාක්ස්වාදී ගරිල්ල සටන්කාමිනියකගේ ශ්‍රේෂ්ට විප්ලවීය භූමිකාව එසේ නිමාවට පත් විය.

ඇය හා මියගිය අනෙකුත් ගරිල්ලා සටන්කාමීන්ගේ සිරුරු ගංගා නිම්නයේ රහසි ගත තැනක වල දමන ලදී. ඒ අතර චේ ඇතුළු පිරිස නොනවත්වා සටන් බිම තුල සිටියේය. චේ සවන් දුන් රේඩියෝ ප්‍රවුර්ති සේවයට කන්දී මේදී ඇයගේ නික්මයාම ගැන සෝචනීය පණිවිඩය කන වැකුනි. පසුව පිදෙල් කස්ත්‍රෝ විසින් ඇයගේ මරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. පසුව කියුබාව තුල වීරවරියක් ලෙස නම් කරමින් ටානියා ද ගරිල්ලා ” යන නාමයෙන් ඇය මහත් ගෞරවයෙන් හා භක්තියෙන්. හැඳින්වීය 1998 ඔක්තෝම්බර් 13 දින වැල්ග්‍රන්දේ ප්‍රදේශයේදී බොලිවියානු හමුදා විසින් ටානියා වල දැමු රහසිගත ස්ථානය සොයා ගැනීමත් සමගම ඇයගේ සිරුරේ කොටස් හමු විය. ඒවා ගුවන් මගින් කියුබාවට ගෙන ආතර ශාන්ත ක්ලේරා හි පිහිටි චේ ගුවේරා අනුස්මරණ ස්මාරකය අසල ඇගේ නමින් විරු සමරු ස්මාරකයක් ඉදි කරමින් එහි කොටස් තැන්පත් කරනු ලැබීය. ටානියා ඔබ අපට ප්‍රති මුර්තියකි. විප්ලවය වෙනුවෙන් උදාර කැප කිරීමක් කල ඔබට විප්ලවීය ආචාරය.

ප්‍රදීප් පීරිස්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...