අත්නොහැරීම

Share post:

ඉන්දීය සංචාරයේ T20 තරගාවලිය පැවැත්වීමට සියල්ල සුදානම්.
ඒ අනුව දෙරට අතර පළමු T20 තරගය 27 සෙනසුරාදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාව T20 ආකෘතියේ ලෝක ශූරයන්. වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම, එමෙන්ම බලවත්ම ක්‍රිකට් රාජ්‍යයත් ඔවුන්.
ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් වුණා. මේ මොහොතේ දී දරුණු පසුබැසීමකට ලක්ව සිටිනා කණ්ඩායමක්.
එම නිසාමදෝ මෙවර ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරගයක් හෝ ඇතුලත්ව නැහැ.
ඉන්දීය T20 සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ සූර්යා කුමාර් යාදව් හටයි.
එය තරමක් සුවිශේෂීයි.
නිමාවූ ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ, රෝහිත් ශර්මා ලෝක කුසලානයෙන් පසුව T20 ආකෘතියෙන් සමුගැන්ම නිවේදනය කළා.
ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායමේ උපනායකත්වය දැරුවේ තුන් ඉරියව් ක්‍රීඩක හාර්ඩික් පාන්ඩ්‍යා විසින්.
එමෙන්ම ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගයේත් නායකත්වය දරා ඇති, නායකත්වය උදෙසා පුහුණු කළ ක්‍රීඩකයෙක්.
ඉන්දීය ප්‍රීමියර් ලීගයේ සූර්යා කුමාර් යාදව් සහ රෝහිත් ෂර්මා ක්‍රීඩා කරනා, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායකත්වය පවා දරනුයේ හාර්ඩික් පාන්ඩ්‍යා විසින්.
එය ඔහු ඉන්දීය ක්‍රීඩාවේ මීළග කිරුළ හිමි කුමරු යැයි ලබා දුන් පණිවිඩයක්.
එම නිසා මීළඟ ඉන්දීය නායකත්වය හාර්ඩික් පාන්ඩ්‍යා ට හිමි වේ යැයි බොහෝ දෙනකු බලාපොරොත්තු වුණා.
කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් සහ තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කර් විසින් නායකත්වයට තෝරා ගෙන ඇත්තේ සූර්යා කුමාර් යාදව්.
එය සුවිශේෂී තීරණයක්. එම තීරණය කිහිප පැත්තකින් කියවා ගත හැකියි.
සිය තීරණය පිළිබඳව අදහස් දක්වමින් අජිත් අගාර්කර් ප්‍රකාශ කළේ හාර්ඩික් වෙනුවට සූර්යා කුමාර් නායකත්වය උදෙසා තෝරා ගත්තේ ශාරීරික යෝග්‍යතාවය ද සලකා බලා බවයි.
නිමාවූ ලෝක කුසලාන අවසන් මහා තරගයේ තීරණාත්මක ඩේවිඩ් මිලර් ගේ උඩ පන්දුව රැක ගත්තේ ද සූර්යා කුමාර් විසින්.
එම උඩ පන්දුව නොවන්නට ඉන්දීය කණ්ඩායමට ලෝක කුසලානය පවා අහිමි වීමට තිබුණා.
ඔහු වේගවත්. දක්ෂ පන්දු රකින්නෙක්.
සූර්යා කුමාර් විශිෂ්ට ශාරීරික යෝග්‍යතාවයකින් හෙබි ක්‍රීඩකයෙක්. ඒ පිළිබඳ කිසිඳු සැකයක් නැහැ.
එනමුත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම හෝ අවම වශයෙන් අතිබහුතරයක් ක්‍රීඩකයන්ට වඩා ඉහළ ශාරීරික යෝග්‍යතාවයක් හාර්ඩික් පාන්ඩ්‍යා සතුයි.
ඔහු ද බොහෝ වේගවත්. සිය ශරීරිය ඉතාම හොඳින් නඩත්තු කරනා ක්‍රීඩකයෙක්. ඔහුගේ ශරීරයේ මේදය අවමයි.
එනමුත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය පවා වත්මන් ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත්වීමට ප්‍රමාණවත් නැහැ.
එමෙන්ම නායකයා පත් කිරීමට පෙර ඉන්දීය ක්‍රීඩා විවේකාගාරයෙන් ද අදහස් විමසා සිය තීරණය ලබාගත් බව අජිත් අගාර්කර් ප්‍රකාශ කළා.
ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායම් සිය නායකයන් තෝරා ගන්නා අයුරු මෙහිදී විශ්ලේෂණය කළ හැකියි.
ඔහුට නායකත්ව අත්දැකීම් පවතී ද, ඔහු නායකයත්වය උදෙසා පුහුණු කළ ක්‍රීඩකයෙකු ද යන සාධක වලටත් එහා ගිය කරුණු ඉන්දීය තේරීම් කමිටුව විසින් සලකා බලා තිබෙනවා.
ඉන්දියාව ස්ථාවර නායකත්වයන් පවත්වාගෙන යන කණ්ඩායමක්.
කිසිදු අයුරකින් ඔවුන් තරගාවලියෙන් තරගාවලියට නායකත්වයන් මාරු කරන්නේ නැහැ.
නායකත්වය ලබාදීමේ දී සලකා බැලිය යුතු කරුණු සියල්ලම සලකා බලා, එක් නායකයෙකු ඔවුන් පත් කරනවා.
එම නායකයාට සිය කණ්ඩායම ගොඩනගමින්, හැසිරවීමට ප්‍රමාණවත් කාලයක් හිමි වෙනවා.
ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යය ගොඩනැගීමෙන් පසු ඔවුන් අනුගමනය කළ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත එයයි.
මෙහිදී ක්‍රීඩා විවේකාගාරයේ බෙදීමක් ඇති නොවන පරිදි නායකත්වය වෙනස් කිරීමත් සුවිශේෂී තත්ත්වයක්.
නව නායක සූර්යා කුමාර් යාදවූ 33 හැවිරිදි ක්‍රීඩකයෙක්. මේ වනවිට T20 ආකෘතියේ සුපිරිතම පිතිකරුවෙක්.
IPL තරගාවලියෙන් බිහි වූ ඔහුගේ ගමන කිසිසේත්ම සුන්දර එකක් වූයේ නැහැ.
සූර්යා කුමාර් යාදව් ඉන්දියාව වෙනුවෙන් ජාතික වරම් දිනා ගත්තේ 2021 වසරේ දී.
ඉන්පෙර බොහෝ කාලයක සිට ඔහු IPL තරගාවලියේ සුවිශේෂි දක්ෂතා දැක්වූවා.
එනමුත් ඔහුට අවස්ථාවක් හිමි වීමට බොහෝ ප්‍රමාද වුණා.
ඔහුට වඩා අඩු දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන්ට පවා ඉන්දීය T20 කණ්ඩායමේ අවස්ථාවන් විවර වුණා.
IPL තරගාවලියේ සුවිශේෂීම පිතිකරුවා වූ ඔහු දිගින් දිගටම නොසලකා හැරුණා.
2020 වසරේ ඕස්ට්‍රේලියානු තරගාවලිය උදෙසා නම් කළ ඉන්දීය කණ්ඩායමේ සූර්යා කුමාර් යාදව් ට ස්ථානයක් වෙන් වූයේ නැහැ.
ඒ ඉන්පෙර පැවැති IPL තරගාවලියේ ඔහු විශිෂ්ට දස්කම් දක්වා තිබෙන පසුබිමකයි.
ඉන්දියාව වැනි අතිශය තරගකාරීත්වයක් පවතින රටක අවසන් සංචිතයක් තෝරා ගැනීම පහසු නැහැ.
මේ තරගාවලියට, මනීෂ් පාන්ඩේ සහ සංජු සැම්සන් නම් කර තිබුණේ සූර්යා කුමාර් යාදව් ඔවුන්ට වඩා දක්ෂතා දක්වා තිබූ පසුබිමකයි.
එහිදී එල්ල වූ රසික විරෝධය නිසා එවකට ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි ට යාදව්ගෙන් වක්‍රව සමාව අයැදීමට පවා සිදුවුණා.
අවසානයේ 2021 වසරේ ජාතික කණ්ඩායමේ දොරටු විවර වෙද්දී සූර්යා කුමාර් ට වයස අවුරුදු 31 ක්.
ඔහු තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කළා.
පළමු තරගයේ දීම පන්දු 37 කින් ලකුණු 57 ක් ලබා ගත්තා. කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකි ක්‍රීඩකයෙකු බවට පත් වුණා.
ඇතැම් විටෙක එහි තිබුණේ මෙතෙක් කාලයක් අවස්ථාව නොලැබීමේ කණගාටුව සහ වේදනාව වන්නටත් ඇති.
ඉතා කෙටි කලකින් ඔහු ලෝකයේ අංක එකේ T20 පිතිකරුවා බවට පත් වුණා.
දැන් ඔහුට ඉන්දීය කණ්ඩායමේ නායකත්ව කිරුළ ද හිමිවෙලා.
කොතරම් දක්ෂතා අතර සිටියත් සැලකිය යුතු කාලයක් පුරා ඔහුට අවස්ථාවන් හිමි වූයේ නැහැ.
ක්‍රීඩකයෙකුගේ හොඳම කාලය යැයි සැලකෙන යොවුන් කාලය පුරාවටම ඉන්දීය ජර්සිය ඇඟ ලා ගැනීමට ඉඩ ලැබුණේ නැහැ.
නමුත් ඔහු අත්හැරියේ නැහැ. කලකිරි ක්‍රීඩාවෙන් සමුගත්තේ නැහැ.
තමන්ට අවස්ථාවක් හිමි වූ IPL තරගාවලියේ ඔහු උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළා.
ඒ ඔස්සේ තමන්ට අවස්ථාවක් ලබා නොදී සිටීමට බැරි තැනකට පත් කළා.
අවසානයේ ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගත්තා.
ලොව හොඳම පිතිකරුවා වුණා.
අවසානයේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වයටත් පත්වුණා.
සූර්යා කුමාර් යාදව් ගේ ජීවිතයෙන් ක්‍රීඩකයන්ටත්, සෙසු සැමටත් ඉගෙනීමට පාඩමක් තිබෙනවා.
ඒ අත්නොහැරීමේ පාඩමයි.
කලකිරීම වෙනුවට පෙරලා අභියෝග කිරීමේ පාඩමයි.
අයුක්තිසහගතව තමන් නොසලකා හැරී පුද්ගලයන්ට අවසන් සිනහව ලබා නොදී, සටන් කිරීමේ පාඩමයි.
ඔහුගේ ඒ කැපකිරීමේ ප්‍රතිඵල අද උදා වෙලා.
සූර්යා කුමාර් යාදව් ගේ කතාව අප සැමට ආදර්ශයක්.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

         2024. 07. 24

Related articles

රසිකාගේ හරි අපුරු ‘‘ කොළඹ වැස්ස ““

වර්ණ රසිකා ගුණවර්ධන සහ මම එකිනෙකට වෙනස් මතයන් සහ කණ්ඩායම් නියෝජන කරන චරිත දෙකක් ඒක සංස්කෘතිමය සමාජීය හා...

උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව...

38න් 1 පරිච්ඡේදය – ව්‍යවස්ථාවේ බලතල යොදාගෙන නීතිවිරෝධී මැතිවරණ අල්ලස් දෙන රනිල් !

ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට...