සිම්පල් සයිමනුයි සාරි ඇඳපු පිරිමියි – විෂ්ණු වාසුගේ සාංදෘෂ්ටික සහ විචිත්‍රවත් ලිවිසැරිය

Share post:

නවකතාවක් කියෙව්ව ම ඒක හොඳටම දැනෙන්න බලපාන කාරණා කීපයක් මට තියෙනව. ඒ කාරණා ටික එකතු වුණ පොතක් කියවද්දි මොළේ ස්නායු බහුතරයක් උද්දීපනය වෙන්න ගන්නව. එක එක පැතිමානවලින් දේවල් පේන්න ගන්නව. නවනළු රසයෙන් රස කීපයක්වත් උපරිමයට දැනිල භාව උද්දීපනය වෙනව. පොත කියවල ඉවර වුණාට පස්සෙ දවස් ගාණක් ඒ සංදර්භයෙ ම ඔළුව කැළතෙනව. ඒ හැඟීමට ගැලපෙන වර්ණවලින් ඔළුව ඇතුළෙ චිත්‍ර ඇඳෙනව. සංගීත ඛණ්ඩ අහනව – ඇහෙනව. ඊටත් පස්සෙ ඒක නිත්‍ය-තථ්‍ය අත්දැකීමක් වෙලා පණ තියෙන කම් ජීවිතේට බද්ධ වෙන කොටසක් හැටියට එකතු වෙනව.

විෂ්ණු වාසුගෙ ‘සාරි ඇඳපු පිරිමි’ කියවලා කලාතුරකින් වෙන ඔය දේ වුණා. දවස් කීපයක් ඒකෙ පාවෙවී ඉඳල තීරණය කරා ‘සිම්පල් සයිමන්’ කියවනව කියල. ඒකත් කියෙව්ව ම අර මුලින් කිව්ව අත්දැකීම ගුණාකර වුණා. ඒ අත්දැකීම අකුරුවලට දාන්න බැරි තරම් විචිත්‍ර වුණත්, ඒ සා මාව සංසල කරපු ලිවිල්ල ගැන යමක් නො ලිව්වොත් ඒක අයුත්තක් ය කියල හිතෙනව.

‘සාරි ඇඳපු පිරිමි’ නමත් එක්ක ම එන ප්‍රධාන තේමාව ලංකාව වගෙ සංස්කෘතික වශයෙන් පසුගාමී දූපතක ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන transgender ප්‍රජාව ගැන. ඒ කතාබහ ගොඩනගන්නෙ අර්ජුන් කියන ධනවත් බලවත් පවුලක ඉපදෙන බ්‍රාහ්මණ තරුණයාගේ අත්දැකීම් හරහා. පිළිසිඳගැනීමේ සිට පවුලෙන් පිටුවහල් වීම හරහා ඔහු විසිවෙන, නවතින තැන්වලදි, මහ සමාජයට කවදාවත් හරියට අහුවුණේ නැති ඉපැරණි මිනිස් ප්‍රජාවක දුක, සතුට, අනවරත අභියෝග විතරක් නෙවෙයි, විචිත්‍රවත් උපසංස්කෘතියක් ගැන ඥානනය වෙනව.

මනුස්සයෙක් තුළ තමන්ගෙම ශරීර අනන්‍යතාව ගැන ඇතිවෙන අර්බුදය මොන තරම් සංකීර්ණ ද?ඒ ගැටලුව දහස් ගුණයකින් ගුණ කරන සමාජ සංකීර්ණතා ඉදිරියෙ තනි මිනිස්සු තවත් කොයි තරම් තනි වෙනවද?

අර්ජුන්ගෙ චරිතය මතු කරන විදිහ ඊටත් වෙනස්.සියුම්. දුවෙකුට ආස කරපු ගෙදරක ඉපදෙන පිරිමි දරුවට එයාගෙ අම්මා දුවෙකුට වගේ අන්දනව. සලකනව. ගැහැනු නමකින් කතා කරනව. අම්මා තමයි අර්ජුන්ගෙ හර්ද වාසී එක ම මිනිස් ප්‍රාණියා. ඇගේ හදිසි නික්ම යාම අර්ජුන් ව දැඩි සේ හුදෙකලා කරනව. ගැහැනු ආත්මයක සංවේදනා ඔහුට ඇත්තටම දැනෙන්නෙ මානසිකව. අම්මා අහිමි වීමේ හිස්තැන පිරවෙන්නෙ එතැනින්.

පංති භේදය නො වැළැක්විය හැකි විදිහට මේ ප්‍රජාවෙ පැවැත්මට බලපාන හැටි විෂ්ණු අපිට කියන්නෙ කොළඹ හතයි, ඇවරිවත්තයි, පාර්ලිමේන්තු⁣වයි වගේ හුඟක් තැන්, හුඟක් චරිත සහ සිද්ධි අලලල. ඒ අතර ම ඒ අයට පිහිට වෙන ඒ ප්‍රජාව ම නියෝජනය කරන මිනිස්සු අපිට හම්බ වෙනව. මනුෂ්‍යත්වය පිළිබඳ සියළු බලාපොරොත්තු නො සිඳගෙන ඉන්න ඒක උදව්වෙනව.

ලිවිල්ල උපදේශනාත්මක නැහැ. හොඳ වෙලාවට දම් දෙසුම් හෝ සටන් පාඨ නැහැ. ඒ වෙනුවට ඥානය උපද්දනව. සහකම්පනය ස්නායු සහලවල දැනෙන්න අරිනව. ඉතිරිය තියෙන්නෙ අපේ අතේ. ‘අපි මොනවද කරන්න ඕනෙ’ කියන අත්‍යවශ්‍ය ප්‍රශ්නය ඉබේ ම අපට ම අපෙන් ම ඇහෙනව.

සුරාසුර යුද්ධෙ- යුද්ධයේ විවිධ පැති සහ ප්‍රතිඵල ගැන මේ පොතේ කතා කරන්නෙ බොහොම සරල ස්වභාවික සිද්ධි හරහා. ඒ තුළ තියෙන ඛේදය කියව ගන්න එක පාඨකයගෙ වැඩක්. ඒ වගෙ ම යුද්ධෙ ගතිකයන් දෙමළ ජාතිකයින්ට බලපාපු විදිහ විවිධයි. ඒකෙ වැඩිය සංවාද ගත නොවෙන පැත්තක් මේකෙ තියෙනව. ඒ තමයි කුලීන ධනවත් පන්තිය සෑහෙන කලක් ඒ එක්ක ගනුදෙනු කරපු විදිහ. ඒ අයගෙ ඉහළ යුධ හමුදා සම්බන්ධතා. ඒවා සාමාන්‍ය ජනතාවට වඩා සෑහෙන කලක් කුලීන ජීවිත පහසුවෙන් පවත්ව ගන්න උදව් වෙනව.

කුලේ- දෙමළ සමාජයේ කුල ධූරාවලිය ගෙයක පාදමක් වගේ පොත පුරා පැතිරිලා. ඒ සංකීර්ණ බල රටා සහ බිහිසුණු පීඩනය අපට දැනෙනව. මේක සිම්පල් සයිමන් පොතෙත් එනව. කුලය සම්බන්ධ මතෘකාවෙදි මිනිස් ජීවිතේ කන බොන තැන සිට අධ්‍යාපනය ලැබීමේ අවස්ථා සහ වාදනය කරන වාද්‍ය භාණ්ඩය සහ ඒ වෙනුවෙන් වේදිකාවට නඟිනව කියන කාරණයට පවා කුලය බලපාන හැටි. මැරෙන්න යද්දි ලේ ඕන වුණත් අඩුකුලේ දෙමළෙකුගෙන් නෙවෙයි, නම්බුපිට සිංහලයෙකුගෙන් තමා ගන්නෙ.

වෙන් කරගත්ත ⁣ආගමික ස්ථානවලට බලෙන් ගොඩ වෙන අඩුකුලේ විප්ලවවාදියො ගැන කතා කරනව. කුලය වෙනුවෙන් ලේ හැලිල ජීවිත පූජා වෙනව.

තිත්ත වර්ගවාදය සහ කුලවාදය කෙරෙහි අනනුකම්පීය ව මතුකරන සදය සරදම් ස්වරැති හාස්‍යයත් මුණ ගැහෙනව.

අර්ජුන් පිරිමියෙක් නෙමේය කියල හිතන අප්පා, ලේ එන්න ඔහුගෙ දත කට කැඩුවට පස්සෙ කරුපන් මාමා එක්ක කොළඹ එන අවස්ථාව. දෙන්නව ⁣ඕමන්තෙ චෙක්පොයින්ට් එකේ නවත්තනව. දෙබස, දෙමළ ජාතික බ්‍රාහ්මණ කුලේ අර්ජුන් අරභයා කරයාර් කුලේ දෙමළ කරුපන් සිංහල සොල්දාදුවෙක් එක්ක. දෙමළ ජාතිකයො දෙන්නා කරයාර් කුලේ කිව්වම සිංහල සොල්දාදුව මෙහෙම අහනව.

“කරයාර් කුලේ? කරයාර් කුලේ කියන්නෙ අපේ ගොවිගම වගේ ඉහළ කුලයක් ද?”

“නෑ සර්, ඒක සර්ලගෙ රදළ කුලේට සමාන කුලයක්.”

“මම ලාන්ස් කෝප්‍රල් මරක්කලගේ උපාලි. දකුණේ. බලපිටියේ. කරාවේ. හෝදලා බොන්න පුළුවන් කුලේ. තමුසෙගෙ රදළකමට සලකලා යන්න දෙනවා. ඉංග්‍රීසි කියන්නෙ වහක් අයිසේ. පර බාසාවක්. තමුසෙලත් සිංහල ඉගෙන ගෙන තිබ්බ නම් තිස් අවුරුදු යුද්දෙත් නෑ……පුතාට කියනව ඉක්මනට සිංහල ඉගෙන ගන්න කියලා. “

ගෑනු – පොත පුරා ම පිරිමි ආධිපත්‍යයට යට වෙන -නො වෙන ගෑනු මුණගැහෙනව. ඒ ගැහැනු පරාසය වැල්වෙටිතුරේ බ්‍රාහ්මණ කුලේ සුඛාන්තන් මන්දිරයෙ ඉඳල රොස්මිඩ් බංගලා හරහා ඇවරිවත්තේ වෙළඳ කලාපෙ තරුණියො වෙනකම් පළලයි. ගැඹුරුයි.

හැම සමාජෙක ම ධනයෙන්, බලයෙන්, ලිංගිකත්වයෙන්, තරාතිරමෙන්, අධ්‍යාපන මට්ටමෙන් අනෙකා පීඩාවට පත් කරනව. පාවිච්චි කරද්දි වෙළඳකලාපෙ සුපවයිසර්ලත් එකයි, සල්ලිකාර බ්‍රාහ්මණයොත් එකයි, දේශපාලකයොත් එකයි, විශ්වවිද්‍යාලවල උගන්නන ගෑනුත් එකයි පිරිමිත් එකයි කියල ලේඛකය පෙන්නන්නෙ සූක්ෂ්ම ව ගලා යන සිද්ධිවලින්. බොහොම මැදහත් ඇහැකින් දකිමින්.

ඊට අමතර ව අපට අනෙකා වෙනුවෙන් උණුවෙන ගෑනු සහ පිරිමි අම්මල මුණ ගැහෙනව. ඒ අය එදිනෙදා ජීවිතේ ඇතුළෙ හම්බ වෙන්නෙ නැති තරමට පටු වෙලා කොටු වෙලා තියෙන අපේ ජීවිත ගැනයි ඊළඟට මට කල්පනාවට ආවෙ.

සංස්කෘතික දේදුනු- හින්දු සංස්කෘතියෙ විචිත්‍රවත් බව, ඇදහිලි, වතාවත්, කෝවිල් සංස්කෘතියෙ මුල මැද අග, ජන ජීවිතය මේ කතාව ඇතුළෙ අපට හම්බ වෙන්නෙ නිකම් හුස්ම ගන්නව වගේ සාමාන්‍ය විදිහට. Transgender ප්‍රජාවෙ, කලාපෙ සංස්කෘතියත් එහෙමයි. හැබැයි කාටහරි මූලාශ්‍ර හැටියට පරිශීලනය කරන්න පුළුවන් තරම් තොරතුරු ඒ පර්යේෂණ මහන්සිය ඇතුළෙ තියෙනව.

මේ කිව්වටත් වඩා සමාජ දේශපාලනික තේමා ගොඩක් එකට හප්පල, හරියට මුහු කරල තියෙනව. අතිශය කල්පනාවෙන් චරිත ගොඩ නඟල තියෙනව. මං කැමති ම සීතාලක්ෂ්මියගේ චරිතය ගොඩ නඟන විදිහට. ඒ සියුම් සංකීර්ණ මනෝභාව පෙන්නන විදිහට. එවැනි සංකීර්ණ සමාජ කතිකා එකතුවක විවිධ පැතිකඩ මතුකරන කතාවක් මේ සා සරල ම විදිහට කියන්න තියෙන ලේඛන හැකියාව කියන්නෙ වෙන ම හැදෑරිය යුතු කතා කළ යුතු කාරණාවක්.

“සාරි ඇඳපු පිරිමි’ කෘතියෙ යාපනය පරිච්ජේද ටික කියන්නෙ රස නහර කම්පනය කරපු භාෂාවකින් ලියැවුණ කවියක්. එතරම් සුනම්‍යයි. ව්‍යක්තයි. ගෑනු, පිරිමි ගැන තියා ගහක්, මලක්, ළිඳක් ගැන කිව්වත් සංයමයි. මත් වෙන තරම් ශෘංගාරාත්මකයි. වලාකුළක ඉඳගෙන මල්පෙත්තක දවටල මීපැණි තොල ගානවා වගේ. ඒ අනුරාගය මීදුමක් සේ සංයමයෙන් සර්වාංගයේ තැවරෙනව දැනෙනව.

මැද මළුවෙ කුළමට මූණ දාල තියෙන පූජා කාමරේ දේව පිළිම දිය කරල දාන්න සමත් වෙච්ච, සීතාලක්ෂ්මියගේ බලෙන් යටපත් කරන ලදුව-පිටාර ගලන අනුරාගය වචන කරන විදිහ ඊට එක සාක්කියක් විතරයි.

ඒ වුණාට ඔය විෂ්ණු ට පුළුවන් ඒ ලියපු අතින් ම, ඝටම් පිරිමදින ඇඟිලි තුඩුවලින් ම, “ඈ පරට්ටියෙ…” කියල පටන් අරං තව හොඳවයින් දෙකක් ලියල අපිව මහපොළවට ගන්නත්. එක එක සමාජ පන්ති අනුව, නානාප්‍රකාර බෙදීම්වලට අනුව ඒ ඒ ජන ප්‍රජාවන්ගෙ භාෂා විලාසය විතරක් නෙවෙයි, ජීවන විලාසයත් ඔහු හරියට ම නිල අල්ලල ස්පර්ශ කරනව. ඉස්තරම් රස්තියාදුවක මහිමය!

නිර්මාණකරුවෙකුට තියෙන අප්‍රමාණ දෙයක් තමයි නිර්මාණය පෙළ ගැස්සීමේ නිදහස. කතාවෙ මුල මැදට ගන්නත් අග මුලට ගන්නත් උඩි යටිකුරු කරන්නත් හැකියාව ඒ තුළ තියෙනව. ඒක හරියට ම පාවිච්චි කරන්න නිර්මාණාත්මක මනස ඉතා තියුණු වෙන්න ඕනෙ. මේ කතාවෙ ගලා යාම එහෙම පිටින් සිනමාවක්.

ගැහැනු දරුවෙකු පිළිබඳ ෆැන්ටසියේ ගැඹුරින් ම කිමිදෙමින් හිටි සුබ්‍රමනියම් අයියර්ට තුන්වැනියට ඉපදෙන දරුවා පිරිමි දරුවෙක් වග එක වාක්‍යයකින් කියල ‘දඩස්’ ගාල නවත්තන විදිහ… සුබ්‍රමනියම් අයියර්ගේ මරණයට අපිව සූදානම් කරල මිනිය ඉස්සරහ ඉන්දවන විදිහ… එහෙම පෙළගස්සන්න හිතන්න පුළුවන් විශ්වකර්ම හිතන්නෙකුට විතරයි.

ඒක හැම ළයකින් ම වැයෙන මධුර වාදනයක් වගේ. අනික් අතට බරසාර සංගීත පර්යේෂණ ලියවිල්ලක්. විචිත්‍රවත් විශ්ව සංස්කෘතික විවරණයයක්. කෝවිල්, ගුරුකුල, ආශ්‍රම සැරිසර අතරේ නිගන්ඨ පරිච්ජේදත් කසිප්පු පරිච්ඡේදත් හිජ්රා පරිච්ඡේදත් පහුවෙනව. ඒ විසාල වෙහෙසකර හැදෑරීම තුළ බොහෝ දේ හැදෙනව. දැනුම, විනය, රස, තමන් ගැන සහ ලෝකය කියවා ගැනීමේ විරල හැකියාව.

කථකයා ජීවිතයේ විවිධ දේට තදින් මනාප වෙනව. තමන්ව ප්‍රමුදිත කරන ප්‍රපංචයන්ට තදින් ඇලෙනව. සාමාන්‍ය මිනිහෙක් නො යන තරම් ගැඹුරට ඒ අත්දැකීම්වල කිමිදෙනව. කලාවක් හැදෑරීම සඳහා ඒ සා කැප කිරීමක් ගැන සිංහල පොතකවත් හැබෑ ජීවිතේ එකදු සමකාලීන මිනිස් ජීවියෙකු තුළවත් මම දැකල නැහැ.

ඒ ඇලෙමින් ගැලවෙමින් අල්ල ගන්න දේවල් කාලය සමඟ සවිඥානිකව අත් හැරෙන්න ට හරින එකයි අපූරු ම වැඩේ. ඒ ගමන හිතුවක්කාරයි. සාංදෘෂ්ටිකයි. පාට පාටයි. එතරම් ඉරිසියා හිතෙන දිවි සැරියක්! කියවද්දි මගේ මතකත් කලම්බපු තරමක්. ඒක ආවේදනයන් උත්කෘෂ්ටත්වයට පත් කළ ලියවිල්ලක්.

මේ සා විශ්ව දැනුමක් සහ කලා විශිෂ්ටත්වයක් සහිත සංගීතඥයෙකුගෙන් ලංකාවෙ විශ්වවිද්‍යාලවල සංගීතය ඉගෙන ගන්න අහිංසක දරුවන්ට බිඳක් පමණවත් දැනුම ලබාගන්න තිබ්බ නම්… විශ්ණු වාසුගෙ විශ්වීය බරට බයට ද මන්ද දූපතේ සරසවි දොරටු එයාට වහනව නම්, ශිෂ්‍යයින්ට අහිමි වෙන අමිල අවස්ථාව අපරාදෙ!

අන්තිමේදි…

මිනිස්සුන්ට ලෝකය සහ ජීවිතය දෙස බැලිය හැකි සුවහසක් විදි සහ මාන තියෙනව. පොත් දෙකේ ම මතු කරන විවිධ චරිත හරහා විවිධ මාන අපිට ස්පර්ශ වෙනව.

හැබැයි ‘සිම්පල් සයිමන්’ සහ ‘සාරි ඇඳපු පිරිමි’ අපට එක නිශ්චිත මානයක් ලකුණු කරල පෙන්නනව.

ඒ තමයි මනුස්සයෙක් ලෝකය සහ තමන් දෙස බලන්න ඕනෙ තරහෙන්, කලකිරීමෙන්, වෛරයෙන් නෙවෙයි, ආදරෙන් සහ විවෘත ව කියන කාරණාව… අපි සමස්තයේ කොටසක් මිස තනි පැවැත්මක් නො වෙයි. මිනිස්සු විශ්වීය ව ජීවත් විය යුතු ඒ නිසා බව!

කල්පනා ඇම්බ්‍රෝස්

   14, 07, 24 

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...