අවසන් පුරුක

Share post:

අතීත ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතියේ අවසන් නියෝජනය දිනේෂ් චන්දිමාල් විය හැක.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ‍ දී චන්දිමාල් ගේ පිතිකරණය දෙස බලා සිටින විට හැඟුනේ එයයි.
කඩුලු හයක් බිඳ වැටුණු පසු ඔහු යළි පිටියට පැමිණියේ තුවාල වූ ඇඟිල්ලක් ද සමගය.
අස්ථි බිඳීමක් සිදු නොවුනත්, අවශ්‍ය නම් ඇඟිල්ල සුව වනතුරු ඔහුට විවේක ගැනීමේ අවස්ථාවක් තිබුණි.
කඩුලු රකින්නා ලෙසත්, කණ්ඩායමට අත්‍යවශ්‍ය පිතිකරුවෙකු ලෙසත් අවම වශයෙන් තෙවන දිනයේ යළි පිතිකරණය ප්‍රතික්ෂේප කිරීමේ වරප්‍රසාදය ඔහු සතු විය.
එය නායකයා හෝ පුහුණුකරුවාට පවා ප්‍රශ්න කළ නොහැකි, සාධාරණ හේතුවකි.
නමුත් එවැනි විකල්පයක් කණ්ඩායමට ඉතා අවාසිදායක බව වටහාගත් චන්දිමාල් තුවාල වූ ඇඟිල්ල ද සමගින් යළිත් පිටියට පැමිණියේය.
ඒ අඳුරේ වේග පන්දු පන්දු යවන්නන් ඔහුගේ ඇඟිල්ල ඉලක්ක කරන බව දැනුවත්වය.
එවැනි කැපකිරීමක් කළ හැකි පිතිකරුවන් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විරල ය.
වරක් පකිස්ථානයට එරෙහි තරගයක දී ආබාධයට ලක් වූ අර්ජුන රණතුංග පසුව යළි පිටියට පැමිණ තනි අතෙන් පන්දුවට පහර දුන්නේය.
ඒ දේශප්‍රේමි, රට වෙනුවෙන් සහ ජාතික ධජය වෙනුවෙන් ක්‍රීඩා කරනා පරපුර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් වියැකෙමින් තිබේ.
දිනේෂ් චන්දිමාල් ඒ පෞඩ සංස්කෘතියේ අවසන් පුරුක විය හැක.
චන්දිමාල් ගේ මෙවැනි ඉනිම් ටෙස්ට් තරග නරඹන රසිකයන්ට නුහුරු නොවේ. චන්දිමාල් මෙවැනි කැපකිරීම් කළ පළමු අවස්ථාව ද මෙය නොවේ.
කණ්ඩායම කඩා වැටෙන ඕනෑම මොහොතක අන්තයක් අල්ලාගෙන තනිව සටන් කිරීම ඔහුගේ පුරුද්දයි.
චන්දිමාල් ශතක, ද්විත්ව ශතක ඉලක්ක කරන්නේ නැත.
සෑම විටම ඔහු ක්‍රීඩා කිරීමට උත්සාහ කරන්නේ කණ්ඩායමට ඒ මොහොතේ අවශ්‍ය ඉනිමයි.
චන්දිමාල් තරම් අසාධාරණයට ලක් වූ ක්‍රීඩකයෙක් ද නූතන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නැත.
අර්ජුන ඔහු කෙරෙහි තිබූ බැඳියාව හේතුවෙන් යොවුන් ක්‍රීඩකයෙක් වූ සමයේම ජාතික කණ්ඩායමෙන් කොන් වීමට ඔහුට සිදුවිය.
ඉතාම අයුක්තිසහගත ලෙස ඔහුගේ T20 නායකත්වය ද උදුරා ගත්තේය.
කැපිලි කෙටිලි මැද ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ සැලකිය යුතු කාලයක් නිසි ස්ථානයක් සහ සහතිකයක් ලබා නොදී අවනිශ්චිත කරවා අහිමි කළේය.
නමුත් ඔහු මාධ්‍ය ඉදිරියේ හෝ වෙනත් කිසිම තැනක ඒවා පිළිබඳ චෝදනා කර නැත. විවේචනය කර නැත.
ඔහු කණ්ඩායමෙන් කොන් වීමට සිදු වූ IPL වර්ජනය පවා හුදකලා සිදුවීමකට වඩා සංස්කෘතික සංකේතයකි.
එය ඒ මොහොතේ දේශපාලනික විය. එමගින් පෙන්නුම් කර සිටියේ මුදලට වඩා රට වටිනවා ය යන පැරණි ක්‍රිකට් සංස්කෘතියේ දේශපාලනික පණිවිඩයයි.
ඝට්ටනය ඇති වූයේ චන්දිමාල් – අර්ජුන සහ මහේල හා කණ්ඩායම යන පිල් අතර පමණක් නොවේ. ඝට්ටනය ඇති වූයේ මේ ක්‍රිකට් සංස්කෘතීන් ද අතරයි.
චන්දිමාල් ආරම්භයේ සිටම විනය ගැටලුවක් නොතිබූ ක්‍රීඩකයෙකි.
මත්පැන්, තරග පාවාදීම්, සාද පිළිබඳ චෝදනා කෙරෙන තැන් වල ඔහුගේ නම නොඇසේ.
ඇතැම් ජ්‍යේෂ්ඨයන් පවා පසුකාලීන නවකයන් සමග එක් වී ඔවුන්ගේ රිද්මයට අනුගත වූ නමුත්, නවකයන්ගේ සාද සංස්කෘතියට අනුගත නොවී පැරණි ක්‍රිකට් සංස්කෘතියේම රැඳි සිටි එකම ක්‍රීඩකයා චන්දිමාල් ය.
වයසට වඩා බොහෝ පරිනත වූ, ටෙස්ට් කණ්ඩායමේ දී නවක ක්‍රීඩකයන් බොහෝමයකට සෙවණක් වූ විසල් රුකකි චන්දිමාල්.
කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා ආදීන් නවකයන් ලෙස සිය මුල්ම ටෙස්ට් ශතකය වාර්තා කරන්නේ චන්දිමාල් අනෙක් අන්තයේ සිටිමින් ඔවුන් දිරිමත් කරනා මොහොතකය.
කමිඳු මෙන්ඩිස් ගේ තීරණාත්මක එංගලන්ත ශතකයේදීත් අනෙක් පස පිතිකරුවා චන්දිමාල් ය.
නවකයන් කෙරෙහි බැඳියාවක් චන්දිමාල් සතුව ඇත. ඔහු නවකයන් ගොඩනැගීමට උත්සාහ කළේය.
එය අර්ජුනලා ගේ පරම්පරාවෙන් අවසන් වූ ලක්ෂණයක් වූ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් වරට බිහි වූ විශාල නම් සහිත ක්‍රීඩකයන්ට පවා නවකයන් කෙරෙහි ඒ බැඳියාව අවම විය.
එය හුදෙක් ආත්මාර්ථයට වඩා රට සහ ක්‍රීඩාව පිළිබඳ හැඟීමකි. රට වෙනුවෙන් ක්‍රීඩාවේ ඉදිරි පරපුර ගොඩනැගීමකි.
34 හැවිරිදි දිනේෂ් චන්දිමාල් ට වඩා දක්ෂ පිතිකරුවන්, කඩුලු රකින්නන් සහ නායකයන් ඉදිරියේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවනු ඇත.
නමුත් ඔහු සතු වූ විනය, දේශප්‍රේමය සහ සටන්කාමීත්වය සහිත ක්‍රීඩකයන් යළිත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වේ දැයි සැක සහිතය.
දිනේෂ් චන්දිමාල් පැරණි සහ පෞඩ ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්කෘතියේ අවසන් පුරුක යැයි කියන්නේ එබැවිනි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

 2024. 08. 27

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...