වළ දැමූ සමූහ ඝාතනයක අනාවරණය : කළු ජනවාරියේ ඝාතනය කළ තවත් මාධ්‍යවේදියෙක් සමරයි !

Share post:

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන්ගේ 17 වැනි සැමරුම අද (24) මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී අනුස්මරණ ස්මාරකය ඉදිරිපිටදී පැවැත්විණි. 2006 ජනවාරි 24දා ත්‍රීකුණාමලයේ පිහිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය අසලදී ඔහු ව ඝාතනය කෙරිණි.

ඝාතකයෙක් නැති තවත් ඝාතනයක්

ඝාතනය කරන විට වයස අවුරුදු 38ක් වූ ඔහු දෙදරු පියෙක් ව සිටියේය. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ප්‍රබල අවධානයට යොමු වූ ත්‍රීකුණාමල ශිෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් කරන ලද අනාවරණයක් ඔහුගේ මරණයට හේතු වූ බවට සැක කෙරේ. ආණ්ඩුකාර කාර්යාලය පිහිටි එවකට අධිආරක්ෂිත කලාපයේදී මේ ඝාතනය සිදුවුවද, මෙතෙක් ඊට අදාළව කිසිවකු වරදකරු වී නැත. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් ද පසුව ඇප මත මුදාහැර තිබේ.

මාධ්‍යවේදියාගේ භූමිකාව

ත්‍රීකුණාමලය, ෆෙඩ්‍රික් කොටුව අසල මුහුදු වෙරළේදී 2006 වසරේ ජනවාරි 02දා පාසල් සිසුන් 05 දෙනෙකු ඝාතනය කෙරිණි. මේ සිසුන් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් බවත්, ප්‍රහාරයක් සඳහා බෝම්බ ප්‍රවාහනය කරමින් සිටියදී ඒවා පුපුරායෑමෙන් ඔවුන් මියගිය බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් කෙරිණි. එවකට සුඩර්ඔලි සහ උදයන් පුවත්පත්වල ත්‍රීකුණාමලය ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස කටයුතු කළ සුගීර්දරාජන් සිය මාධ්‍ය මිතුරෙකු වූ මොහොමඩ් සාලි ද සමග ත්‍රීකුණාමලය රෝහලේ මෘතශරීරාගාරයට ගොස් ඇත්තේ මියගිය අදාළ සිසුන්ගේ මළසිරුරු බැලීමට ය. සුගීර්දරාජන් උපුටා දක්වමින් පළකෙරුණු මාධ්‍ය වාර්තාවලට අනුව එහිදී ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ ඉතා ආසන්නයේ සිට කරන ලද වෙඩිතැබීම්වලින් මියගිය සිරුරු ය. ඒවායේ වෙඩි උණ්ඩ සලකුණු පවා පැහැදිලිව දක්නට ලැබී ඇත.

ආණ්ඩුවේ ප්‍රචාර වෙනස් වෙයි

සිරුරුවල කොටස් ඡායාරූපගත කළ සුගීර්දරාජන්, ඒවා සුඩර්ඔලි පුවත්පතේ මුල් පිටුවේ පළකිරීමට අදාළ කටයුතු කරන ලදි. මේ අනාවරණය හේතුවෙන් අදාළ මරණ සම්බන්ධයෙන් එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සහ මාධ්‍ය පැවසූ කරුණු ආන්දෝලනාත්මක විය. අදාළ අනාවරණයෙන් පසු පැවැති ආණ්ඩුවට ද විමර්ශනයක් පැවැත්වීමට සිදු විය. එහෙත් එහි අවසාන වාර්තාවක් එළියට ආවේ නැත. සුගීර්දරාජන්ගේ අනාවරණය නිසා දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

අධිආරක්ෂිත කලාපයකදී !

අදාළ අනාවරණය පුවත්පතේ පළවී සති දෙකකට පසු 2006 ජනවාරි 24 අඟහරුවාදා උදෑසන ඔහුගේ නිවස ආසන්නයේදීම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඔහුව ඝාතනය කෙරිණි. ඒ අධිආරක්ෂිත කලාපයකදී වීම විශේෂත්වයකි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...