නීතිඥ විරෝධය : දේශබන්දු වගකීම පාස් කරයි : කෙසෙල්වත්ත ඕඅයිසීට වැඩ වරදින ලකුණු : අපි දන්නෙවත් නෑ – මාධ්‍ය ප්‍රකාශක

Share post:

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අසල පැවති සාමකාමී විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කඩිනම් වාර්තාවක් ඉල්ලා තිබේ.

ඒ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් එම සිද්ධිය පිළිබඳව වාර්තාවක් ඉල්ලීමෙන් පසුව ය.

වාචික උපදෙස්

පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ දේශබන්දු තෙන්නකෝන් විසින් වාචික ව ලබාදුන් උපදෙස් මත කෙසෙල්වත්ත පොලිසිය මගින් මෙසේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි. මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ කරුණු විමසීම සම්බන්ධයෙන් සූම් ඔස්සේ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවති සාකච්ඡාවකදී බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසිය යුතු බවකි. මෙම සාකච්ඡාවට කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් එක්වී තිබේ.

‘අපි දන්නෙවත් නෑ’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසන්නේ පොලිස්පතිවරයාගේ හෝ පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් ලබාගැනීමකින් තොරව, මෙසේ අදාළ විරෝධතාව පිළිබඳ කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

මානව හිමිකම් කොමිසම

මෙම සාමකාමී විරෝධතාවේදී උල්ලංඝනය වූ නීති මොනවාද යන්න සහ අදාළ බී වාර්තාව ඉදිරිපත් කිරීමේ පදනම කුමක්ද යන්න සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි අවධානයෙන් සිටින බව ද පොලිස්පතිවරයාට කොමිසම විසින් කර ඇති දැනුම්දීමේ සඳහන් ය.

මේ සම්බන්ධයෙන් thetime.lk පසුගිය 20දා විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා කළ අතර, එහිදී අප විසින් අවධාරණය කරන ලද්දේ මෙමගින් අදහස් ප්‍රකාශනයේ අයිතියට එල්ලකෙරෙන වක්‍ර බලපෑම පිළිබඳවයි.

නඩු අංක B/84532/01/23 යටතේ මෙසේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එමගින් මහජන පීඩාවක් සහ මාර්ගය අවහිර කිරීමක් සිදුව ඇති බවයි. එසේ ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව ද එහි සඳහන් වෙතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. නුවන් බෝපෙගේ, ගුණරත්න වන්නිනායක සහ සේනක පෙරේරා යන නීතිඥවරුන් මෙහි වගකිවයුතු පාර්ශ්ව ලෙස දක්වා තිබේ. මාස කිහිපයක සිට ම විදේශගතව සිටින නීතිඥ සේනක පෙරේරාගේ නම ද මෙහි ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

‘කොන්දේසි විරහිතව පෙනීසිටිනවා’

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය අවධාරණය කරන්නේ සාමකාමී විරෝධතාවල යෙදීමේ අයිතිය අහිමි කිරීමට පොලිසියට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ ඉඩනොදිය යුතු බවයි. එසේ ම මෙමගින් නීතිඥවරුන් බියවැද්දීමේ නිර්ලජ්ජිත උත්සහයක් ගෙන ඇති බවත්, එම උත්සාහය පරාජය කිරීමට කොන්දේසි විරහිතව පෙනීසිටින බවත් එම සංගමයේ විධායක කමිටුව නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

පසුගිය 18දා කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් කළ බලපෑමකට එරෙහිව 19දා නීතිඥ සාමූහිකය මගින් මෙම විරෝධතාව පවත්වන ලදි.

සබැඳි පුවත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...