Home Blog

ධාවන පිටියේ අර්බුධය

ලෝක මලල ක්‍රීඩාව ගැන කතා කලොත් අමතක කරන්න බැරි වචනය හෝ රට ජැමෙයිකාව.
ඇමරිකා එක්සත් ජනපදයේ කෙටි දුර ආධිපත්‍යට අභියෝග කරපු හා කරන එකම රටත් ජැමෙයිකාව.. ඒ ගැන අපි අතර විවාදයක් නෑ.
උසේන් බෝල්ට්.. ශෙලී ඈන් ෆ්‍රේසර්.. වෙරෝනිකා කැම්බල්.. කැරොන් ස්ටුවර්ට්.. යොහාන් බ්ලේක්.. එලේන් තොම්ප්සන්.. නෙස්ටර් කාටර්.. කිශේන් තොම්ප්සන් මෑත කාලීනව ධාවන පතයේ තමන්ගෙ ආධිපත්‍ය විහිදවපු ප්‍රසිද්ධ චරිත.

එතනින් එහාට ගියොත් මර්ලින් ඔටේ.. ග්‍රේස් ජෝන්ස්.. ඩියොන් හෙමින්ග්ස්.. බෙවර්ලි මැක්ඩොනල්ඩ්ස්.. ජූලියට් කැම්බෙල් වගේ චරිත අපිට අමතක කරන්න බැහැ. මේ අයගෙ නම් මතක දමයන්ති දර්ශා.. සුසන්තිකා.. සුගත් තිලකරත්න.. ශ්‍රියානි කුලවංශ ආදීන්ගේ සමකාලීනයන් වූ හේතුවෙනුයි.
ලෝක ධාවන පතය දිහා බැලුවත් විවිධ රටවල් නියෝජනය කරමින් කෙටි දුර ඉසව් සඳහා පදක්කම් දිනපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සීයට අසූවක් ජැමෙයිකාවට ජානමය සම්භන්ධයක් තියන චරිත. ලින්ෆර්ඩ් ක්‍රිස්ටි.. සානියා රිචර්ඩ්ස්.. බෙන් ජොන්සන්.. බෲනි සුරීන්.. ගැබී තෝමස් වගේ බොහෝ දෙනෙක්ගෙ මුල් රට ජැමෙයිකාව.

ඒ ගැන තවත් අලුතෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නෑ.

අපි අමතක නොකල යුතු දෙයක් තමයි ජැමෙයිකාව කියන්නෙ අනෙකුත් කැරිබියන් දූපත් වගේම අලුත් ලෝකයට වහළුන් ගෙනයාමේදී භාවිතා කල දූපත් බව. වහළුන් රැගෙන යන නෞකා දකුනු හෝ උතුරු ඇමරිකාවට ලඟාවීමට පෙර තමන්ගෙ වහල් පිරිස රඳවා තැබූ දූපත් සමූහයයි කොදෙව් දූපත් ලෙස අද හැදින්වෙන්නෙ.
ක්‍රිකට් ලංකාවෙ ප්‍රසිද්ධ නිසා ලංකාව වැනි රටවලත් මලල ක්‍රීඩාව නිසා ලෝකය පුරාත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් ජනප්‍රියයි.
ජැමෙයිකාව.. කියුබාව.. බහමාස්.. ට්‍රිනිඩෑඩ්.. ටොබැගෝ .. ඩොමිනිකන් රිපබ්ලික්.. ආදී මේ දූපත් බොහොමයක ජීවත්වන්නෙ නයිජීරියාව.. බොට්ස්වානා.. ඝානා.. නැමීබියා වගේ බටහිර අප්‍රිකානු සම්භවයක් තියන ජන කොට්ඨාශ.
ජැමෙයිකාව ගැන කතා කලොත් .. මේ රට දුප්පත් රටක්. දේශපාලන දූශණය හැරුනුකොට වර්ණ භේද ප්‍රශ්ණ.. මත් දව්‍ය .. හෝමෝ ෆෝබියා.. ආගමික මතවාද.. දුප්පත්කම ආදී ප්‍රශ්න රටකට මුහුනදෙන රටක් ජැමෙයිකාව.
දුප්පත් පවුලක ඉපදුනු ශෙලී ඈන් ෆ්‍රේසර් කියන විදිහටම මලල ක්‍රීඩාව කියන්නෙ දුප්පත් කමින් ගොඩ එන්න තියන එකම මාර්ගය. ( only way the get out of this hell).
කියුබානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් දුප්පත් කම හා පීඩනය හේතුවෙන් එරටින් පලා ඇවිත් ඉතාලිය.. ස්පාඤ්ඤය.. පෘතුගාලය වැනි රටවල් නියෝජනය කරද්දි ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමහරෙක් නතරවෙන්නෙ එක්සත් ජනපද තුල හෝ බ්‍රිතාන්‍යයේ.
1994 ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ හිරෝශිමා නගරයේ පැවැත්වෙද්දි මම පාසැල් ක්‍රීඩකයෙක්. මේ තරඟයේදී සුසන්තිකා ජයසිංහ රිදී පදක්කමත්.. දමයන්ති දර්ශා ලෝකඩ පදක්කමත් දිනාගෙන ලෝක මලල ක්‍රීඩා පිටියට ඇතුල්වෙන ආකාරය අද වගේ මතකයි.

මේ තරඟාවලියේදීම අතුරුදන් වූ ක්‍රීඩකයන්ගේ ගනයට ඇතුල්වෙන්නෙ එවකට මීටර් 800 ජාතික වාර්තාවට හිමිකම් කියූ මොණරාගල රංජිත් සුභසිංහ. ඔහු නියෝජනය කලේ ශ්‍රී ලංකා පොලීසිය. ඒ විතරක් නෙවෙයි පාපැදි සම්මේලනය නියෝජනය කල බොනිෆස් පෙරේරා ඇතුළු ප්‍රසිද්ධ චරිත රැසක් මේ අතුරුදන්වුනු කන්ඩායමට ඇතුලත්.

මේ කතාව අද ධාවන පිටියට වැදගත් ඇයි.?

හේතුව මේ ප්‍රශ්ණය ලංකාවට වගේම ජැමෙයිකාවටත් අදාලයි.

මෙතෙක් කල් විදේශ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුරවැසිබාවය හා මුදල් දීමනා ප්‍රධානය කරන්න ඉදිරිපත් වුනේ මැදපෙරදිග රටවල් පමණයි.
නමුත් පුරවැසිබාවය.. සියළුම පහසුකම් හා වැටුප්.. පුහුණුවීම් ගාස්තු හැමදෙයක්ම අද තුර්කිය විසින් විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනමනවා.
තුර්කිය මෙතෙක් කල් මේ පහසුකම් ප්‍රධානය කලේ ලෝක මට්ටමේ දෙවනපෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණයි.

නමුත් මේ වසරේ සිට ඩොලර් 500,000 ක මූලික ගාස්තුවක් එක්ක මේ යෝජනාව සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාලයි. ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දක්වන ඕනෑම මලල ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මේ වරප්‍රසාදය ලබාගන්න පුළුවන්.
ඒ සඳහා ලෝක මලල ක්‍රීඩා සංගමය තම එකගතාව පලකරන්නෙත් මේ සතියේදීමයි.

ලෝක ශූරී හෙලේන් තොම්ප්සන් තවමත් මේ සඳහා ප්‍රථිචාර දක්වා නැහැ. නමුත් ඔලිම්පික් හා ලෝක මට්ටමේ පදක්කම් දිනූ ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් තුර්කි බලධාරීන් කරපු මේ යෝජනවාට එකඟවෙනවා.
එහි අදහස තව අවුරුදු දෙකකින් හෝ තුනකින් මේ අය නියෝජනය කරන්නෙ තුර්කිය.

26 හැවිරිදි රොජේ ස්ටෝනා කවපෙත්ත වීසිකිරීමේ ඉසව්වෙන් ජැමෙයිකාව නියෝජනය කරමින් ඔලිම්පික් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා. ඔහු තවමත් 26 හැවිරිදියි.

දෙවැන්නා දුර පැනීමේ ඉසව්වේ ජැමෙයිකානු ජාතික ශූරයා වගේම ඔලිම්පික් රිදී පදක්කම.. ලෝක ශූරතා රිදී පදක්කම දිනාගත් සුපිරි ක්‍රීඩක වේයින් පිනොක්.

රජීන්ද්‍ර කැම්ප්බෙල් ඔලිපික් ලෝකඩ පදක්කම දිනාගන්නේ යගුලිය වීසිකිරීමේ ඉසව්වෙන්.
මීටර් 200 ඉසව්වේ වර්තමාම ජැමෙයිකානු ශූරයා බ්‍රයන් ලෙවල් මේ කන්ඩායමේ තවත් ක්‍රීඩකයෙක්.
ලෝක මට්ටමේ ජයග්‍රහන ලඟාකරගත් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කියන්නෙ මොකද්ද.?
ජැමෙයිකාවේ දේශපාලනය වගේම මලල ක්‍රීඩා අධිකාරියත් දූශිතයි. ඒ අය දන්නවා මුදල් උපයන්න පුළුවන් කෙටි දුර ධාවනයේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පමණක් බව.

පිටියේ ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්තත් ප්‍රයෝජයනයක් නෑ.
අපිට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. මේ දූශනයත් කෙනෙහෙලිකමුත් දරාගෙන ක්‍රීඩාව කරන්න බැහැ.
( ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව තවමත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බැහැරව ක්‍රියාත්මකවීම මීට කදිම උදාහරණයක්)
මේ වගේ තුර්කිය නියෝජනය කරන්න ගිවිසුම් අත්සන් කල තවත් ක්‍රීඩිකාවක් නයිජීරියාවේ ෆේවර් ඔෆිලි.
මීටර් සීය හා දෙසීය නියෝජනය කරන ෆේවර් ඔෆිලි පැරිස් ඔලිම්පික් උලෙලේ මීටර් 200 තරඟයේ හයවෙනි ස්තානයට පත්වුනේ තියුණු තරඟයකින් පස්සෙ. මීටර් සීය ධාවන තරඟයට ඔෆිල්ගේ නම ඇතුලත් කරන්න නයිජීරියානු බලධාරීන් අමතක කරලා. මීටර් 150 ලෝක වාර්තාවට හිමිකම් කියන ෆේවර් ඔෆිලි පුහුණුව ලැබුවේ එක්සත් ජනපදයේ ලුසියානා විශ්ව විද්‍යාලයේ.

ඔෆිලි වගේම නයිජීරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියකට ඔලිම්පික් ධාවන පතය අහිමිවෙන්නෙ එරට ක්‍රීඩා අමාත්‍යංශයේ නොසැලකිල්ල හා නොහැකියාව නිසා.

නයිජීරියාව හා ජැමෙයිකාවට අමතරව බාර්බඩෝස්.. කියුබා.. අයිවරි කෝස්ට්.. නැමීබියා වගේ රටවල් රාශියක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තුර්කි ආරාධනාව විවෘත්තයි.
අද මේ කතාව ලංකාවට අදාල වෙන්නෙ කොහොමද.?
අනූව දශකයේදී ලංකාව හඳුන්වන්න සමහර විචාරකයන් පාවිච්චිකල නම ආසියාවේ ජැමෙයිකාව නම.
ඒ ගැන අළුතෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නෑ.

මේ සුපිරි කන්ඩායම නියෝජනය කරපු සුගත් තිලකරත්න අද ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා.
අනුරාධපුර මහජන ක්‍රීඩා පිටියේදී පැවත්වූ සමත්ත ලංකා මලල ක්‍රීඩා උලෙලේදී සුගත් ජයග්‍රහනය කරන්නෙ ටෝර්ච් නමින් හැඳින්වූ මිළ අඩුම ක්‍රීඩා සපත්තු යුවලක් පැලඳගෙන. ඒවන විට මීටර් 400 ඉසවේ පාසැල් මට්ටමේ ජයග්‍රාහකයන් වෙන්නෙ ධර්මරාජ විද්‍යාලයේ එස් ආර් රත්නදීප.. ආනන්දයේ සුරේශ් දෙමටපිටිය වගේ ක්‍රීඩකයන්.

ඩබ්ලිව් විමලදාසයේ වාර්ථාවට කිට්ටුවෙන සුගත් නෝර්ටන්බ්‍රිජ් විදුලිපුර විද්‍යාලයේ ක්‍රීඩකයෙක්.
සුගත් පුහුණුවීම්කල අඹගමුව උඩබුලත්ගම ක්‍රීඩිකාවන් කීප දෙනෙක් එකතුවෙලා ජාතික ශූරතාවයක් කරා යන්නෙ අවම පහසුකම් මැද්දෙ. ශ්‍රියානි කුලවංශ ඉබ්බාගමුවනුත් සුසන්තිකා වරකාපොලිනුත් ක්‍රීඩා පිටියට එන්නෙ අඩු පහසුකම් යටතේ.
තෝලංගමුව.. ඒ රත්නායක.. ගිරි උල්ල.. ඉබ්බාගමුව වගේ මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහන වාර්ථා කරන්නෙ අවම පහසුකම් මැද.
එක්තරා මට්ටමක පහසුකම් තිබූ වෙන්නප්පුව ජෝශප් වාස්.. මාතර රාහුල.. කොළඹ ශාන්ත පීතර.. ආනන්ද වගේ විද්‍යාල ජාතික පාසැල් මට්ටමේ ජයග්‍රහන වාර්ථා කරනවා.

කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය ජාතික ශූරතාව පිට පිට තුන් වරක් දිනාගන්නෙ වසර දෙකක පුහුණුවීම් වැඩසටහනක් යටතේ.
මෙයින් අදහස් වෙන්නෙ මොකක්ද.. පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නියමිත පහසුකම් ලබා දුන්නොත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමේ හැකියාවක් ලංකාවට පවතින බවයි.

අද වුනත් පාසැල් මලල ක්‍රීඩා කන්ඩායම් කොහොමද පවතින්නේ.. කවුද අනුග්‍රහය දක්වන්නේ කියන ප්‍රශ්ණවලට උත්තර දෙන්න අමාරුයි.
“පලාත් මට්ටමේ ක්‍රීඩා උලෙලකට යන්න වුනත් රුපියල් ලක්ශ තුන හතරක් ඕනෙ. විදුහල්පතිතුමාට කරදර කරොත් කීයක් හරි හොයලා දෙනවා. දුප්පත් අම්මලා තාත්තලාගෙන් කොහොම සල්ලි ඉල්ලන්නද.. සමහර වෙලාවට අපේ වැටුපෙන් අපි උදව් කරන්නෙ.” ක්‍රීඩා ගුරුවරයෙක් වූ මගේ මිත්‍රයෙක් කියන්නෙ ඒ විදිහට.

පාසැල් මට්ටමෙන් පසු හමුදා තුනෙන් එකක හෝ පුද්ගලික අංශයේ රැකියාවක් කරන අතරතුරයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහුණුව ලබන්න සිදුවන්නේ. ඒ අවස්ථාව නොලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වරම මලල ක්‍රීඩා පිටියෙන් සමුගන්නවා.
සුසන්තිකාගෙන් පසු මීටර් 100 ඉසව්වේ දස්කම් දැක්වූ හම්මෑලිය කනිටු විදුහලේ අනෝමා සූරිය ආරච්චි මේ සඳහා දිය හැකි හොඳම උදාහරණයක්. ජාත්‍යන්තර තරඟාවලියක් ආසන්නයේ පිහිටුවන ක්‍රීඩා සංචිත හැරුනුකොට වෙනත් වැඩපිලිවලක් මේ සඳහා දකින්න නැහැ.
සුගත් තිලකරත්න ප්‍රමුඛ කන්ඩායම මේ සඳහා සුදුසු වැඩපිලිවලක් දියත් කර තිබේද යන්න තවම දැනගන්න නැහැ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා වගේම මේ සඳහා සුදුසු නිළධාරීන්ද සිටිය යුතුයි.
පහුගිය රජයේ දේශපාලකයන් පත්කල වයෝවෘද්ධ නිළධාරීන් හෝ චෝදනා ලත් විශාමික හමුදා නිළධාරීන් හැර සුදුසු පුද්ගලයන් පරිපාලනය සඳහා පතකර ගත යුතුයි. සුදුසු පුහුණුකරුවන් හඳුනාගැනීම.. අළුතෙන් ක්‍රීඩා පාසැල් හඳුන්වාදීම.. පාසැලෙන් පසු මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නඩත්තු කරන ආකාරය සොයාගැනීම ආදිය කලයුතුයි.

විශ්ව විද්‍යාල දෙකක් හෝ තුනක් හඳුනාගෙන මලල ක්‍රීඩාවෙන් දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාදීම ඉතාම වැදගත්.
ඇමරිකා එක්සත් ජනපද මේ සඳහා භාවිතා කරන ක්‍රමවේදය ඉතාම සාර්ථකයි. ( තරුශි කරුණාරත්න.. උශාන් තිවංක වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලාංකික විශ්ව විද්‍යාල විවුර්ත නොවුනත් ඇමරිකානු විශ්ව විද්‍යාල විවුර්ත බව අපි හැමෝම දන්නවා).
ලංකාවේ ක්‍රිකට් කියන්නෙ ඇදහීමක්. ඒ සඳහා ලැබෙන පහසුකම් වලින් සීයට පහක් මලල ක්‍රීඩාවට ලැබෙනවා නම් මේ තත්වය මීට වඩා බොහෝ දුර අරන් යන්න පුළුවන්.

ඒ සඳහා නිසි වැඩපිලිවෙලක් අළුත් රජය ක්‍රියාත්මක නොකලොත් හෙට දවසේ මලල ක්‍රීඩාව ගැනත් කතා කරන්න කිසිවක් ඉතුරු නොවේවි.
සමහරවිට ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජැමෙයිකාමු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරම් දක්ශ නොවෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ හීන කරා යන්න ඔවුන්ට අවස්තාවක් තිබිය යුතුයි.

අන්න ඒ අනුවයි ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ අධ්‍යාපන අමාත්‍යංශයේ සාර්තකත්වය මනින්න හැකිවන්නේ.
පහුගිය දවසක ලංකාවට ගිය අවස්ථාවක එකල හිටපු අති දක්ශ මලල ක්‍රීඩකයෙක් මුන ගැහෙනවා. ඔහුගේ බිරිඳත් හිටපු දක්ශ මලල ක්‍රීඩිකාවක්. ඒ දෙන්නගෙ දුව ක්‍රීඩාවට ඉතාම දක්ශයි.

ඇයි දුව පාසැල් මලල ක්‍රීඩා පිටියේ දකින්න නැත්තේ මම අහනවා.
බැහැනෙ කරන්න මිත්‍රයා.. උසස්පෙලයි මලල ක්‍රීඩාවයි එකට කරන්න බැහැ. මලල ක්‍රීඩාවෙන් සමස්ත ලංකා දිනුවා කියමුකෝ. කැම්පස් යන්න බැරිවුනොත් මොකද වෙන්නෙ.. පී ටී අයි කෙනෙක් වෙයි වැඩිම වුනොත්.

පී ටී අයිලා පහත් කරනවා නෙවේ. නමුත් ඊටවඩා සලකන්න කවුරුත් නෑ අපේ දරුවට.
ඒ කතාවෙන් පැහැදිලි වෙනවා ලංකාවේ පාසැල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තත්වය.
මේ තත්වය වෙනස්වේවි කියන බලාපොරොත්තුව විතරයි අපි වගේ විචාරකයන්ට ඉතුරු.

Malcolm Sang