නතාෂා – බෲනෝ නිදහස් : නීතිපතිවරයාගේ ස්ථාවරය වෙනස් කරයි !

Share post:

බුදුදහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළැයි කියන සිද්ධියට අදාළ නඩුවෙන් ප්‍රහසන රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL-Vlogs හිමිකරු බෲනෝ දිවාකර නිදහස් කර තිබේ.

නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද මෙලෙස නිදහස් කරනු ලැබුවේ ඉකුත් වසරේ සිදුකළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාසයක් සිදුකර ඇති බවට වන චෝදනාවලිනි.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු නොපවරන බව ද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

ඉකුත් වසරේ අප්‍රේල් මස කොළඹදී පැවති ‘මෝඩාභිමානය’ නමැති වැඩසටහනකදී ඇය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාසයක් සිදු වී ඇතැයි චෝදනා කරමින් නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබිණි.

2023 වසරේ මැයි මස 27 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණු නතාෂා එදිරිසූරිය පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර දෙමසකට ආසන්න කාලයක් ඇයට රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවිය.

නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ පසුගිය වසරේ ජූලි 5 වැනිදායි.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ, ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම්දීමෙන් පසුවය.

නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න එම අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණේ
ඇය ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් වන අතර ඇය විසින් කළ ප්‍රකාශය තුළින් බුදුදහමට හෝ බුද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොතිබූ බවය.

කෙසේවෙතත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටින බවත් ජනාධිපති නීතිඥවරයා එදින අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මෙවැනි ප්‍රකාශ හරහා ආගමික යුද්ධයක් මතුවීමට ඉඩකඩ පවතින නිසා බැලූ බැල්මටම වරදක් අනාවරණය වන හෙයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණ ආයතනවලට සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අවධාරණය කර තිබිණි.

කෙසේවෙතත් සැකකාරිය තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පශ්චාත්තාපයට පත්ව සමාව අයදින බව ප්‍රකාශ කරන නිසා ඇයට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

එහිදී ඇප තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා කියාසිටියේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.

ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණ නොවන හෙයින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදාහරින ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට එම අවස්ථාවේ නියෝග කර තිබිණි.

Related articles

කියුබාවේ හිටපු ආර්ථික ඇමතිට මූල්‍ය අපරාධ චෝදනා

කියුබාවේ හිටපු ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයාට සහ එවකට රජයේ තනතුර දැරූ පුද්ගලයන් කිහිපදෙනෙක්ට එරෙහිව මූල්‍ය අපරාධ සහ රාජ්‍ය...

ජීවන වියදමෙන් කප් ගහන ලංකාවේ මීළඟ බලාපොරොත්තුව!

ජීවන වියදම අධිකම දකුණු ආසියානු රටවල් අතරේ දෙවැනි තැන ඉන්නේ ශ්‍රී ලංකාව කියලා Numbeo වෙබ් අඩවියේ වාර්තාවක් පහුගිය...

අපරාධ මර්දනය අධ්‍යාපනයෙන් පටන්ගමු

ඉතිහාසයේ ඉඳන්ම ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකියයුතු උනන්දුවක් වගේම ප්‍රමුඛතාවක් තිබුණා කියන එක අවශ්‍ය තරම් සාක්ෂි පොත්පත්වල වගේම කතා...

ඩිල්ශානි චතුරිකා දාබරේගේ – ‘මව්වත් හදවත්’

මිග්‍රේන් කඳු පුපුරලා ඔළුව පුරා වේදනාවෙ කියත් ඒ මේ අතට හැරෙද්දි පැනඩෝල් පෙත්තකට එහා ගිය සහනයක් ගෙනල්ලා දෙන්න...