‘බක් මාසය ගෙවිල ගිහින් බෙග් මාසය’ එළඹෙද්දි කරපු සංවාදය

Share post:

මං සාමාන්‍යයෙන් රෑට නින්දට යන්න ඉස්සර Youtube එකේ අපේ යාලුවෝ කරන එක එක interviews/programs බලනවා. ඊයෙ රෑ එහෙම බලපු ප්‍රෝග්‍රෑම් එකක් තමයි ජනක කුඹුකගේ කරන lines and beyond වැඩසටහනට ඉෂාක් බෙග් සමග කරපු සම්මුඛ සාකච්ඡාව. ජනක ඒ සාකච්ඡාවෙන් කරන්නේ, ඉෂාක් බෙග් ගෙන් ඔහුගේ පියා වන මොහිදීන් බෙග් ව විමසන එක. සමන් අතාවුදහෙට්ටි කියනවා වගේ ‘බක් මාසය ගෙවිල ගිහින් බෙග් මාසය’ එළඹෙද්දි කරපු මේ සංවාදය තුල ; පළවෙනි ලෝක යුද්ධය අවසන් වනවත් එක්ක (1919) ඉපදිලා, ලංකාවට ඇවිත් (1931) ලංකාවේ සංගීතයට කරපු දායකත්වය ඉක්මවා ගිහින්, මේ රටේ බෞද්ධ ජනවිඥානයේ පැලපදියම් වුන හැටි හරි අපූරුවට මේ සංවාදයේදී එළිදැක්වෙනවා.

ඉන්දියාවේ මන්නාඩේ, මොහොමඩ් රාෆි සමග හරි හරියට ගීත ගායනා කරපු හැටි ඉෂාක් බෙග් ඉදිරිපත් කරන්නේ ගැයුම් සපිරි නාට්‍යානුසාරයෙන්. කවාලි වැනි ඉන්දියානු තනුවලට ගැයූ ගීත මෙන්ම ගවුස් මාස්ටර ගේ original තනුවලට යූ.ඩී පෙරේරා, කරුණාරත්න අබේසේකර වැන්නවුන් රචනා කළ සිංහල පදමාලාව ශබ්ද නැගුවේ ඔහුටම අනන්‍ය ( මුස්ලිම්? ) ඌරුවකට. ඒක අපේ සිංහල අයට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉෂාක් බෙග් පාස්කු (ප්‍රහාරය) හඳුන්වන්නේ පාසිකුඩා කියලා. ජනක ඒක හදන්න යන්නෙත් නෑ. මොකටද? කියන්නෙ මොකක්ද කියලා අපිට තේරෙනව නම්, මොනවට ද? (මොහිදීන් මාස්ටර් සමහර සිංහල වචන අහගන්නේ ඉෂාක් ගෙන්ලු.)

මේ සංවාදය මුල ඉඳන් අහගෙන හිටපු මගේ ඇස්වලට කඳුළු ආවා. ඒ ඇයි කියන්න මං දන්නෑ. ඉෂාක් කතා කරපු දේවල්, ඒ කතා කරපු විදිහට වෙන්න ඇති. සංවාදය පුරාම ඉෂාක් තම හැඟීම්බර කටහඬේ ආධිපත්‍යය පැතිරුවා. ජනක හරි වෙලාවට හරි ප්‍රශ්න ටික ඇහුව විතරයි. ඊට පස්සේ නිහඬව හිටිය. ලංකාවේ වෙසක් තොරණ, දන්සැල්, පින්කම් තියෙන තාක් කල් ‘බෙග් බෞද්ධ ගීත සම්ප්‍රදාය’ බෙග් පරපුර පවත්වාගෙන යාවි.

1991 cataract අයින් කරන්න ඔපරේෂන් එකට සිහි නැති කළාම ආයේ සිහිය ආවේ නෑලු. සමහර විට ඔහු තාමත් සිහිය එනකම් බලා ඉන්නවා ඇති. ඒ තරමට ඔහු අපේ රටට අපේ මිනිස්සුන්ට ආදරෙයි . ඔහුට සිහිය ආපු නැති එක දැන් වෙන දේවල් දිහා බලනකොට කොච්චර වටිනවද කියලත් හිතෙනවා.
සංවාදය මෙතනින් බලන්න පටන් ගන්න. නවත්තන්න හිතෙන එකක් නෑ:

අසෝක හඳගම

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...