පරාජයේ වගකීමේ වැඩි කොටසක් වනිඳු හසරංග භාරගත යුතුයි

Share post:

මා හිතන්නේ මේ කතාව ලිවීමට හොඳම දිනය අදයි.
තේරීම් කමිටුව විසින් නම් කළ ලෝක කුසලාන මුල් සංචිතයට නායක වනිඳු හසරංගගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.
එහි සිටි එක්තරා ක්‍රීඩකයෙකු ඉවත් කිරීමට නායක වනිඳුට අවශ්‍ය විය.
වනිඳුගේ ඉල්ලීම කොතරම් ප්‍රබල ද යත්, එම ක්‍රීඩකයා ඉවත් නොකරන්නට තමන් ලෝක කුසලානයට සහභාගී නොවන බව වනිඳු කීවේය.
ඒ අනුව උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටුව වනිඳු ඉදිරියේ අඩියක් පස්සට ගොස්, එම ක්‍රීඩකයා සංචිතයෙන් ඉවත් කළේය.
මේ බව මා එදිනම ලීවේය.
පසුව ශ්‍රී ලංකාවෙන් පිටත් වෙද්දී වනිඳු තේරිම් කමිටුවට ස්තූති කරමින් තමන්ට අවශ්‍ය වූ කණ්ඩායම සමග ලෝක කුසලානයට යන බවට විශේෂයෙන් සඳහන් කළේය.
එයට හේතු වූයේ ඉහත සිදුවීමයි.
ඉන්පසුව රූපවාහිනි වැඩසටහනක දී මාවන් අතපත්තු යළිත් එම කතාව තහවුරු කළේය.
කෙසේවෙතත් මෙතෙක් කවුරුත් නොකියූ කතාව නම් එම ක්‍රීඩකයා කවුරුන්ද යන්නයි.
එම ක්‍රීඩකයා චාමික කරුණාරත්නයි.
තේරීම් කමිටුව විසින් නම් කළ මුල් සංචිතයට චාමික කරුණාරත්න නම් කර තිබුණි.
නමුත් ඔහු ඉවත් කරන ලෙසට නායක වනිඳුගෙන් දැඩි බලපෑමක් එල්ල විය.
චාමික ඉවත් කරන්නැයි වනිඳු සිදුකළ ඉල්ලීමට හේතුව ක්‍රිකට් ගැටලුවක් නොවේ.
සාමාන්‍යයෙන් නායකයෙකු ක්‍රීඩකයෙකු ඉල්ලා සිටින්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ ක්‍රිකට් ගැටලු මුල් කරගෙනය.
නායකයෙකුට සිය සැලසුම් වලට අවශ්‍යම ක්‍රීඩකයෙකු ඇත්නම් ඔහු තේරීම් කමිටුවෙන්, එම ක්‍රීඩකයා ඉල්ලා සිටියි.
ඉතාම කලාතුරකින් තමන් නිරීක්ෂණය කරනා පරිදි සිය සැලසුමට නොගැලපෙන හෝ අසාර්ථක විය හැකි ක්‍රීඩකයෙකු සිටි නම් ඉවත් කරන මෙන් ඉල්ලා සිටියි.
බොහෝ දුරට ඒවා සාකච්ඡා මට්ටමින් අවසන් වන සුහඳ ඉල්ලීම් මිසෙක බරපතල විරෝධයන් නොවේ.
එනමුත් වනිඳුගෙන් චාමික කරුණාරත්නට එල්ල වූයේ බරපතල විරෝධයකි.
එහි මූල බීජය ක්‍රිකට් ගැටලුවක් ද නොවේ.
වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න අතර පුද්ගලික කරුණක් උදෙසා විරසකයක් පවතින බව කියවේ.
එය ක්‍රිකට් ක්‍රීඩාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති, අතිශය පුද්ගලික ගැටලුවකි.
වනිඳු විසින් චාමික ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඒ පුද්ගලික කෝන්තරයයි.
වනිඳු තේරීම් කමිටුවෙන් දිගින් දිගටම ඉල්ලා ඇත්තේ චාමික කරුණාරත්න ඉවත් කරන ලෙසත්, එසේත් නොමැතිනම් තමන් ලෝක කුසලානයට සහභාගී නොවන බවත්ය.
ඒ සඳහා හේතු වශයෙන් චාමික ආවේගශීලි යැයි ද, ඔහු පාලනය කර ගැනීමට අපහසු යැයි ද වනිඳු තේරිම් කමිටුවට ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් එම ඉල්ලීමට පදනම් වූ සත්‍ය හේතුව පුද්ගලික අමනාපයකි.
එසේත් නොමැතිව ක්‍රීඩකයෙකු පාලනය කර ගත නොහැකි තරම් වනිඳු දුර්වල නැත.
එතරම් දුර්වල නම් ඔහු නායකත්වයට සුදුසු ද නැත.
කෙසේ වෙතත් නායකයා වශයෙන් වනිඳු සිය බලය භාවිතා කිරීමේ වරදක් අප දකින්නේ නැත.
එනමුත් ඔහු විසින් එම බලය භාවිතා කළා නම්, ඔහුට අනවශ්‍ය ක්‍රීඩකයින් ඉවත් කළා නම්, ප්‍රතිඵලයේ වගකීමත් ඔහු සතුය.
ලෝක කුසලානයට ක්‍රීඩා කළේ වනිඳුට අවශ්‍ය කණ්ඩායමයි.
වනිඳුට අනවශ්‍ය ක්‍රීඩකයන් කණ්ඩායමෙන් හැලී ගියේය.
ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතර සිටීමට තරම් විභවයක් තිබූ කණ්ඩායමක් අද නොනිල වශයෙන් ලෝක කුසලාන මුල් වටයෙන්ම ඉවත් විය.
දැන් එහි වගකීම වනිඳු වෙත පැවරී තිබේ.
පැහැදිලිවම නායක වනිඳු හසරංග පරාජයේ වගකීමේ වැඩි කොටසක් භාරගත යුතුය.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

   2024. 06. 08

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...