ISIS සිව්දෙනා ගැන අසත්‍ය ප්‍රකාශ කිරීම : කථිකාචාර්යවරයා CID අත්අඩංගුවට – හලාවත සැකකරුවන් ගැනත් සැකයක් !

Share post:

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස්අයිඑස් යැයි හැඳින්වුණු සිව්දෙනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මේ බව තහවුරු කළේය. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ සභා වාර්තාවේ මේ පුද්ගලයන් පුනරුත්ථාපනය සඳහා යොමුකළ යුතු බව සඳහන් වෙතැයි අදාළ  කථිකාචාර්යවරයා ප්‍රසිද්ධ මාධ්‍යයකට පවසා තිබිණි.

දන්නා පරිදි ජනාධිපති පරීක්ෂණ සභා වාර්තාවේ එවැන්නක් සඳහන් නොවන බවත්, හෙළිදරව් නොවුණු ඇමුණුමක එවැන්නක් සඳහන් වෙතොත්, එය කථිකාචාර්යවරයා දන්නේ කෙසේද යනුවෙන් සැකයක් මතුවන බවත් මෙම ප්‍රකාශය කළ දිනවලම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටින පාර්ශ්ව අදහස් දක්වා තිබිණි.

මේ අතර අයිඑස්අයිඑස් සාමාජිකයන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට හලාවත, බංගදෙනිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. කෙසේ වෙතත් මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී ඔවුන් දෙදෙනා ද අයිඑස්අයිඑස් සාමාජිකයන් බවට තහවුරු වී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය මැයි 23දා අපි මෙසේ වාර්තා කළෙමු.

ඉන්දියාවේ අහමදාබාද්හි වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුජරාටි ත්‍රස්ත විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් නොවන බවට බුද්ධි අංශ මගින් සඳහන් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙරට බුද්ධි අංශ මගින් මේ පිළිබඳ වාර්තාවක් සකස් කර ලබන සතියේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ. පසුගිය 19දා මේ පිරිස කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ සංචාරක වීසාවලිනි.

අත්අඩංගුවට ගත් පිරිස අතර මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට අධිකරණයෙන් වරදකරු කරන ලද පොට්ට නවුෆර්ගේ පුත්‍රයා වන මොහොමඩ් නවුෆර් නියාස් නෆ්රාස් ද සිටී. එසේ ම මේ පිරිසගේ නිවාස පරීක්ෂා කළ ආරක්ෂක අංශවලට සැකකටයුතු කිසිවක් හමුවී නැත. ඉන්දියාවට පළාගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස හැඳින්වෙන කිඹුලාඇළේ ගුණා නමැත්තාගේ ගෝලයන් තිදෙනකු ද මේ අතර වෙයි. මේ පිරිස මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූවන් වන අතර, දෙදෙනෙකුට විරුද්ධව අධිකරණය ඉදිරියේ පවරන ලද මත්ද්‍රව්‍ය නඩු ද වේ.

මේ අතරින් දෙදෙනෙකු කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. තවත් අයෙකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, අනෙක් පුද්ගලයා මීගමුවේ පදිංචිකරුවෙකි.
ඉන්දියාවේ ගුජරාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලද අතර, එරට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති තහනම් ක්‍රියා වැළැක්වීමේ නීති යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව එම කොට්ඨාසයේ ප්‍රධානියා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ මෙවැනි මාතෘකාවක් හදිසියේ ඇතිකිරීම ගැටලුවක් බවයි. ඉන්දියාවේ මැතිවරණය තවමත් අවසන් නැති සහ ලංකාවේ ප්‍රධාන මැතිවරණයක් ආසන්නයේ පවතින අවස්ථාවක මෙසේ අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් පිළිබඳ හදිසි මාතෘකාවක් මාධ්‍ය මගින් ඉහළට එසවීම සැකයට තුඩුදෙන්නක් බව ද ඔවුහු අවධාරණය කරති.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...