පුරාවෘත්තය

Share post:

2020 IPL තරගාවලිය චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමට අසාර්ථක එකක්.
කණ්ඩායම් අටක් ක්‍රීඩා කළ ඒ තරගාවලියේ, චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනියා ලෙසින් තරගාවලිය අවසන් කළා.
මෙහිදී චෙන්නායි කණ්ඩායමේ බහුතරය වූයේ තරමක් වයසින් වැඩි ක්‍රීඩකයන්.
මහේන්ද්‍ර සිං දෝනි, ශේන් වොට්සන්, අම්බති රායූදු, ඩූප්ලේසිස්, රවීන්ද්‍ර ජඩේජා, ඉම්රාන් තහීර්, පියුෂ් චව්ලා වැනි ක්‍රීඩකයන් CSK කණ්ඩායමේ සාමාජිකයන් වුණා.
ඒ සමගම චෙන්නායි කණ්ඩායමට සහ එහි නායක මහේන්ද්‍ර සිං දෝනිට දැඩි විවේචන එල්ල වුණා.
ඒ වනවිට ඔහු ජාත්‍යන්තර පිටියෙන් ද සමුගෙන හිටියා.
විවේචකයන්ගේ ප්‍රධාන තර්කය වූයේ චෙන්නායි කණ්ඩායමේ නවකයන් නොසිටි නිසාත්, වයසින් වැඩි ක්‍රීඩකයන් බහුල නිසාත් ඔවුන් තරගාවලියේ අසාර්ථක වූ බවයි.
තත්ත්වය දරුණු වූයේ තරගාවලිය අවසානයේ මහේන්ද්‍ර සිං දෝනි සිදු කළ ප්‍රකාශයක් ද සමගයි.
එහිදී දෝනි, ‘අප එතරම් දීප්තියක් (Spark) සහිත යොවුන් ක්‍රීඩකයන් නොදුටුව නිසා, ඔවුන්ට අවස්තාව ලබා නොදුන් බව’ ප්‍රකාශ කළා.
ඒ සමගම මාධ්‍යයේ සහ සමාජ ජාලාවන් හි මහේන්ද්‍ර සිං දෝනි ප්‍රධාන ඉලක්කයක් වුණා.
2021 වසරේ IPL තරගාවලිය ජයග්‍රහණය කළේ අන්ත අසාර්ථක කණ්ඩායමක් ලෙස ලේබල් වූ චෙන්නායි කණ්ඩායමමයි.
එහිදී යොවුන් ක්‍රීඩකයෙක් වූ රුතුරාජ් ගයික්වාද් ගේ දක්ෂතා කැපී පෙණුනා.
ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන සිටි මහේන්ද්‍ර සිං දෝනි සුපුරුදු පරිදි චෙන්නායි නායකත්වය දැරුවා.
2022 IPL තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම යළිත් අසාර්ථක වුණා.
එවර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ සිටිමින් තරගාවලිය අවසන් කළා.
2023 IPL තරගාවලිය ජය ගත්තේ චෙන්නායි කණ්ඩායම.
එවර කණ්ඩායමට නවක මුහුණු කිහිපයක්ම ක්‍රීඩා කළා.
අත්දැකීම් ලැබූ රුතුරාජ් මෙන්ම ජාත්‍යන්තර වරම් හෝ නොලැබූ මතීෂ පතිරණ වැනි ක්‍රීඩකයන් චෙන්නායි කණ්ඩායම නියෝජනය කළා.
2024 IPL තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම විශාල වෙනසක් සිදු කළා.
නායකත්වයෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස් වූ මහේන්ද්‍ර සිං දෝනි, නව නායකයා ලෙස චෙන්නායි කණ්ඩායමේ දිගු කලක් ක්‍රීඩා කළ රුතුරාජ් පත් කළා.
රුතුරාජ් චෙන්නායි ප්‍රසාද ලකුණු පුවරුවේ අඩියේ සිටිද්දීත්, කුසලානය ඔසවද්දීත් කණ්ඩායමේ සිටි නිත්‍ය යොවුන් ක්‍රීඩකයෙක්.
ඔහු ඉන්දීය ජාතික කණ්ඩායමේ හෝ ස්ථාවර ක්‍රීඩකයෙක් නොවෙයි.
නමුත් සිය අනුප්‍රාප්තිකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි තෝරගෙන තිබුණේ ඔහුයි.
චෙන්නායි කණ්ඩායමේ නායකත්වය කිසිසේත්ම පහසු වගකීමක් නොවෙයි.
IPL ක්‍රීඩා කරනා කණ්ඩායම් දහයෙන් වඩාත්ම සංවේදි, හැඟීම්බර සහ විශ්වාසවන්ත රසික පිරිස සිටින්නේ චෙන්නායි කණ්ඩායමට.
මේ නායකත්වය පුරාවෘත්තයක් බඳූ වූ මහේන්ද්‍ර සිං දෝනි අඛණ්ඩව දැරූ වගකීමක්.
චෙන්නායි කණ්ඩායම IPL තරගාවලි පහක් දිනූ, එහි සාර්ථකම කණ්ඩායම.
සෑම තරගාවලියක් ආරම්භයේදීම ඒ වටා ඇති බලාපොරොත්තු සුලුපටු නැහැ.
එහි නායකත්වය උරහිසට තබා ගැනීම නවකයෙකුට පහසු බරක් නොවෙයි.
2024 IPL තරගාවලියේ මුල් භාගයේ නව නායක රුතුරාජ්ට, හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගෙන් උපකාර හිමි වුණා.
පන්දු යැවීමේ වෙනස්කම් වල සිට පන්දු පිටිය සැකසීම දක්වාම මහේන්ද්‍ර දෝනිගෙන් රුතුරාජ්ට ගුරුහරුකම් සමග සහය හිමි වුණා.
ඕනෑම පීඩනකාරී මොහොතක රුතුරාජ් ගියේ දෝනි ලඟට.
කොටින්ම රුතුරාජ් යනු දෝනි විසින්ම තෝරාගත්, දෝනි විසින්ම ගොඩනගනා චෙන්නායි කණ්ඩායමේ අනාගතයයි.
චෙන්නායි කණ්ඩායම ඊයේ ක්‍රීඩා කළේ තරගාවලියේ ඔවුන්ගේ නවවෙනි තරගය.
තරගාවලියේ පළමු වටයේ තවත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ තරග පහක් පමණයි.
චෙන්නායි කණ්ඩායමේ අභ්‍යන්තර කවයේ සාමාජිකයෙකු වන සුබ්‍රමනියම් බද්රිනාත්ට අනුව ඊයේ තරගයේදීත් නව නායක ගයික්වාඩ් සුපුරුදු පරිදි මහේන්ද්‍ර සිං දෝනිගෙන් උපදෙස් පතා තිබෙනවා.
ඒ පන්දු යැවීමේ වෙනසක් සිදු කිරීමටයි.
එහිදී දෝනි එම වෙනසට සිය අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ තරගාවලිය පුරා මින් ඉදිරියට කිසිදු තරගයක දී තමන්ගෙන් යළි උපදෙස් නොඉල්ලන ලෙසට ගයික්වාඩ්ට සිදු කළ දැඩි අවවාදයක් ද සමගයි.
ඒ අනුව දෝනි විසින් ගයික්වාඩ්ට උපදෙස් සහ සහය ලබා දුන් කාලය අවසන්.
දැන් ඇත්තේ ගයික්වාඩ්ට තමන් විසින්ම නායකත්වය පුරුදු පුහුණු විය යුතු කාලයයි.
හුදෙකලාව පීඩනය දරා ගැනීමට සහ තීරණ ලබා ගැනීමට හුරු විය යුතු කාලයයි.
මෙය ඉතාමත් ආදරණීය එමෙන්ම ආදර්ශමත් ක්‍රියාවක්.
කලෙක නවකයන්ගෙන් දක්ෂතා නොදුටු බව කියූ දෝනිම, එවැනි දක්ෂතාවයක් දුටු නවයෙක් සිය අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගන්නවා.
ඔහු තමන් යටතේ පුහුණු කරනවා.
ඉන්පසුව ඔහුට නායකත්වය පවරනවා.
එනමුත් දෝනි, නායකත්වයේ කටු ඔටුන්න නවකයාට එක්වරම ලබා දෙන්නේ නැහැ.
තරග නවයක් පුරා ඔහුට අවවාද, උපදෙස් සමග සහය ලබා දෙනවා.
එමෙන්ම තරගාවලියේ අවසන් කොටසේ ඔහුට තනිව ගොඩනැගීමට ඉඩ දෙනවා.
තමන් සදාකාලිකව චෙන්නායි කණ්ඩායමේ නොසිටින බව මහේන්ද්‍ර සිං දෝනි දන්නවා.
තමන් නොමැති කාලයක නායකත්වය සහ පීඩනය හැසිරවීමට නව නායකයා හුරු විය යුතු බව දෝනිට හැගෙනවා.
ඒ පුහුණුව තමන් නොමැති කාලයක ලැබෙනවාට වඩා, තමන් කණ්ඩායමේ සිටියදීම ලැබීම යහපත් බවත් ඔහු දන්නවා.
නව නායකයා අතින් වරදක් සිදුවුවහොත් තරගය අවසානයේ දෝනි ඔහුට උපදෙස් දේවි.
එය අතිශය විද්‍යාත්මකයි. එය අතිශය පරාර්ථකාමීයි.
සියල්ල තමන් විසින්ම සිදු කර, තමාගේ සමුගැනීමෙන් පසුව නව නායකයන් අතරමන් වෙනු දැකීම දෝනිට අවශ්‍ය නැහැ.
ඇතැම් විටෙක මහේන්ද්‍ර සිං දෝනිගේ නාමය පුරාවෘත්තයක් වන්නේ, ඔහුගෙන් පසු නායකයා අසාර්ථක වන තරමටයි.
දෝනි කැපී පෙනෙන්නේ එවිටයි.
නමුත් දෝනි තෝරාගන්නේ පරාර්ථකාමී මාවතයි.
තමාගෙන් පසුවත් චෙන්නායි කණ්ඩායමේ සාර්ථකත්වය දැකීම ඔහුගේ අරමුණයි.
මහේන්ද්‍ර සිං දෝනි නම් ක්‍රිකට් ක්‍රීඩාව දුටු විශිෂ්ඨතම සහ පරාර්ථකාමීම නායකයෙකු වන්නේ ඒ නිසයි.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

  1. 29

Related articles

ගමේ වැදගතුන් ඇමතීමේ ටිරාන්ගේ රැස්වීමට දේශබන්දු ඕඅයිසීලාගෙන් මුදල් එකතු කරයි !

පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර, තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබේ. හෙට (17)...

සාම්පූර් සිදුවීම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක් – සැමරීමේ අයිතිය පිළිගනිමින් 2016 දුන් නිර්දේශය උල්ලංඝනය කිරීමක් !

ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.පසුගිය 12දා රාත්‍රියේ සාම්පූර්...

IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි !

සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන...

කටුනායක ගුවන් තොටුපොළේ මගීන්ගේ තොරතුරු ගැනීමත් නවත්වයි : වීසා ප්‍රශ්නය එළියට ආ දිනයේ ම ගත් තීරණයක් !

කටුනායක ගුවන් තොටුපොළේ වීසා අර්බුදය අලුත් මුහුණුවරකින් කරළියට පැමිණ තිබේ. ආගමන-විගමන විෂය බාර මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ...