IPL සහ ඔබේ මුදල් – ඔට්ටු තැබීමේ බුකි වෙබ් අඩවි IPL හි ප්‍රධාන අනුග්‍රාහකයන් වීමට තරම් ඒ ව්‍යාපාරය ප්‍රබලයි

Share post:

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මෙතෙක් පැවැති තරග සමීපයෙන් නරඹද්දී විශේෂ දෙයක් නිරීක්ෂණය කළා.
ඉන්දීය ප්‍රීමියර් ලීගයේ තරග බොහෝ අවිනිශ්චිතයි.
සාමාන්‍ය ක්‍රිකට් හැසිරීමෙන් හෝ විශ්ලේෂණයෙන් පවා එහි අවසන් ප්‍රතිඵලය පුරෝකථනය කිරීමට අපහසුයි.
දිනය අවසානයේ අවම සම්භාවිතාවයක් තිබූ දෑ නිතර සිදුවීම මේ දින කිහිපයේම දැකගත හැකි වුණා.
ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක්.
එහි තර්කයක් නැහැ.
එනමුත් දත්ත, ආසන්නම තරග වාර්තා, ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ කුසලතා විශ්ලේෂණය කර එහි ප්‍රතිඵල පුරෝකථනය කිරීම අලුත් දෙයක් නොවෙයි.
දක්ෂ ක්‍රිකට් කියවන්නෙකුට එවැනි පුරෝකථන කළ හැකියි.
එම පුරෝකථන සෑම විටකම නිවැරදි නොවුනත් එහි නිර්වද්‍යතාවයක් නඩත්තු කළ හැකියි.
එය ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම කාලයකම සිදු වූ දෙයක්.
නමුත් ඉන්දීය ප්‍රීමියර් ලීගයේ එය සිදු කිරීම අපහසුයි.
විශ්ලේෂණයන් මගින් සිදු කරන සාමාන්‍ය පුරෝකථනයන්ට හාත්පසින්ම වෙනස් දෑ එහි සිදුවෙනවා.
තරගාවලියේ හොඳම පන්දු බල ඇණි ලෙසට පෙනෙනා කණ්ඩායම් වලට එරෙහිව 200+ ට වැඩි ලකුණු ලබා ගත් කණ්ඩායමක්, දුර්වල පන්දු බල ඇණියක් ලෙසට පෙනෙනා කණ්ඩායමක් ඉදිරියේ ලකුණු 140ට අඩුවෙන් දැවී යනවා.
ඉතාම ප්‍රවේගකාරී, ආක්‍රමණශීලි දක්ෂ පිතිකරුවන් පවා ඉදහිට ඇදහිය නොහැකි තරමේ මන්දගාමී දිගු ඉනිම් ක්‍රීඩා කරනවා.
ජාත්‍යන්තර තලයේ දී සාමාන්‍යයෙන් එල්ලය නොවරදින පන්දු යවන්නන්, IPL තරගාවලියේ දී දිගින් දිගටම ෆුල්ටොස් පන්දු යවනවා.
ක්‍රීඩකයන් යනු සාමාන්‍ය මනුෂ්‍යයන් නිසා මෙවැනි දෑ තරගයක සාමාන්‍යයෙන් සිදුවිය හැකි බවට කිසිවෙකුට හෝ තර්ක කළ හැකියි.
එනමුත් රටාවකට, සෑම තරගයකම පාහේ එවැනි එක සිදුවීමක් හෝ සිදුවීම සාමාන්‍ය නැහැ.
අප සැඟවිය යුතු නැහැ, IPL තරගාවලියේ ප්‍රධාන ආදායම ඔට්ටු තැබීම.
එය ඩොලර් බිලියන ගණනක මුදල් හුවමාරු වන ව්‍යාපාරයක්.
මේ වෙද්දී එවැනි ඉන්දියාවේ පමණක් නොවෙයි, සමස්ත දකුණු ආසියානු කලාපය, යුරෝපය සහ සෙසු ගෝලිය කලාප වල පවා IPL උදෙසා ඔට්ටු තැබීමේ ව්‍යාපාරය සිදුවෙනවා.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය පමණක් නොව ජාතික කණ්ඩායම සමග පවා එවැනි බුකි වෙබ් අඩවි සිය ප්‍රවර්ධන කටයුතු සිදු කරනු අප පසුගිය සමයේ දුටුවා.
සාමාන්‍ය ක්‍රිකට් රසිකයා ඔට්ටු තබන්නේ ඔහුට අනුව වැඩිම සම්භාවිතාවක් සහිත සිදුවීමට.
තරග සියල්ල ජය ගත් කණ්ඩායම සහ තරග සියල්ල පරාජය වූ කණ්ඩායම අතර තරගයක දී බහුතරය ඔට්ටු තබන්නේ තරග සියල්ල ජය ගත් කණ්ඩායම වෙනුවෙන්.
එදින එම කණ්ඩායම පරාජය වුවහොත් බුකි වෙබ් අඩවි මිලියන ගණනක ලාබයක් උපයනවා.
සාමාන්‍යයෙන් තෝරා ගත් පන්දුවක් නිපන්දුවක් ද නැත්ද යන්නට බහුතරය ඔට්ටු තබන්නේ එය නිපන්දුවක් නොවීමටයි.
තෝරාගත් පන්දුවක් නිපන්දුවක් වීමට ඇති ඉඩ බොහෝ අඩුයි.
නමුත් එය නිපන්දුවක් වුවහොත්, බුකි ව්‍යාපාර විශාල ධනස්කන්දයක් උපයනවා.
ක්‍රිකට් ඔට්ටු තැබීමේ ව්‍යාපාරය සිදුවෙන්නේ එහෙමයි.
ක්‍රිකට් වාණිජකරණය වී මෙවැනි විශාල මුදල් සම්භාරයක් ගැවසීමත් සමග ලීග තරගාවලි සර්ව සාධාරණව, ස්වාභාවිකව පැවැත්වෙන්නේ නැහැ.
එහි සංවිධායකයන්ට, ආයෝජකයන්ට සහ හිමිකරුවන්ට වැඩිම මුදලක් ඉපැයිය හැකි වන ලෙසට ක්‍රීඩාවේ සාමාන්‍ය ගලා යාම වෙනස් කෙරෙනවා.
එය තවදුරටත් කොන්ස්පිරසි න්‍යායක් (Conspiracy theory) නෙවෙයි.
දෑසට පෙනෙනා යථාර්තයක්.
එම නිසා ඔන්ලයින් වේවා, වෙනත් ආකාරයකට වේවා IPL තරග උදෙසා ඔට්ටු තැබීම එතරම් ඥානාන්විත ක්‍රියාවක් නොවෙයි.
එය හිතාමතාම ක්‍රීඩා කෙරෙන්නේ ඔට්ටු තබන්නාගේ මුදලට තට්ටු කිරීමටයි.
කොතරම් ප්‍රවර්ධනය සිදු කළත්, නීත්‍යානුකූල බව පෙන්වීමට උත්සාහ කළත්, ඔබට ධනවත් විය හැකි බව පෙන්වූවත් එවැනි ක්‍රම වලින් ඉවත්ව සිටීම ගුණදායකයි.

ඉරේෂාන් සිරිවර්ධන(fb)

   2024. 04. 10

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...