ඇප පනත අදාළ වන්නේ සැකකරුවන්ට මිසක් වරදකරුවන්ට නොවේ – ඥානසාර හිමියන්ගේ ඇප ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරු කියයි !

Share post:

ආගම් අතර සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමට වරදකරු කොට වසර 4ක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස උන්වහන්සේගේ නීතිඥවරුන් විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ඊයේ (02) ප්‍රතික්ෂේප කළේය.

ඥානසාර හිමියන්ට ඉකුත්දා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ම මේ තීන්දුව ලබාදෙන ලදි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බැවින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා පෙත්සම විභාග කොට තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා උන්වහන්සේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි.

එම ඉල්ලීම කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු ඉදිරිපත් කළේය.

”‍ස්වාමීනි, වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට නියම කර තිබෙන වසර හතරක සිර දඬුවම බන්ධනාගාර රෙගුලාසිවලට අනුව වසර දෙකක් සහ මාස කීපයකින් අවසන් වීමට නියමිතයි. මෙවැනි අවස්ථාවක සානුකම්පිත ආකාරයෙන් කටයුතු කරමින් උන්වහන්සේට ඇප ලබාදීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා. වර්තමානයේ අභියාචනාදීකරණයේ විනිසුරු පුරප්පාඩු කිහිපයක් පවතිනවා. එම නිසා අභියාචනා විභාගවලද ප්‍රමාදයක් මතුවී තිබෙනවා. සාමාන්‍යයෙන් වසර තුනක් හෝ හතරක් සිර දඬුවම් නියම වී සිටින විත්තිකරුවන්ගේ අභියාචනා විභාග කිරීමට ඊටත් වඩා කාලයක් ගතවන තත්ත්වයක් පවතිනවා. එවැනි කාලයක් යම් විත්තිකරුවකු රක්ෂිත බන්ධනාගාරගතව සිටීම යුක්ති සහගත නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ඇප පනත ප්‍රකාරව පුද්ගල නිදහස උතුම් කොට සැලකීය යුතුයි. එම නිසා ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට අධිකරණයට අභිමතය පැවරී තිබෙනවා. එසේම ඥානසාර හිමියන්ට අසනීප තත්ත්වයන් කිහිපයක්ද තිබෙනවා.”‍ මෙම කරුණු සුවිශේෂ කරුණු සේ සලකා උන්වහන්සේ ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි
රජයේ නීතිඥවරයා මෙසේ පැවසීය. ”‍ස්වාමීනී, වර්තමානයේ අභියාචනාදීකරණයට වැඩි විනිසුරුවරු සංඛ්‍යාවක් පත් කර තිබෙනවා. එසේම අභියාචනා පෙත්සම් විභාගයත් කාර්යක්ෂම වී තිබෙනවා. එම නිසා අභියාචනා විභාගවල ප්‍රමාදයක් පවතින බවට විත්තිය විසින් ඉදිරිපත් කරන කරුණු ඇප ලබාදීමේදී සුවිශේෂ කරුණු වශයෙන් සලකන්න බැහැ. එසේම ඥානසාර හිමියන්ට අසනීප තත්ත්වයක් පවතින බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළා. එහෙත් උන්වහන්සේට බන්ධනාගාර රෝහලේ දී ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ අසනීප තත්ත්වයක් තිබේදැයි පැහැදිලි කිරීමට විත්තියේ නීතිඥවරයා කටයුතු කළේ නැහැ. එම නිසා මෙම කරුණු සුවිශේෂ කරුණු ලෙස පිළිගන්න බැහැ.”‍

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉන් අනතුරුව සිය තීන්දුව මෙසේ ප්‍රකාශයට පත්කළේය.
”‍වරදකරුවන් සම්බන්ධයෙන් ඇප ප්‍රදානය කිරීමට ඇප පනත යටතේ අධිකරණයට හැකියාවක් තිබෙන බව විත්තිය ප්‍රකාශ කළා. එහෙත් ඇප පනතේ ප්‍රතිපාදන අදාළ වන්නේ සැකකරුවන්ට මිස වරදකරුවන්ට නොවේ. අධිකරණය මගින් වරදකරු වූ පුද්ගලයෙකුට ඇප පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චිත තීන්දු ගණනාවකම සඳහන් කර තිබෙනවා. ඒ අනුව අධිකරණය මගින් වරදකරු කෙරුණු විත්තිකරුවකුට ඇප ප්‍රධානය කිරීමේදී අදාළ වන්නේ සුවිශේෂ කරුණු පමණයි. මෙම නඩුකරයට අදාළව විත්තිය විසින් සුවිශේෂ කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. අභියාචනා නඩු ප්‍රමාදය සහ විත්තිකරුගේ රෝගී තත්ත්වය ඒ අතර ප්‍රධාන වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විනිශ්චිත නඩු තීන්දු ප්‍රකාරව අභියාචනා නඩු විභාග ප්‍රමාදය වරදකරුවකුට ඇපදීමේදී සුවිශේෂ කරුණු වශයෙන් සැලකිය නොහැකි බව දක්වා තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ විත්තිකාර ස්වාමීන් වහන්සේට ඇප නියම කිරීමට තරම් සුවිශේෂ කරුණු අනාවරණය වන්නේ නැහැ.”‍

මුජිබර් රහුමාන්, අසාද් සාලි සහ රිෂාඩ් බදූර්දීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරන ලද අදාළ නඩුවේ තීන්දුව ලබාදුන්නේ පසුගිය 28දා ය.
බලංගොඩ, කූරගල ප්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් සම්බන්ධයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් පිළිබඳව මේ පැමිණිල්ල ගොනුකර තිබිණි. එම මාධ්‍ය හමුවේදී ඥානසාර හිමියන් විසින් අල්ලා දෙවියන්ට සහ කුරාණයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බව එම පැමිණිල්ලේ සඳහන් විය.
මීට අදාළ විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමෙන් පසු දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ ආගමික අපහාසය සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කර තිබිණි. නඩුවේදී අසාද් සාලි, මුජිබර් රහුමාන් සහ අදාළ මාධ්‍ය හමුවේ හඬපටය සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනයේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ද සාක්ෂි ලබාදුන්හ.
මේ සම්බන්ධයෙන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් ඥානසාර හිමියන් අධිකරණයට පැවසුවේ තම ප්‍රකාශය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවට සිත් රිදීමක් වූයේ නම්, තමන් ඒ පිළිබඳව සමාව ගන්නා බවයි.
2021 ඔක්තෝබර් 27දා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පිහිටුවන ලද එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ධුරයට පත්කෙරුණේ ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ය. මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා වූ එවකට අධිකරණ ඇමැති අලි සබ්රි පැවසුවේ තමන් මේ පත්කිරීමට කිසිසේත්ම එකඟ නොවන බවත්, ඊට විරුද්ධ බවත් ය.
එසේ ම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එවකට එම අධිකරණයේ මහේස්ත්‍රාත් ධුරය දැරූ රංග දිසානායක විසින් ගොනුකරන ලද පෙත්සමකින් ද ඥානසාර හිමියන් වරදකරු කෙරිණි. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලදි. එම ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රමවේදය අභියෝගයට ලක්කරමින් අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් පෙත්සමක් ද ගොනුකර තිබේ.

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...