නීතිවිරෝධී සුරා බදු බලපත්‍ර නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි !

Share post:

පවතින සුරා බදු නීතිවලට පිටින් කිසිම මත්පැන් බලපත්‍රයක් නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) සුරාබදු දෙපාර්තමේන්තුවට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ පෙත්සම්කරුවන් තිදෙනකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලීම සඳහා ඊයේ කැඳවූ අවස්ථාවේදී ය. පෙත්සම් සලකා බැලීම සිදුවූයේ යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.

සුරාබදු පනතේ සඳහන් විධිවිධාන උල්ලංඝනය කරමින් නීතියට පිටින් මත්පැන් බලපත්‍ර ලබාදීමක් සිදු වන්නේයැයිද, පෞද්ගලික සමාගම් කිහිපයක් ලියාපදිංචි කර එම පෞද්ගලික සමාගම්වලට බලපත්‍ර විශාල ගණනක් ලබාදීමේ උත්සාහයක් පවතින්නේයැයිද, ඇතැම් සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල සිටින්නේ එකම පිරිසක්යැයි ද කියමින් මෙම නීති විරෝධී ක්‍රමවේදය නතර කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සමාගමක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසීන් ශරුක් මහතා කරුණු දක්වමින් පෙත්සම් විභාගය මහජන වැදගත්කමකින් යුත් කරුණක් සේ සලකා අවම වශයෙන් විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් පූර්ණ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. අප්‍රේල් පළමු වැනිදා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු අදහස් දක්වමින් මෙම නඩුවේ අංකයද සඳහන් කරමින් වරප්‍රසාද ප්‍රශ්නයක් නැගූ බවත්, එය වරප්‍රසාද කමිටුවට යැවීමට කතානායකවරයා නියෝග කළ බවත්  ඩේලි නිව්ස් පුවත්පත උපුටා දක්වමින් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එසේ හෙයින් මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනුසරුට යොමු කරන්නැයි ඉල්ලා සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන, සාලිය පිරිස් සහ එම් ඒ සුමන්තිරන් යන මහත්වරු එම ඉල්ලීමට විරෝධය පළ කළහ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ මෙවැනි ඉල්ලීමක් කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බවයි. මෙය ස්වාධීන අධිකරණයට ඇඟිලි ගැසීමක් බව ද, ජනාධිපති නීතිඥවරයාගේ මෙම ඉල්ලීම සලකා බැලුවහොත් ඉදිරියේදී විභාග කරන සෑම නඩුවකටම අදාලවම මෙවැනි ඉල්ලීම් සිදු කිරීමට හැකියාව ලැබෙන්නේයැයි ද ජනාධිපති නීතිඥවරයා කීවේය. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට ඉඩ නොදෙන ලෙස සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එම ඉල්ලීමට අදාල නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා අධිකරණ කටයුතු මිනිත්තු පහකට අත්හිටුවනු ලැබීය. මිනිත්තු පහකට පසු නඩුව කැඳවීමෙන් පසු තම නියෝගය ප්‍රකාශයට පත් කළ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති නීතිඥ රසීන් ශරුක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නම් අදාල පාර්ශ්වය ඒ සඳහා ඉල්ලීම කළ යුත්තේ අගවිනිසුරුවරයාගෙන් බවත්, අගවිනිසුරුවරයාගෙන් එවැනි ඉල්ලීමක් කර නැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කිරීමේ වගකීම පවරා ඇත්තේ අධිකරණයට බවත්, ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා මෙම විනිසුරු මඩුල්ල පත් කර ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

එම නියෝගයෙන් පසු පළමු පෙත්සම වෙනුවෙන් මුලින්ම කරුණු දැක්වීම කළේ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාය. ඒ මහතා දීර්ඝ කරුණු දැක්වීමක් කළ අතර මෙම පෙත්සමට අදාලව අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

සෙසු පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා වෙනත් දිනයක් ලබාදුන් අධිකරණය සුරා බදු පනතට පිටින් කිසිම සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙස දැනුම් දෙමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 

Related articles

කඩුවෙල මහෙස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි – පක්ෂපාතීත්වය, බලය අවභාවිතය, ගැටලු සහගත සම්බන්ධතාවක් ඇතුළු චෝදනා කිහිපයක් – කොමිසමෙන් හෙට නිල නිවේදනයක් !

කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ සේවය වහාම අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයෙන්...

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය...

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International...

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට...