අප වනාහී ඇත්තටම ආදරණීය මිනිසුන් ද? රතු කොම්රේඩ්ඩුකාරයා හරහා දිවුලා අපෙන් ප්‍රශ්න කරයි

Share post:

කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං.

රතු කොම්රාඩ්ඩුකාරයකුගෙ සම්ප්‍රාප්තිය පිළිබඳ ඒ විශ්මිත පයින්ඩය උල්කාපාතයක් සේ මගේ වට්සැප් තිරය මතත පතිත වූයේ ජනේරු පළමුවැනිදා ය.
‘’මචං, අවුරුදු 18ක චිත්‍රපට නියඟය හමාරයි’ – දිවුලා’’
අවුරුදු උදාවේ හිම මිඳෙනසුළු සීතල තූ තූ කරලූ මෙකී පයින්ඩය මා පරම සංතුෂ්ටියේ පතුළ නොපෙනෙන මධු බඳුනකට ඇද දමන්නට විය. ඒ වනාහී නිශ්චිතවම, තනියම චියර්ස් කළ හැකි හැඟුමකි.
දශක දෙකකට ආසන්න කාලයක් දිවුලා යටිබිම්ගතව සිටියා නොව, සිනමාව පිළිබඳ කියැවෙන, සිනමාව භෞතිකව අද්දකින සකල වපසරිවල, සකල පරිපථවල සජීවී දිවුලා දක්නට ලැබිණ. ඔහුගේ සිනමාව හැදෑරූවන් සිනමාව අත්හදා බලන සඳ දිවුලා පැත්තකට වී සතුටු මුහුණින් බලා සිටිනු පෙනිණ. දිවුලාගෙන් අත්පොත් තැබූ දුහුනක් ‘රත්තරන් කැමරා’ ඔසවා දේශ දේශාන්තරවල මහා සිනමා පෞරුෂයන්ව රඟ දෙන කල දිවුලා සුපුරුදු නිහතමානීකමෙන් බලා උන්නේ ය. ‘දිවුලානුභාවය’ වනාහී එයාකාර සංසිද්ධියකි.
සුදත් මහදිවුල්වැව නොහොත් දිවුලාගේ සිනමා-ටෙලි නිහැඬියාව වනාහී නිද්‍රාශීලිභාවයේ ප්‍රකාශනයක් නොව පවතින පරිභෝජනවාදය තුළ ගිලී නොයන්නට ඔහු තුළ වූ අධිෂ්ඨානය බව මා මෙන්ම තවත් ඔහුගේ මිත්‍රවර මිත්‍රවරියන් තදින්ම දැන සිටි බව මුලින් ම කිව්ව යුතු ය. අවසන,’රතුපාට අහිංසක නැතැ’ යි කියමින්, රතු කොඩියක් ‘වණමින්’ දිවුලා පැමිණ සිටියි. දිවුලාගෙ ‘මගේ රතු කොම්රේඩ්ඩුකාරයා’ එකෙන්ම හඬ නඟා කියනුයේ, නිර්මාණාත්මක මිනිහෙක්ගෙ නිර්මාණ ලාලසාව, දුර්ගන්ධිත පරිභෝජනවාදී සමාජ රටාව විසින් පැනවෙන ආර්ථික සම්බාධක වලට නතර කරන්න බැරි බව නොවේ ද?
ඉදින් උඹ ‘රතු කොම්රාඩ්ඩුකාරයකු’ පෙරටු කොටගෙන පැමණ ඇත.
‘මම’ ද ඇතුළු අප තාම දකින්නේ එහි ප්‍රොපගැන්ඩාමය ක්‍රියාවලිය විතර ය. මෙහි පෙනෙන රූපවල සහ රූපරාමුවල මට පෙනෙන්නේ රාමු නොවුණු ගතියකි; රාමුවෙන් පිට ගතියකි. රාමුවෙන් පිට පවතින ආත්මීයතාවක් රාමුවක් ඇතුළට ගෙන ඒම තරමක සංකීර්ණ ඉන්ද්‍රජාලික වැඩකි; කාව්‍යමය ප්‍රක්ශේපනයකි. ඒ සා විශාල සාතිශය හිතුවක්කාර වැඩක් කරන්නට හිතන්නේත්, කරන්නට අත තියන්නේත්, සිදුකර පෙන්නන්නේත් අපරිමිතපරිචයක් සහිත පළල් අධ්‍යාත්මයක් සහිත මිනිසෙකු විතර ය. මට අනුව දිවුලා, උඹ එහෙම එකෙකි. මේ සටහන එහෙව් දිවුලකුට මගේ ආදරය ප්‍රකාශ කිරිමක් ලෙස බාර ගන්නට ඕනෑම කෙනෙකුට පිළිවන් ය.
දිවුලා ‘ඔහුගේ’ ‘රතු කෝම්රේඩ්ඩුකාරයාව අබිමුඛ කරන්නෙ දෙමෙල්ලු මරන්න රතු කොම්රේඩ්ලා සූදානම් කරපු සමාජෙකට ය; එහෙම දෙමෙල්ලු සමූල ඝාතනය කළවුන් ලේ තැවරුණු අත්වලින්ම ‘චේ’ සමරන රතු කලාපෙකට ය. ඉදින් එබැවින් දිවුලාගෙ මෙම සිනමා නාමකරණයෙහි පවා වාම දේශපාලන සංස්කෘතිය සසල කරවන ලක්ෂණ පවතින බවක් පෙනේ.
“පේනවා නේද ? දවල් රෑ වෙනවා. රෑ පස්සෙ දවල් එලවනවා. අන්න ඒ වගේ උඹත් ඔය අදහස් පස්සේ එලවන්න ඕන. ජීවිතය කියන්නෙම රස්තියාදුවක්.” සිනමා ප්‍රචාරණ ක්‍රියාවලියේ පිටපත තුළ එලෙස පැවසෙතැයි ඇඟවෙයි. මේ රස්තියාදුව කවරකාර වාම රස්තිාදුවක් වේද?
අනෙක් පසින්, ‘’ආදරණීය ගැහැණියක්, සංස්කෘතික මිනිහෙක් හොයාගනිල්ලා’’ කියා රක්ත වර්ණ කොම්රේඩ්ඩුකාරයකු හරහා දිවුලා සහෘදාගාරයට කින්ඩි දමයි. නමුත් ඔහු සහෘදාගාරයට දනවන්නට හදන දේ ‘මෙකී නොකී’ සංස්කෘතික සීමාව මොන තරම් දුරට සමතික්‍රමණය කර තිබේද කියා ෆිලුම්මුව බලන්නේ නැතුව කැට තියන්නට බැරි ය. මා හිතන්නේ සකලවිධ කොම්රාඩ්ඩුකාරයන් වනාහි සංස්කෘතික සෝදාපාළුවකට ලක්වුණු සාඩ්ම්බර මිනිස්සු කොට්ඨාශයක අඩංගුවක් බව ය. අපි, අපේ ඇස් දෙක ඉස්සරහ හිටගෙන සිටින දෙමළාට සහෝදරත්වය නොපෙන්වීම හරහා හදවතේ ශේෂ කරගන්නා සහනුකම්පාව, කම්පාව හෝ භූමිකම්පාව පලස්තීනුවන් වෙනුවෙන් නිර්ලෝභිව විය පැහැදම් කරන සාඩම්බර ජාතියක නියෝජිතයෝ වෙමු. නො අනුමානය එ බැවිනි. කොහොම නමුත් දරුණු දේශපාලන සත්වයකු වන දිවුලා කිසියම් සංස්කෘතික කළම්බනයක් කර ඇතැයි යන අනුමානය නම් ගහේ බඩු ය.
ප්‍රොපර්ගැන්ඩාමය ක්‍රියාවලිය තුළ දිවුලා සංකල්ප පටලවයි. දිවුලා විටෙක ‘රතු කොම්රේඩ්ඩුකාරයාව මෙහෙම උපුටනය කරයි. “සංස්කෘතික මිනිහෙක්ට විතරයි පුලුවන් අලුත් හීන හදන්න…අලුත් හීන හොයන්න…අලුත් හීන දකින්න… අලුත් හීන දකින්න බැරි මිනිස්සු ගොඩක් දුප්පත්.”
දිවුලා යළි මෙහෙම ලියයි.
‘’රතුපාට අහිංසක නැත. ‘’
යළි මෙහෙම ස්ටේටස්සුවක් දමයි.
‘’රැවටෙන්නෙ නැතුව
මේ මොහොත තේරුම් ගන්න.
කවුරුන් හෝ
ඔබව රැවැට්ටුව බව
තේරුම් ගත යුතුව ඇත’’
මේ වරනැඟෙන්නේ කා ගැන ද?
ලාංකික ජාතිකවාදී දුයිෂෙන්වරු පසු පස වැටුණු රොමාන්තීකරණය කරන ලද අල්තීනායි පන්නයේ ස්ත්‍රීන් අතුරින් නව සංස්කෘතික ස්ත්‍රියක් අපේක්ෂා කරන රතු කොම්රේඩ්ඩුකාරයින්ගෙ සටහන් ඉඳහිට වට්සැප් පණිවුඩ ලෙස ජංගම තිරය මත පතිත වෙයි. ස්ටෙප්ස් තැනිතලාව හෝ පොප්ලර් සිහින අතු ඉතිලන කඳු මුදුන්, දිය උනන උල්පත්, දිය කඳුරු, ගං-හෝ වැව්-විල්, පළල් අහස හා ඈත සිතිජය අතරේ සාහිත්‍ය, කලාව සහ සිනමාව හොයන සදාතනික දුහුනන්ව රේල්ලු හඬ ඇහෙන ඉසව්වක 20×20 ලෑලි කාමරේකට ගෙන්නා පැය එකහමාරයක් හිරකරගෙන හිඳ නූතන ස්ත්‍රිය ගත යුතු රතු මඟ පෙන්නන්නටද දිවුලාගේ මේ සිනමා ප්‍රයත්නය?
ලොකේෂන සිය දහසක කරක් ගහපු මිනිහෙක්, සහෘද අපව පැය එකහමාරක් තනි ලෝකේෂනයක හිරගත කරන්නට හදන කලාත්මක ප්‍රකාශනයේ දේශපාලන තේරුම කවරාකර වේවිද? හදවත් දෙකක් විතරක් ස්පන්දනය වෙන මේ තට්ට තනි අවකාශය, අවකාශ දස දහසකට නො එසේව, අවකාශ කප්පරකට පර්යාය නොවෙතැයි හිතන්නට බැරි ද?
අද උදෑසන දිවුලාගෙන් ඇරියුමක් ලැබිණ. ලෑලි ගෙදර සිරගත කරන්නට ය. වචන මෙලෙසිනි.
‘’හිතවත් වෙඩ්ඩා. 5වැනිදා හවස 4ට එන්න. ඔබ මුණ ගැහෙන්නට ආසාවෙන් බලා ඉන්නවා.’’
ඒ නිල ආරාධනාව ය.
ඒ එක්කම දිවුලාගේ කෙටි පණිවිඩය යි. ‘’ උඹට එන්න වෙන්නෙ නෑ කියලා දන්නවා. ඒත් මේක ආදරේට එව්වෙ’’
අප වනාහී ඇත්තටම ආදරණීය මිනිසුන් ද? රතු කොම්රේඩ්ඩුකාරයා හරහා දිවුලා අපෙන් ප්‍රශ්න කරයි. මට, හැමෝම ගැන සහතික දිය නො හැති ය. ඒත් දිවුලා, උඹ එහෙම මිනිහෙකි.
‘’වැඩිහිටි ලේබලය වැදුණට කමක් නෑ දිවුලා, ඔය පොඩි උන් ගෙන්නලා දිගින් දිගටම ජීවිතය පෙන්නපන් මචං.
‘දිවුලා. ‘වම් ඉවුර’ පාළුයි මචං. එන්න බැරි වුණත්, එතනදි ම හම්බවෙන්නයි මනාප.’

මංජුල වෙඩිවර්ධන

2024 අප්‍රේල් 03

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...